ත්‍රස්ත පනත දේව විරෝධිය 

0
271

“මාගේ සෙනග පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත” (යෙසායා 10/1)

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනතද එකසේ මානව විරෝධිය. දේව විරෝධීය. ඊට විරුද්ධ විය යුතුය.

මේ විරෝධතා හුදෙක් නව පනත යටතේ වෘත්තිය සමිති ක්‍රියාධරයාද මාධ්‍යවේදියාද, උද්ඝෝෂණය කරන්නාද ත්‍රස්තවාදියෙක් කරනවා යන කාරණයකට ලඝුවීම මෙන්ම පවතින පනත මේ තරම් ශක්තිමත් වීමට බලපෑ ඇත්ත හේතු අමතක කරමින් සිදුවීම නම් කිසිසේත් අනුමත කළ නොහැකිය.

1. 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විවිධතා පනත ගෙනාවේ ඇයි ?

2. වසර 44 ක් සිංහල අධිපතිවාදි ආණ්ඩුවලට එය පවත්වාගෙන එන්නට හැකිවූයේ ඇයි ?

3. පවතින පනතටත් වඩා ඉදිරියට යන ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට පුළුවන් වී ඇත්තේ ඇයි ?

මේ ප්‍රශ්න වලට පිළිතුරු අමතක කොට නව ත්‍රස්ත පනතට දක්වන විරෝධය මතුපිට විරෝධයක් වනවා ඇත. දකුණේ වාම ප්‍රගතිශීලීන්ද, ලිබරල් ප්‍රගතිශීලින්ද, අරගලකරුවෝද වැඩි දෙනා මේ මොහොතේද අර අදින්නේ ඒ ප්‍රශ්න අමතක කොට දමන විරෝධයකට බව පෙනේ.

මේ ත්‍රස්ත පනත් යනු මොනවාද ? එකිනෙකට බැඳි ඇති කරුණු දෙකක ප්‍රතිඵලයක් ලෙස, පීඩිත ජාතින්ගෙන් පීඩිත සමාජ කොටස්වලින් රාජ්‍යයට විරුද්ධව, ආණ්ඩුවලට විරුද්ධව පැන නගින විරෝධයන් තිරශ්චින ලෙස මර්ධනය කිරීමට සුජාතභාවයක් ලබා ගැනීමට ගෙන එන පනත් ය. ත්‍රස්තවාදය ලෙස දශක ගණනාවක් තිස්සේ හංවඩු ගසා ඇත්තේ ආර්ථික හා ජාතික ලෙස විවිධ ජන කොටස් මත ගෙන එනු ලැබූ පීඩනයට එරෙහිව නැගී ආ  යුක්තිසහගත ප්‍රතිවිරෝධයන්  වලටය. එම ප්‍රතිවිරෝධයන් වලට හේතුව සැගවී ඇත්තේ පවතින ආර්ථික දේශපාලන සමාජ ක්‍රමයේ හා රාජ්‍යයේ ත්‍රස්තවාදය නීත්‍යානූකූල කිරීම සඳහා ගෙන එන පනත් තුළය. ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය සැමවිට පවත්වා ගෙන යනු ලබන්නේ ඒකීය රාජ්‍යය විසිණි

මොනවාද ඒ එකිනෙකට බැඳි පවතින කරුණු දෙක,

01. ලාභය මත පදනම් වු පවතින කොල්ලකාරී ආර්ථීක ක්‍රමය පවත්වා ගෙන යාම.
02. පවතින සිංහල වර්ගවාදි අර්ධ මිලිටරි අධිපතිවාදි රාජ්‍යය, ජාතික ආරක්ෂක රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෙන්ම ප්‍රති ත්‍රස්ත පනතට දක්වන කවර විරෝධයක් වූවද මේ කරුණු නොසලකා සිදු කිරීමේ අරුතක් නැත.

ලංකාව තුළ පවතින වර්ගවාදි සිංහල රාජ්‍ය ව්‍යුහයට නිශ්චිත ලෙසම විරුද්ධ නොවී පවතින ආර්ථික ක්‍රමයට විරුද්ධ වීම විහිළුවක් පමණි. එය අපිට පහසුවෙන් තේරුම්ගත හැක්කේ අප පෙර මතු කළ දෙවන ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමෙනි.

1979 දී තාවකාලික පනතක් ලෙස ගෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 44 ක් පුරා ශක්තිමත්ව යොදා ගැනීමට වාර්ගික සිංහල අධිපතිවාදි රාජ්‍යයට හැකිවූයේ ඇයි ?

