දමිළ සාහිත්‍යයේ ශ්‍රී ලාංකීය සළකුණ – ඩොමිනික් ජීවා සමුගනී

0
323
දමිළ සාහිත්‍යයේ ශ්‍රී ලාංකීය සළකුණ – ඩොමිනික් ජීවා සමුගනී

ශ්‍රී ලාංකේය දමිල සාහිත්‍යය සුපෝෂණය කිරීමෙහි මෙන්ම සිංහල සාහිත්‍ය දමිල පාඨකයන්ට හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීන සාහිත්‍යවේදී ඩොමිනික් ජීවා ඊයේ (28) දිනයේ දී දැයෙන් සමුගෙන තිබේ.

1927 උපන් ඔහු මියයන විට 94 හැවිරිදි වියේ පසුවිය. 1960 දී ඔහු විසින් ලියූ “තන්නීරුම් කන්නීරුම්” (වතුරයි-කඳුළුයි”) කෙටිකතා පොතට 1961 දී දෙමළ කෙටිකතා සඳහා හිමි රාජ්‍ය සම්මානය හිමිවුණි. මෙහි විශේෂත්වය වන්නේ නවසිය පනස් හයේ සමාජ පෙරළියෙන් පසු පිහිටවූ සංස්කෘතික අමාත්‍යාංශය විසින් දෙමළ කෘති වලට සම්මාන දීම 1961 දී ආරම්භ කිරීමත් සමඟ මුල් සම්මාන උළෙලෙදිම මෙම කෙටිකතා පොතට දෙමළ කෙටිකතා සඳහා හිමි රාජ්‍ය සම්මානය හිමිවීම ය.

එසේම, දෙමළ සමාජයට මුලින්ම සිංහල ලේඛකයන් හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තෙත් ඩොමිනික් ජීවාට ය. ඔහු විසින් 1964 දී ඇරඹි “මල්ලිකෙයි” (පිච්චමල) සඟරාව මගින් වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ සිංහල ලේඛකයන්ගේ කෙටිකතා, කවි, ලිපි ආදිය දමිල බසට පරිවර්තනය කර දමිල පාඨකයා වෙත සමීප කරවීය.

ඔහු කෙටිකතා සංග්‍රහයන් 4ක් සහ සාහිත්‍ය කෘති 14ක් ද දමිල බසින් පළකොට තිබේ. විදෙස් භාෂාවලට ද ඔහුගේ කෘති පරිවර්තන වී ඇත.‘පාඨකයෙකුගේ සටහන්’ සහ ‘භාෂා මායිමෙන් ඔබ්බට’ නමින් විචාර ග්‍රන්ථ දෙකක් ද ඔහු විසින් පළ කොට තිබේ. සිංහල, දෙමළ වාර්ගික සුහදත්වයට සාහිත්‍යයෙන් මෙහෙවරක් කළ මේ මානව හිතවාදියාගේ නික්ම යාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනාටම නිමකළ නොහැකි පාඩුවකි.