ජවිපෙ තම න්‍යාය පත්‍රය වෙනස් කල යුතු වේ.

0
240

JVP-Logo-900

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම පවසන්නේ 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ රෙජීමය වෙනස් කිරීමෙන් මේ රටේ ජනතාව අපේක්ෂා කල කාර්‍යභාරය ඉටු කිරීම මෛත්‍රී-රනිල් සහයෝග ආණ්ඩුව හිතාමතාම පැහැර හරින බවය. ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය තිබෙන්නේ නම් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හොරු පමණක් නොව ඔවුන්ට හොරුන් යැයි පවසන් ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ද වැරදිකරුවන් වී සිරගෙවල් වල බව ඔවුන් පවසති.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෑතකදී රූපවාහිනී නාලිකාවක් සමග කල සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ තමන්ට තවත් වසර ගණනාවක් යන තුරු මේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි බවය. එසේ නම් රටේ පොදු දේපල කොල්ලකෑ හොරුන්ට දඩුවම් දීමටද ඒ තරම් කාලයක් ගතවනු ඇත.

පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට සැලකිය යුතු නියෝජනයක් පාර්ලිමේන්තුවේ නොලැබුණත් ඔවුන් සුවිශාල දායකත්වයක් ලබා දුන් 2015 ජනවාරි 8 වෙනදායින් බිහිවූ වාතාවරණය තුල පසුකාලීනව බිහිවූ සහයෝගී රජයේ කොටස්කරුවන් වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කලේය.එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හවුල්කරුවෙකු වී ආණ්ඩුව නිවැරදි ගමන් මගකට යොමු කරනවා වෙනුවට විපක්ෂයේ සිටිමින් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. ආණ්ඩුවේ හවුල්කරුවෙකුව සිටිමින්ද ඔවුන්ට මෙය සිදු කල හැකිව තිබුණි. විවේචනය කිරීම ඉතාමත් පහසු කාර්‍යයි.

වසර ගණනාවක් තිස්සේ රට අඝාධයෙන් අඝාධයට ගෙනගිය ඒකාබද්ධ විපක්ෂය තුල සිටින මන්ත්‍රීවරුන් කරමින් සිටින්නේද එයමය.  ජනතා විමුක්ති පෙරමුණ හොද අවස්ථාවක් පැහැර හැර ඇත. කෝප් කමිටුවේ සභාපතිත්වය ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයාට ලබා දීම නිසා ඔහුගේ නායකත්වය තුල රට තුල සිදුවූ  මහා වංචා  එළිදරව් කිරීමට අවස්ථාව උදාවිය. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ පාර්ශවකරුවන් බවට පත්වූවානම් තමන් කටයුතු කරන්නේ රාජ්‍ය බලයේ කොටස් කරුවන් ලෙසයි. එවිට ඔවුන්ට හොරුන්ට එරෙහිව වඩාත් කාර්‍යක්ෂම ලෙස කටයුතු කිරීමට හැකියාව තිබුණි. පවතින රජය බිහිවූ හොදම රජය ලෙස අපි සලකන්නේ නැත. එහෙත් තිසියම් කටයුත්තකදී කේවල් කිරීමේ හැකියාව වර්තමාන රජය තුල පවතී. එබැවින් හොරුන් ඇල්ලීම හා ඔවුනට දඩුවම් දීමද වඩා කාර්‍යක්ෂම කරන්නට හැකියාව තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව ඇත්තේ තවත් වසර 10කින් හෝ 15කින් මේ රටේ ආණ්ඩුබලය ලබා ගැනීමටය. ඒකාබද්ධ විපක්ෂය ලෙස පුස් වෙඩි පත්තුකරන කණ්ඩායම ඔස්සේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකට බෙදන තුරු ජනතා විමුක්ති පෙරමුණ කෙල පෙරමින් බලා සිටී. කෙසේ හෝ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුබලය ලැබෙන්නේ තවත් වසර 10කට හෝ 15කට පසුව නම් එදාට ඔවුනට ආණ්ඩුවේ සිටීමට රටක් තිබිය යුතුය. එබැවින් ඔවුන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය දෙස නැවත හැරී බැලිය යුතුව ඇත.

JVP

 

 

අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)