ජයලාල් පිළිබදව මිගමු සහෘදයන්ගේ මතකය ..

0
261

අපේ ජයලාල්

ඔබ අප අතර රැඳී පෙරදින මතක එදා
සුවඳයි සයුරු රළ ලෙස රඟ කරති සදා
අප හද වෙළා බැඳී මිතුදම ඉවත නොදා
යළි පිටිපනට එනවද හස කැරළි පුදා

එක් වී විවිධ දේ ගැන කළ කතා රස
සැගැවී රැඳේ සාගර රළ තුළට බැස
මතුකර අසනු රිසියෙන් ඔබෙ සොඳුරු බස
එක් වෙන දිනක් කවදද හිතමිතුරු රැස

කලා රසය පූදින අපේ ගමට ඇවිත්
කළා කලා පෙරහුරු පෙරදිනක ඔබත්
බලා ඔබේ පරිණතකම නැණත් ගුණත්
සලා පියාපත් ඉගිලුනි ඔබත් අපත්

අද ඒ පියාපත් නිසලයි සැමදාම
මතකය ඉතිරි කර සමුගෙන නොකියාම
හිතවත මෙයද ලොව නොම්යෙන දියදාම
අපගේ පැතුම යළි දවසක හමුවීම –

පිටිපන කලා පෙරමුණ –

ජයේ උඹ නික්ම ගිහින්……

දශක තුනහමාරක් වැනි කාලයක් මා ඇසුරේ සිටි ප්‍රතාපවත් උඹ වැනි අය හරි හිඟයි.අවසන් වතාවට දවස් හතරකට පහකට පෙර කතා කළා නෙමේ නුඹ මට පැයක් විතර දේශනා කළා.
පෙර භවයක් ගැන ලබන ආත්මේ ගැන නුඹ මට දුන්නේ මේ දවස ගැන ඉඟියක් ද ? නුඹට අපි මීගොමුව , වෙසෙසින්ම පිටිපන ආදරෙයි. නුඹ අප සමඟ ගෙවූ කාලය හරි අපූර්වයි. නුඹගේ මිනිසත්කම අපට මහමෙරක්. ‘ජනමාධ්‍ය හවුල’ මගේ සංවිධානයෙන් හැදෙනවා.
නුඹගේ නායකත්වයෙන් පාර කියනවා. මංගලල ,සුමියල,ජනාල, රෆාල,ජූඩල අපි හැමෝම පවුල් පිටින් නුඹට බැඳුනා. නුඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොදුනුවෙක්, සිරි ලාංකිකයෙක්. ඒ දේශීයත්වය නුඹේ නිහතමානීකම අතලොස්සයි තේරුම් ගත්තේ .
වාර විභාගයක් පාස් කර පංකාදු ගහන සමාජයක උඹේ p.hd එක උඹ ඉස්සරහට දැම්මෙ නැහැ.
අන්තිමේට නුඹ කිව්වේ දෙවෙනි p.hd එක සමහරවිට අවසන් කරන්නේ ඊළඟ භවයේ කියලා.
මට දැනුයි මේවා තේරුම් යන්නේ.
මේනකාට, දුවට, පුතාට තිබුණු ආදරය අසීමිතයි.
ඒ ආදරයම නුඹ ලොවට දෙන්න උත්සුක වුණා.
ඒත් ඒ ආදරය නුඹට සමාජයෙන් ලැබුණ ද කියලා මම තාම මාව ප්‍රශ්න කරනවා. නුඹ අයිති ලංකාවට නෙමේ මචං විශ්වයටයි. නවතින්න ඕන තැනනම් මට තේරෙන්නේ නෑ.

නුඹේ කවදත් හිතාදර,මෙරිල් ඇතුළු එදා සිටි පිටිපන නුඹගේ හිතවතුන්.