යුද්ධයෙන් පසුව පවතින තත්ත්වයන් මෙම චිත්‍රපට තුනට පාදකවී ඇති අතර මේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට රජයේ සාමය සහ සංහිඳියාව වැඩසටහනේ පූර්ණ දායකත්වය ලැබී ඇත. මෙම චිත්‍රපට ජූලී මාසය වන විට මහජනතාව සදහා සිනමා ශාලා වල ප්‍රදර්ශනය කරනු ඇත.
මේ චිත්‍රපට වල කතාව සහ තිර පිටපත් රචනයන්ද ඒවා අධ්‍යක්ෂණය කර ඇති අයගේම වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපට තුන නිර්මාණය කල ප්‍රසන්න, විමුක්ති සහ අශෝක තම නිර්මාණ තුලින් ප්‍රේක්ෂකයන්ට කුමක් සංනිවේදනය කිරීමට උත්සාහ කලද ඒවා නැරඹීමෙන් අනතුරුව මට කියන්නට ඇති දෙය කෙටියෙන් මෙසේ සටහන් කරමි. “ඇය Her”:අධ්‍යක්ෂණය-ප්‍රසන්න විතානගේ යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල සිටි මාධ්‍යවේදීන්ට නියත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. අවශ්‍යතාවයන් වෙනුවෙන් තම මාධ්‍යය හැසිරීවීමට සිදුවීම රහසක් නොවේ. ඔවුන්ට කල හැකිව තිබුණේ එල්.ටී.ටී.ඊ. ය කරන යුද්ධය සහ ඒවායේ ජයග්‍රහණයන් විදේශ රටවල ජීවත්වු දෙමල ඩයස්‌පෝරාවට දැනුම් දෙමින් එල්.ටී.ටී.ඊ.යට යුද්ධය කිරීමට අවශ්‍ය ආයුධ ලබා ගැනීමට උදව් උපකාර කිරීමය. “අපේ කොල්ලෝ යුද්ධය ජයටම කරගෙන යන බවත් ආණ්ඩුවේ හමුදාව අහිංසක දෙමල ජනතාව ඝාතනය කරනවා”යැයි කිසිම පැකිලීමකින් තොරව ඔවුන් ලුණු ඇඹුල් සහිතව ලෝකයට කියමින් එල්.ටී.ටී.ඊ.යට අවශ්‍ය රැකවරණය සහ අරමුදල් සපයා දුන්හ. යුද්ධය ගැන සමබර තොරතුරු හසුරවනු ලැබුවේ නම් එය සිදුවුණේ විකල්ප මාධ්‍යවේදීන් අතින් පමණි. දෙමල මාධ්‍යවේදීන් අතර රජය මෙන්ම එල්.ටී.ටී.ඊ .යටද විවේචනය කල හැකි මාධ්‍යවේදීන් හිටියානම් ඒ අතලොස්සකි.
යුද්ධය පරාජය වෙන බව වටහා ගත් එල්.ටී.ටී.ඊ.යට වැඩ කල මාධ්‍යවේදීන් එම ප්‍රදේශ අතහැර හමුදා පාලන ප්‍රදේශවලට පලා ආහ. “ඇය” චිත්‍රපටය දිවෙන්නේ මේ මාධ්‍යවේදීයා ලඝු කරගෙනය. ඔහු යුද්ධයේදී එල්ටීටීඊ අතින් මරාදමනු ලබන සොල්දාදුවාගේ පෙම්වතිය (ඇය)සොයමින් තමන්ට කියන්නට බොහෝදේ ඇති බවත් එහෙත් තම භඩ අවදි කිරීමට අවස්ථාවක් නැති බව පවසයි. “ඇය” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අපට කියන්නේ ඔහුට කියන්නට ඇතිදේ කියන්නට අවස්ථාවක් දිය යුතු බවය. එවිට ඇසෙන දකින සත්‍යයට වඩා වෙනස්වූ සත්‍යයක් වටහා ගැනීමට ජනතාවට සහ විශේෂයෙන්ම පාලකයින්ට අවස්ථාව ලැබෙනු ඇත. “සත්‍යය කීම සහ දැන ගැනීම සංහිඳියාව ගොඩනැගීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍යවන සාධකයකි.” “ඔහු Him”: අධ්‍යක්ෂණය – විමුක්ති ජයසුන්දර යුද්ධය අවසානවී ඇත. දැන් අපට වෙඩි හඩ ඇසෙන්නේ නැත.
යුද්ධය පැවැති සමයේ හෝ වර්තමානයේ අපට ඉපදෙන්නට සිදුවූ පරිසරය අනුව අප කිසියම් ජාතියකට, ආගමකට, ජනවර්ගයකට හෝ භාෂාවකට අයත්වීමට සිදුව ඇත. ඉපදුනු ජාතිය, ආගම හෝ භාෂාව අපට තීරණය කිරීමට නොහැකිවුවත් දැන් අපි එය අපේ යැයි කියමු. බුදුදහමට අනුව නම් මේ සංසාරයේ අපි තවත් එක සත්වයකු පමණි. ලබන ආත්මයේ අප ඉපදෙන්නේ කොහේදැයි කිසිවකුට කිව නොහැකිය. විමුක්තිගේ “ඔහු” චිත්‍රපටයේ මුලික තේමාව වන්නේ මෙයයි. මේ කතාව අපට කියන්නට විමුක්ති සිංහල ගුරුවරයා, පුනරුත්පත්තිය කතාකරන දරුවා සහ මාධ්‍යවේදීයා තිරය මත ප්‍රක්ෂේපණය කරයි.