අද ප්‍රති ත්‍රස්ත පනතින් සමාජ ක්‍රියාධරයින්ට, ශිෂ්‍ය ක්‍රියාධරයින්ට, මාධ්‍යවේදින්ට කිසිදු අවස්ථාවක කිසිදු විරෝධක් දක්වන්නට අවස්ථාවක් නොලැබේ යැයි කියමින් විරුද්ධ වන දකුණේ පිරිස්ද පළමුව දෙමළ ජනයාත් පසුව මුසලිම් ජනයා තලා පෙළීම සඳහා ත්‍රස්ත විරෝධි පනත භාවිතා කිරීමට වර්ගවාදි රාජ්‍යයට සහය දීම හේතු කොටගෙනය මේ පනත වසර 44 ක් ඇදී ආවේ.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට සාමාන්‍ය නීතිය ඉක්ම වූ පනත් අවශ්‍ය වූයේ ‘වර්ගවාදි රාජ්‍යයක් තුළ කොල්ලකාරී ධනපති ආර්ථීකය’ රැගෙන යාමටය. ඒ සඳහා ජයවර්ධන ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පමණක් නොව මහ කොළඹ ආර්ථීක කොමිසමේ සභා පනත, මහවැලි සංවර්ධන අධිකාරි පනත ආදි පනත්ද ගෙනා ආ බව අප මතකයට නගා ගත යුතුය.

එදා මහ කොළඹ ආර්ථික කොමිසම් පනතට මෙන් විරෝධයක් සිංහලකරණ වැඩ පිළිවෙලක් සැගව තිබු මහවැලි පනතට ආවේ නැත. දෙමළ ත්‍රස්තවාදය වැළෑක්වීම පෙන්වා සම්මත කරගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට දකුණේ සමාජයෙන් තදබල විරෝධයක් ආවේ නැත. එහෙත් දෙමළාව මර්ධනය කිරීමට ගෙන ආ පනත් දකුණේ පීඩිතයන්ගේ අරගල මර්ධනය කිරීමට භාවිතා විය. උතුරට හැරවූ රාජ්‍ය මිලිටරි යාන්ත්‍රණය දකුණට ද හැරවිණි.

1980 වර්ජන මර්ධනයද 1983 ජූලි වර්ග සංහාරයද, ජවිපේ ඇතුළු වාම පක්ෂ තුනක් තහනම් කිරීමද, එකම ක්‍රියාවලියක පුරුක්ය. 1888/1989 දැවැන්ත මර්ධනය දකුණට ගෙන ඒමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම වගකීමෙන් නිදහස්වීමේ පනතද ධනපති වර්ගවාදි රාජ්‍ය භාවිතා කළේය. ඉන්පසු එම පනත් අහෝසි කිරීම තම දේශපාලන ඉල්ලීම්වල මූලික ඉල්ලීමක් කරගත් ජවිපේ ඇතුළු වමේ පක්ෂ බහුතරය මව්බිමේ, ආරක්ෂාවේ නාමයෙන් ඊනියා ජාතික රාජ්‍යය රැක ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සහය දීමටත් එහාට යමින් බර අවි යොදා ලබ්බෙන් හෝ පහර දී දෙමළ ජනයා සංහාරයට උපකාර කිරීම නිසා මේ පනත ශක්තිමත්ව පවත්වා ගැනීමට වර්ගවාදි සිංහල රාජ්‍යයට හැකි විය. “ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය” ආරම්භ කළේ ලෝක මහ බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයයි. එය නිවැරැදි ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි මහ හඩින් ඉල්ලා සිටියේ ජ.වි.පේ. ප්‍රමුඛ සිංහල ජාතිකවාදී පක්ෂයන්ය. ඒ දෙමළාට එරෙහිවය.

ත්‍රස්තවාදි පනත දිගුකලක් පවත්වාගත්තේ හුදෙක් වර්ගවාදි ධනපති ආණ්ඩු විසින් පමණක් නොවේ,

ජවිපේ ඇතුළු ඊනියා වාමවාදි පක්ෂ විසින්ද වේ. ඒ නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාලන බලය හෙඹවු පාලකයින්ගේ දුෂ්ටත්වයේ මෙන්ම සිංහල වර්ගවාදී රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි වම්මුන්ගේද දුෂ්ටත්වයේ ප්‍රතිපලයක් ලෙස පැවැතුන පනතකි. දරා ගත නොහැකි ආර්ථික බර නිසා නැගී එන ප්‍රතිවිරෝධයට නායකත්වය දෙන බහුතරයක් ඒකීය රාජ්‍යය රකිති. ඒ දෙමළාට එරෙහිවය. මුසල්මානුවට එරෙහිවය. එපමණක් නොව වර්තමානයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ ප්‍රකාශන නිකුත් කරන කාදිනල් හිමියන් ඇතුළු ආගමික නායකයෝද, ජාතියේ නාමයෙන් දෙමළ ජනයා හා මුස්ලිම් ජනයාට එරෙහිව මර්ධනය දියත් කිරීමට මෙම පනත යොදා ගන්නා ඊනියා දේශප්‍රේමි ආණ්ඩුවලට සහය දුන් අධාර්මික දේශපාලනයේ නිරතවූවෝ වෙති. නව පනතට පාර කපන්නේද ඒ දූෂිත දේශපාලන තුළින්මය. එය හුදු ඕපපාතික පනතක් නොවේ.

