1971දී අප්‍රේල් කැරැල්ල සමයේදී එවකට ආරක්ෂක හමුදා සෙබළුන් විසින් දස වධ දී දූෂණය කොට මරා දමන ලද ‘ප්‍රේමවතී මනම්පේරි’ සේ ම, 2009දී උතුරේදී ආරක්ෂක හමුදා සෙබළුන් විසින් වධ දී මරා දැමූ ‘ඉසෙයි ප්‍රියා’ සහ අනෙක් ‘දමිළ සහෝදරියන්’ ගේ ඉරණමද එකී රාජ්‍ය ගහලයන් විසඳුවේ එකම ආකාරයකට ය. මෙම සිදුවීම් ද්විත්වය ම මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පවා විශාල ආන්දෝලනයක් ඇති කළේය. රාජ්‍ය ආරක්ෂක හමුදා, නීතිය පමණක් නොව මානව මනුෂ්‍යත්වය පවා තඹයකට සීමා නොකොට මිනිස්කමේ මායිම් පවා නොසලකා සිදු කරන ලද ‘අමානුෂික මෙහෙයුම්’හි එක් පැතිකඩක් පමණි මේ.
මනම්පේරි ඝාතන නඩුවේදී එක් සාක්ෂිකරුවෙකු වූ ‘ඇල් .ඒ.ඇලඩින් සිල්වා’ පැමිණිල්ල ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ කීය.
” අවසාන මොහොතේ මා කතා කරන විටත් ප්‍රේමාට පණ තිබුණා. ඈට පණ තිබෙන නිසා වළලා දැමිය නොහැකි බව මා කඳවුරට ගොස් කියා නැවත වළ ළඟට ගියා. එවිට ඈ මගේ මුහුණ දෙස බලා, ‘ මාමේ මේ මගේ පෙර කරුමයක්. මං කාත් එක්කවත් තරහ නැහැ. මගේ කරාබු දෙක අම්මාට ගිහින් දෙන්න. ඒක නංගිට දෙන්න කියන්න කියා ප්‍රේමා ඇස් හරවා කීවා….”
” පස්සෙ මේ හැමදේම සිද්ධවුණාට පස්සෙ ප්‍රේමාගෙ අම්මා, ‘දරුවා නැතුව මොන කරාබුද ?’ කියල හොඳටම හඬාවැටුණා.
මහා දහවලක සෙනඟ මධ්‍යයේ දකුණේ කතරගමදී නිරුවතින් ඇවිද යාමට ප්‍රේමාට බල කළ අතීත කෙසර සෙබළුන් සේ ම, මහා දහවලක උතුරේදී මුල්ලිවෛක්කාල් භූමියේ නිරුවත් කොට ප්‍රියාලා මරා දැමූ නූතන සෙබළුන් ද වීරෝධාර යැයි කීම තරම් මහා ප්‍රහසනයක් තවත් තිබේද ?
තම සහෝදරයන් සමඟ සිටින මේ ‘දමිළ සහෝදරියට’ අවම වශයෙන් ප්‍රේමාට මෙන් තම මවට දෙන්න යයි කීමට කරාබු දෙකක් නැත. ඒවා භාර ගැනීමට මවක්, නැඟනියක් හෝ පියෙක්,බෑයෙක් නැත. සියල්ලෝම රාජ්‍ය ආරක්ෂාවේ අනුහසින් පස් යට ඇස් පියාගත්තෝය…
මේ මහා වර්ග සංහාරයන්ට, අමු අමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ඝනයට විරුද්ධ විය යුත්තේ, යුක්තිය හඹා යා යුත්තේ අප ” මිනිසුන් ” බැවිනි.
කුලී ගහලයන්ට නොතේරෙන “මනුෂ්‍යත්වය” මිනිස් සන්තානයට දැනෙන බැවිනි. බරසාර නීතියේ හිඩැස් මනුනාද වීදියේදී පිරවිය හැකි බැවිනි.
Kasun Mahendra Heenatigala