තව සති දෙකකයි ! කොළඹ නගරයේ සුඛෝපභෝගී බෝට්ටු සේවය ඇරඹෙයි !

0
96

*කොටුවේ ඉඳන් යුනියන් පෙදෙසට විනාඩි 10 යි
*වායු සමනය කළසැප බෝට්ටුවලින් ලාබෙට ගමන් බිමන්
*මාර්ග තදබදයවැඩි වේලාවටත් වැල්ලවත්තේ ඉඳන් බත්තරමුල්ලට යන්න විනාඩි 35 යි
*කැලණි ග‍ඟෙන් හංවැල්ලටත් අලුත් බෝට්ටු සේවයක්

කොළඹ නගරයේ වාහන තදබදය අධික පෙරවරු 7 සිට 9 දක්වා වෙලාවට වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 35 – 40 තුළ යෑමට හැකි නම් එය විශ්වකර්ම වැඩකි. එමෙන් ම ඒ වේලාවට කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙසට විනාඩි 8 – 10ක් ඇතුළත යාමට හැකි නම් එයත් විස්මයජනක කරුණකි. ඒත් රජයේ අලුත් වැඩපිළිවෙළ අනුව දැන් මේවා විස්මයජනක කරුණු නොවේ. අප එසේ කියන්නේ ළඟදීම ක්‍රියාත්මක කරන නව ප්‍රවාහන ව්‍යාපෘතියක් නිසා ය.

ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාවට නංවන කොළඹ නගරයේ ජල මාර්ගවල දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් ඉහත විස්මිත දේ ජනතාවට ප්‍රතිලාභ ලෙස ලැබේ. ඒ අනුව නියාමක ව්‍යාපෘතියක් ලෙස එම බෝට්ටු සේවාව ඉදිරි සති දෙක ඇතුළත කොළඹ බේරේ වැවේ හා වැල්ලවත්ත ඇළේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඊට අමතරව ඉදිරියේදී කැලණි ග‍ඟේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වා ද මඟී ප්‍රවාහන බෝට්ටු සේවය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. නගරයේ වාහන තදබදයට කදිම විසඳුමක් වන මේ තිරසර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට ‍හේතු වූ කරුණු බොහෝය. ඒ පිළිබඳව අපි ගවේෂණාත්මකව සොයා බැලිය යුතු වෙමු.

අද අපේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ දහවල් කාලයේ වාහනවල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 7 – 8 අතරේ ය. විවිධ මාර්ග වෙනස් කිරීම්, මාර්ග පළල් කිරීම් ආදිය පසුගිය වසර දෙක ඇතුළත සිදු කළත් තවමත් අපේ වාණිජ නගරයේ වාහන ගමන ඉබි ගමනේ ය.

මෙවන් තත්ත්වයක් යටතේ අපේ ර‍ෙට් ආර්ථිකය ද ඉබි ගමනේ යන බැවින් ඊට වියදම් ලෙස අලුත් ප්‍රවාහන ක්‍රමයකට යා යුතු වේ. ඒ අනුව මහා නගර සැලසුම් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය ඇතිව අලුත් මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් එම සංස්ථාව මගින් ආරම්භ කිරීමට දැන් සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳව අපට කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවේ පරිසර විද්‍යාඥ රෙනෝෂි සිරිපාල මෙනෙවිය පැවසුවේ මේ අලුත් ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයේ මාර්ග තදබද ගැටලුවට ලාභදායි තිරසර විසඳුමක් ලැබෙන බවයි.

කොළඹ ඇති ඉඩම් සංවර්ධන සංස්ථාව විසින් නඩත්තු කරන පාලනය කරන කොළඹ ඇළ මාර්ග පද්ධතියේ සුරැකීමටත් නව ව්‍යාපෘතිය ප්‍රයෝජනවත් වෙනවා.

මුලින් ම අප කල්පනා කළේ අපට ඇති ඇළ මාර්ගවලට පාමංකඩ වැනි ප්‍රදේශවලදී අප ජලය ද කුණු කසළ එක් කිරීම වළක්වා ගන්නේ කොහොමද කියලා.‍ ඒ අනුව අපට ආපු යෝජනාවලින් වැදගත් ම යෝජනාව වුණේ මේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මේ ඇළ මාර්ගවල ක්‍රියාවට නැංවීමට සැලැස්වීමයි.

මේ කටයුත්ත සඳහා වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ උප සභාපති අරුණ ගුණවර්ධන හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය එන්.එස්. විජයරත්න මහතාත් අපට ගොඩක් උපදෙස් ලබාදුන්නා.

2016 දී තමයි අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කළේ. ඒත් ආයෝජකයින් ගේ ගැටලුවක් ආවා‍. නමුත් පසුව ඇමැති පාඨලී චම්පික මහතාගේ උපදෙස් මත අපේ සංස්ථාව විසින් ම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්න පටන් ගත්තා.