ගුරුවරයාගෙන් සිංහල භාෂාව ඉගෙන ගන්න දරුවාගේ වයස අවුරුදු තුනක් පමණ වන බාල සහෝදරයා තමා එල්. ටී.ටී.ඊ.සංවිධානයේ සාමාජිකයකුව සිටියදී හමුදු වෙඩි පහරකින් මියගිය බව පවසයි. සිංහල පවුලක මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඉපදීම සිංහලයන් පිලිගන්නේ කෙබදු ආකාරයටද යන සැකය නිසා මෙය රහසක් ලෙස තබා ගැනීමට ගුරුවරයා ගන්නා උත්සාහය අවස්ථාවාදී මාධ්‍යවේදීයා තුට්ටුවකට හෝ මායිම් නොකර එය පත්තරයේ පල කරන්නේ බුදුන්වහන්සේගේ පුනරුත්පත්තිය පිලිබදව සත්‍යය ජනගත කීරීමටද? චිත්‍රපටය ප්‍රශ්න කරයි.එසේම සමාජය අවුල් කරන මාධ්‍යය පිළිබඳව දෙවරක් සිතන්නට විමුක්ති අපට ආරාධනා කරයි. “තව කෙනෙක් The Other” : අධ්‍යක්ෂණය -අශෝක හඳගම අශෝක තවමත් අපට කියන්නේ සංහිඳියාව සදහා තවමත් මේ රට තුල අවශ්‍ය පසුබිම සකස් වී නොමැති බවය. තමන්ගේ දූදරුවන් අතුරුදන්වූ දෙමව්පියන්ට තවමත් නිවි සැනසිල්ලේ රාත්‍රියේ නිදාගත නොහැකිය. යුද්ධයට ගිය තම දරුවා ගෙදර දොරට තට්ටු කරන හඩ ඔවුන්ගේ දෙසවන් තුල හොල්මන් කරයි. යුද්ධයේදී අතුරුදන්වු දරුවන්ට සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මේ දෙමාපියන්ට අවශ්‍යමය. තම දරුවන්ගේ මිය ගිය සිරුර දෑසින් දකින තුරු ඔවුන් මිය ගිය බව පිළිගැනීමට තම සිත් එකග කර ගැනීමට මේ දෙමාපියන් ඉතා අපහසුය. තමන්ගේ දරුවන්ට ආදරය කරන අම්මලා තාත්තලා එසේය.
එහෙත් ශ්‍රී ලංකාවේ පොලිසියට නම් කෙනෙකු මියගොස් ඇති බව කීමට සාක්ෂි අවශ්‍ය නැති බව අශෝක අපට ඉගි කරයි. ජීවත්ව සිටින සෑම දරුවෙකුටම ඒ තමන්ගේ දරුවා යැයි අයිතිවාසිකම් කියන්නට අතුරුදන් වූ දරුවන්ගේ දෙමාපියන් මැලිවන්නේ නැත. එහෙත් කිසිම තවත් අම්මා කෙනෙක් හෝ තාත්තෙක් තමන්ගේ දරුවා තව කෙනෙකු සමග බෙදා ගන්නටද සූදානම් නැත. එහෙත් සංහිඳියාව සදහා මෙය සිදුවිය යුතුමය. මේ සදහා දකුණු අප්‍රිකාවෙන් හොද උදාහරණයක් දිය හැකිය. කලු ජාතික මවක් තමන්ගේ පුතාව ඝාතනය කල සුදු ජාතික තම පුතූගේම වයසේ තරුණ පොලිස් නිලධාරියාව හදුනා ගනියි. මේ කලු ජාතික මව තම පුතාව ඝාතනය කල ස්ථානය තමාට පෙන්වන ලෙස ඉල්ලයි. එතනට ගොස් තම මිය ගිය පුතුට අවසන් ගෞරව දක්වන කලු ජාතික මව මේ තරුණ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින්නේ තමාට ඔහුව තම පුතු ලෙස වැලද ගැනීමට ඉඩදෙන ලෙස පමණි. දකුණු අප්‍රිකාවේ සිවිල් යුද්ධයෙන් පසුව සංහිඳියාව ගොඩනැගෙන්නේ එලෙසය. එසේ නොවන තාක්කල් අතුරුදන් වූ තම දරුවන් සොයමින් මේ අසරණ දෙමාපියන් උමතුවෙන් මෙන් තැන තැන ඇවිදෙනු ඇත. මුලින්ම සංහිඳියාව වෙනුවෙන් අවශ්‍ය පරිත්‍යාගයන් කිරීමට මෙරට බහුතර සිංහල ජාතිය පියවර ගත යුතුය. එතෙක් දැඩිසේ අගතියට පත් දෙමල ජනතාව බලා සිටිති. අශෝක හඳගම තමාගේ “තව කෙනෙක් ” චිත්‍රපටයින් අපට කියන්නේ මේ සත්‍යයයි. මේ චිත්‍රපට ත්‍රිත්වය සැබවින්ම පුලුල් සමාජ කතිකාවක් සමගම ශ්‍රී ලංකාවේ ජනතාවට විශේෂයෙන්ම සිංහල ජනතාවට නැරඹීමට අවස්ථාව සැලසි ඇත.
අරුණ ශාන්ත නෝනිස්