මෙම පනත් කෙටුම්පත සියුම්ව කියවා බැලීමේදී පෙනි යන්නේ ඇතැම් විට එය පැවැති පනතටද වඩා භයානක ලෙස භාවිත විය හැකි බවය. නීති විශාරදයින් එසේ පෙන්වා දෙති.

අපගේ අදහස වන්නේ ‘ත්‍රස්තවාදය’ ලෙස බොහෝ අය නාමකරණය කරනු ලබන පීඩිතයාගේ ප්‍රතිවිරෝධයේ මූලය ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයේ බවයි. රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ආරක්ෂා කරන ආර්ථික දේශපාලන සමාජ ක්‍රමයේ සැගව ඇති ත්‍රස්තවාදය තුළ බවයි.

පවතින ක්‍රමයේ හා රාජ්‍යයේ ත්‍රස්තවාදයට නිත්‍යානුකූල බවක් ලබා දෙන ත්‍රස්ත පනතක් දේව විරෝධි බව නැවත නැවත පැවැසිය යුතුය.

නව ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් නිර්වචනයක් ඇතුළත් කොට ඇත්තේද පෙර නොතිබු නව මර්ධනකාරී ආඥාදායක ප්‍රතිපාදන හඳුන්වා දී ඇත්තේද ආර්ථික ක්‍රමයේ පීඩාවට එරෙහිව එන්නත්, අරගලකරුවන් මෙන්ම ජාතික පීඩාට එරෙහිව දෙමළ හා මුස්ලිම් සමාජයෙන් එන විරෝධය කුඩුපට්ටම් කිරීමටය. ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ලංකාව තුළ ඒ අර්බුදයට හේතු වූ වර්ගවාදි රාජ්‍ය ව්‍යුහය හා එය මත පදනම්ව කොල්ලකාරී ධනවාදයේ නව අදියර ක්‍රියාත්මක කිරීමටය.

පැවැති පනත සේම නව පනතද ශ්‍රී ලංකාවේ බහුත්වවාදි ස්වරූපය මකා දමා අධිපති වර්ගවාදය ස්ථාපිත කිරීමට අනුබල දෙන්නා වුද, ඒ සඳහා වර්ග සංහාරයන් වූවද සුජාත කරන්නා වුද, නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අති දුර්වල කරන්නාවුද, පාලකයින්ට ධන කුවේරයින්ට බාධාවන්නේ යැයි සිතන ඕනෑම අයකු ත්‍රස්තවාදියෙක් කොට මර්ධනය කිරීමට ඉඩ සලස්නාවුද භාෂාණයේ ප්‍රකාශනයේ නිදහස දුර්වල කරන්නාවුද පුද්ගල නිදහස සංවිධානය වීමේ අයිතිය උල්ලංඝනය කරන්නාවුද පොලිස් රාජ්‍යයකට පාර කපන්නාවුද ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කරන පනත් වේ. ඒ නිසා මේ දෙකටම එක ලෙස විරුද්ධ විය යුතුය.

ඒ විරුද්ධ වීම නියම විරුද්ධවීමක් වීමට නම් එකී පනත ශක්තිමත් කළ ඉතිහාසය පිළිගත යුතුය. ඊට හේතු වූ වර්ගවාදි දේශපාලනයෙන් තීරණාත්මක ලෙස වෙන්වීම ප්‍රකාශ කළ යුතුය.

පරණ පනත අහෝසි කරනු !

පරණ පනත අහෝසි කරනු !
නව පනත ගෙන නොඑනු !


නව පනත ගෙන නොඑනු !

පවතින සාමාන්‍ය නීතියේ ප්‍රතිපාදන හා අපරාධ නීති විධිවිධාන භාවිත කරමින් රාජ්‍යයේ ත්‍රස්තවාදය ඇතුළු වෙනත් වැරදි සම්බන්ධයෙන් කටයුතු කරනු.

(කිතුසර සාමුහිකය)