මේ අනුව මුලින් ම අප නියාමන ව්‍යාපෘතියක් ලෙස කොටුව ලේක්හවුස් ඉදිරිපිට මැකලම් ගේට්ටුව අසල ඉදි කරන ජැටියේ සිට වොක්ෂෝල් වීදියේ පිහිටි ජැටිය දක්වා බෝට්ටු සේවාව ආරම්භ කරනවා. එය ලබන සති දෙක ඇතුළත සිදුවේවි” ඇය පවසන්නීය.

දැනට කොටුව දුම්රිය ස්ථානයේ සිට යුනියන් පෙදෙසට කාර්ය බහුල වේලාවට ත්‍රිරෝද රථයක යෑමට‍ රුපියල් 100 ක පමණ වැයවේ. විනාඩි 25 – 30 ක කාලයක් ගතවේ. නමුත් අලුත් මගී බෝට්ටු සේවාව මගින් ලේක්හවුස් ඉදිරිපිට සිට යුනියන් පෙදෙසට යෑමට ගත වන්නේ විනාඩි 10 – 12 අතර කාලයකි. වායුසමනය කළ සුව පහසු ආසනයක සිට ඒ ගමන යාමට ඔබට පුළුවන.

මේ ව්‍යාපෘතියේ මුල් මාසයේදී මේ ගමනට මුදල් අය කරන්නේ නැත. නමුත් ඒ බෝට්ටු සුරැකීම ඔබ සතු වැදගත් යුතුකමකි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ මේ අලුත් මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් කොළඹ නගරය ඇතුළත මාර්ග තදබදය හා ඒ නිසා ඇතිවෙන මානසික පීඩනය නොමැතිව පරිසර හිතකාමී ඉක්මන් ගමනකට ජනතාවට ඉඩ සැලසෙන බවයි. රාජ්‍ය හා පෞද්ගලික සේවක පිරිසට මෙන් ම ඒ අය නැති වෙලාවට සංචාරකයන්ටත් මේ බෝට්ටු සේවාව මගින් අපි ප්‍රතිලාභ ලබා දෙනවා.‍ එමෙන් ම අපේ ඇළ මාර්ගවල ගුණාත්මක බව සුරැකීමටත් මේ බෝට්ටු සේවාව ප්‍රයෝජනවත් යැයි සභාපතිවරයා කීය.

මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාවේ දෙවන පියවර වන්නේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ඇති වැල්ලවත්ත – දෙහිවල ඇළ මාර්ගයේ දිවෙන බෝට්ටු සේවාවයි. එයත් ළඟදීම ආරම්භ කිරීමට යෝජිතයි.

දැන් වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා මාර්ග තදබදය වැඩි උදේ 6.30 – 9.30 අතර කාලයේදී හා පාසල ඇරෙන වේලාවලදී බස් රථයක ගමන් කිරීමට අඩුම ගණනේ පැය 2 ක්වත් ගතවෙනවා. ඒ ගමන් මාර්ගය හරහා ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර, 120 මාර්ගය, හයිලෙවල් පාර, කොටුව, නාරාහේන්පිට පාර, නාවල පාර ඇතුළු ප්‍රධාන මාර්ග තදබදය අධික මාර්ග තිබෙනවා. මේ අනුව මේ සියල්ලම මග හැරවීමට අලුත් බෝට්ටු සේවය මඟින් දිය මතින් විනාඩි 35 – 40ක් ඇතුළත වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට සුව පහසු ගමනක් ලබාදීමට අපි සූදානම්” සභාපති රොෂාන් මහතා කියයි.

මේ පිළිබඳව දැන් තවදුරටත් කරුණු දැක්වූ පරිසර විද්‍යාඥ රෙෂිනි සිරිපාල මෙනෙවිය පැවසුවේ මේ බෝට්ටු සේවය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව බොහෝ උපකාර කළ බවයි. “අපිට සුදුසු බෝට්ටුවක් නාවික හමුදාවේ වැලිසර බෝට්ටු යාත්‍රාංගණයෙන් තමයි හදලා දුන්නේ. ඒ බෝට්ටු දෙකක් දැන් හදලා අවසන්. මුල් එක ගමනට සූදානම්. එහි ආසන 50 ක් තිබෙනවා. සම්ප‍ූර්ණයෙන් වායු සමීකරණය කර තිබෙනවා. වායු සමීකරණය නැති බෝට්ටුවකුත් තිබෙනවා. අවශ්‍ය අයට මේ බෝට්ටු පදවන්නේ නාවික හමුදාවේ නියමුවන් මගී ආරක්ෂාව නාවික හමුදාවෙන් කරනවා. කොටුව – යුනියන් පෙදෙස අතර බෝට්ටු සේවාව උදේ 7 සිට රාත්‍රි 9 දක්වා තිබෙනවා. මේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව තනිකරම අපේ රජයේ වැඩක්. එය පාවිච්චි කරන ජනතාවට එය සුරැකීමට කටයුතු කළ යුතුයි” සිරිපාල මෙණෙවිය පවසන්නීය.

