ජා ඇල කුඩ්ඩෝ සුනඛයන්ට වස දී මරති

0
264

dog

ජාඇල නගරය හා ඒ අවට ජීවත් වන නිවාස අහිමි සුනඛයන් සමූහ වශයෙන් මියයෑමේ සිදුවීම් කිහිපයක් පිලිබදව වාර්තා වෙයි. ඒ අනුව සිදුකරනු ලැබූ විමසීම් වලදී අනාවරණය කරගත හැකි වූයේ ජාඇල ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ආයතන, මෝටර් රථ අංගන ආදී ස්ථානවලින් රාත්‍රී කාලයේදී යම් යම් දේ සොරකම් කිරීමට පුරුදුව සිටින මත්ද්‍රව්‍ය ඇතුළු පිරිස් විසින් මෙම සුනඛයන් වසදී මරණයට පත් කරන බවකි.

මෙසේ වස ආහාරයට ගැනීම නිසා මහමග වැටී පැය ගණන්,දින ගණන් දුක් විදින සුනඛයන්ගේ දර්ශණ දැන් තමන්ට පුරුදු බව පවසන ජාඇල ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනුයේ මෙම මිලේච්ඡ ක්‍රියාවෙන් කම්පාවට පත් සමහරුන් ඖෂධ හා ප්‍රතිකාර මගින් එම සුනඛයෙන්ගේ ජීවිත බේරා ගැනීමට වෙරදරා ඇති නමුත් ඒ උත්සාහයන් බොහෝමයක් අසාර්ථක වී ඇති බවකි.

ජාඇල නගරය හා ඒ අවට ඇති පැරණි යකඩ අබිලි ද්‍රව්‍ය එක්රැස් කොට ඇති ස්ථාන සහ මෝටර් රථ අංගන වැනි ස්ථාන වලින් පසුගිය කාලයේ විවිධ ද්‍රව්‍ය අතුරුදහන් වී තිබීම මත ඒවායේ ඇතැම්  ව්‍යාපාරිකයන් ප්‍රදේශයේ ගැවසෙන නිවාස අහිමි සුනඛයන්ට එම ස්ථාව ආශ්‍රිතව ඇති ආපන ශාලාවලින් ඉවත් කෙරෙන ඉදුල් බත් ආදිය ලබාදුන් බවත් ඉන්පසු රාත්‍රී කාල වලදී එකී ස්ථාන වලට එම සුනඛයන්ගේ නොමද ආරක්ෂාව හිමි වූ බවත් එම ව්‍යාපාරිකයෝ පවසති. ඒ ඔස්සේ එම ස්ථාන වලින් යම් යම් දේ සොරකම් කිරීමට ඇති ඉඩකඩ අහිමි වීම මත එම සොරුන්ද එම සුනඛයන්ට එකී ස්ථාන අසලදීම ආහාර වලට වස මුසු කොට දී ඇති බවට පැහැදිලි සලකුණු ඇති බව ව්‍යාපාරිකයන් පවසති.

මේ වන විට එම මිලේච්ඡ ක්‍රියාව යටතේ සුනඛයන් සිය ගණනක් මරණයට පත්කොට ඇති අතර මෙම ක්‍රියාව තරයේම පිළිකුල් කරන ජාඇල සාමාන්‍ය ජනතාව පවසනුයේ ඉදිරියේදි මෙම තත්වය පිළිබදව නිරන්තර අවධානයෙන් සිටි තමන් එම මිලේච්ඡයන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවකි.

 

– තිලක්  සේනාසිංහ-