ජාත්‍යන්තර පෝලියෝ දිනය සමරා මීගමුව රොටරි සමාජයෙන් රථ පෙළපාලියක්

0
267

පෝලියෝ දිනයමීගමුව රොටරි සමාජය සමග ලෝක පෝලියෝ දිනය සමරමු…
පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන් කිරීමට ජාත්‍යන්තර රොටරි සමාජය විසින් ගෙනයන සටනට එක්වෙමු…

ලෝක පෝලියෝ දිනය සැමරීම සඳහා ඔක්තෝම්බර් 24 දින මීගමුව රොටරි සමාජය (Rotary Club of Negombo) විසින් දැවැන්ත මෝටර් රැළියක් සංවිධානය කර ඇත. පෙරවරු 8.00 ට මීගමුව නගර සභා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වන මෙම රැලිය මීගමුව, පමුණුගම, වත්තල, ජා ඇල, කඳාන, දිවුලපිටිය, කටාන, මිනුවන්ගොඩ, කොච්චිකඩේ යන ප්‍රදේශ ආවරණය කරමින් ගමන් ගනු ඇත. මේ සඳහා මීගමුව රොටරැක්ට් සමාජය (Rotaract Club of Negombo) මගඟු දායකත්වයක් සපයයි.

තවද ලෝක පෝලියෝ අරමුදලට ආධාර පිණිස සංගීත රාත්‍රියක් මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී ඔක්තෝම්බර් මස 26 දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙම කටයුතු සිදුවන්නේ ලෝක පෝලියෝ තුරන් කිරීමේ සටන ඉතා වැදගත් සංධිස්ථානයකට එළඹ සිටින මොහොතකය. මෙම සැප්තැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් අප්‍රිකානු මහාද්වීපයේ අවසන් පෝලියෝ සහිත රට වූ නයිජීරියාව පෝලියෝ රෝගය තුරන් කල රටක් බවට වර්ග කිරීමට තමන් සුදානම් වන බව නිවේදෙනය කරන ලදී. ඒ අනුව ලෝකයේ පෝලියෝ වෛරසය තවමත් තුරන්කොට නැති රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තානයයි.

1985 දී ජාත්‍යන්තර රොටරි සංවිධානය පෝලියෝ සටනට පිවිසෙන විට ලොව රටවල් 125 ක් පෝලියෝ වෛරසය විසින් ආක්‍රමණය කර තිබුණි. වසරකට දරුවන් 350,000 ක් එනම් දිනකට දරුවන් 1000 ක් පමණ මෙම වෛරසයට ගොදුරු වීම නිසා ආබාධිත තත්වයට පත්විය. 2015 වනවිට එම ගණන 99.9% කින් පහත වැටී තිබුණු අතර ලෝකයෙන්ම වාර්තා වුයේ පොලියෝ රෝගීන් 50 කටත් අඩු ගණනකි. ඒ ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ යුධමය වාතාවරණයක් ඇති කුඩා ප්‍රදේශ කිහිපයකිනි.

1985 වසරේදී ජාත්‍යන්තර රොටරි සංවිධානය ලෝකයේ සියලු දරුවන් සඳහා පෝලියෝ එන්නත ලබාදීමේ අරමුණින් “පෝලියෝ ප්ලස්” වැඩසටහන ආරම්භ කරන ලදී. 1988 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), යුනිසෙෆ් (UNISEF) හා ඇමෙරිකානු වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථාන සමග වඩාත් පුළුල් වූ වැඩසටහනක් ගොඩනගන ලදී. එතැන් සිට ගතවූ දශක තුනක් තුලදී ජාත්‍යන්තර රොටරි සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට පරිත්‍යාග කර ඇත. ලොව පුරා රෝටෙරියානුවන්ගේ වසර 30 ක දුෂ්කර උත්සාහයකින් අනතුරුව වසුරිය රෝගයට පසු ලෝකයෙන් සම්පුර්ණයෙන්ම තුරන් කල දෙවන රෝගය ලෙස පෝලියෝ රෝගය ඉතිහාස ගතවීමට ඉතා ආසන්නව ඇත.

නදුන් කාංචන වීරසිංහ
උප ලේකම් 2015-16
මීගමුව රොටරි සමාජය