ඥානසාර හිමිට කොළඹ අගරදගුරු පදවියෙන් ප්‍රතිචාර

0
90

බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගියදා පැවති රූපවාහිනී සංවාදයක දී සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය ප්‍රතිචාර දක්වා ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බව පවසමින් උන්වහන්සේගේ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එය බරපතල කරුණක් බව සඳහන් කරමින් කතෝලික ආයතනය කියා සිටියේ උන්වහන්සේගේ ප්‍රකාශයන් විමර්ශනය කළ යුතු බවත්, ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

2019 පාස්කු ප්‍රහාරයට පෙර කතෝලිකයින්ට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳව තමා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට දැනුම් දුන් බව ඥානසාර හිමියන්ගේ කලින් ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් කොළඹ අගරදගුරු පදවිය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

කොළඹ අගරදගුරු පදවිය පැවසුවේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් එවැනි යම් ප්‍රහාරයක් සිදු විය හැකි බවට අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අනතුරු ඇඟවූයේ නැති බවයි.