ලංකාවට එන සංචාරකයින්ගේ සියයට 95ක් ම කොළඹට තමයි මුලින් එන්නේ. නමුත් ඒ අයට කොළඹ ඉන්න වෙලාවේ ඔවුන්ට දකින්න බලන්න දේවල් අඩුයි. අපි මේ අලුත් සුඛෝපභෝගී බෝට්ටු සේවාව මඟින් එතෙර සංචාරකයනට කොළඹ වටේ ජල මාර්ගයක් ඔස්සේ පරිසරය බලන්න. රවුමක් යාමට අවස්ථාව ලබාදෙනවා. දැන් හදා අවසන් කර තිබෙන කොළඹ නෙළුම් කුලුන ලස්සනට පේන්නේ බේරේ වැවට‍. අපේ බෝට්ටු සේවාවේ යන අයට ඒක ලස්සනට ඡායාරූපයට නගන්න පුළුවන්. ඒ අනුව මේ බෝට්ටු සේවාව අපේ රටේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට යොදාගන්න පුළුවන්.

මෙම ව්‍යාපෘතියේ තෙවැනි පියවර කොළඹ මට්ටක්කුලියේ සිට හංවැල්ල තෙක් කැලණි ග‍ඟේ දිවෙන සුඛෝපභෝගී බෝට්ටු සේවයයි – එය මගිනුත් කාර්ය බහුල වේලාවලදී මෙන් ම අන් වේලාවලදීත් ඒ මාර්ගයේ යන අයට කාලය, මුදල, ශ්‍රමය ඉතිරි කරගෙන වායු සමනය කළ බෝට්ටුවක සුව පහසු ගමනක නිරත වී තම කටයුතු ද හිතේ සැනසීමෙන් යුක්තව ඉටු කර ගත හැකියි.

මෙම සියලු කොළඹ ජල මාර්ගවල බෝට්ටු සේවාව හා සහසම්බන්ධව බස් හා දුම්රිය ප්‍රවාහන සේවාවල කාලසටහන් සකස් කිරීමටත් කටයුතු කෙරේ.

මීට අමතරව කොළඹ බේරේ අවට ඇති ප්‍රධාන හෝටල්වල විදේශ සංචාරකයන්ට සතුටු වීමට රාත්‍රියේදී මේ බෝට්ටු සේවය යොදා ගැනීමට අදහස් කෙරේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදි මේ මුල් ව්‍යාපෘති 3 සඳහා සම්පූර්ණ වියදම රුපියල් මිලියන 100 කි. මේ මගින් 500ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන අතර කොළඹ ජල මාර්ගවල පිරිසුදු බව හා ජලයේ තත්ත්වය ද ඉහළ යයි‍.

ජලයේ ගුණාත්මක බව වැඩිවීමටත් ජනතාවට කොළඹ නගරයේ ගමන් කිරීමට මෙතෙක් කල් විනාශ වූ කාලය, ශ්‍රමය හා ධනය අවම කර ගැනීමටත් මේ ව්‍යාපෘතිය හේතුවනු නොඅනුමානය.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මගින් රටට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විට මෙවන් නව ව්‍යාපෘති මගින් නගරය භාවිත කරන අයට තවත් ප්‍රතිලාභ ලැබෙන විට අපේ රට ඉන්න හිතෙන රටක් බවට පත්වීම නොඅනුමානය.

මෙතෙක් කල් වරින් වර බේරේ වැවේ හා වැල්ලවත්ත ඇළෙන් හමන ගඳ අඩුකර එහි ජලය චලනය කිරීම මගින් ඒ ජල මාර්ගවල ජලයේ තත්ත්වය ද ඉහළ නැංවීමට මේ නව ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත.

ඒ අනුව අපේ ‍ර‍ටේ ජනතාවට ආර්ථික, ව්‍යාපාරික හා පාරිසරික ප්‍රතිලාභ ලැබෙන මේ නව මගී ප්‍රවාහන බෝට්ටු සේවාව රටපුරා සියලු ජල මාර්ගවල ව්‍යාප්ත කිරීමට හැකිනම් එය මෙරටට පැට්‍රල් ඩීසල් වැනි ඉන්ධන ගෙනඒම අඩු වී ර‍ෙට් ආර්ථික ප්‍රගතිය ඇති කිරීමටත් ඉවහල් වනු ඇත.
www.infosrilankanews.info