දරුවන් අහිමි වූ මව්වරුන්ගේ විලාපය …..

0
230

Sirisena-Disappeared-2

“යුද්ධය දැන් ඉවරයි! මේ සාමයේ කාලයයි”, යන්න තමයි බොහොමයකගේ අදහස. යුද්දේ තිබ්බේ නම් උතුරු නැගෙනහිර, නමුත් රට පුරා මිනිස්සු ඉන් පීඩාවට පත් වූවා.

ඇතැමුන්ගේ තර්ක නම් උතුරු නැගෙනහිර විතරද යුද්දේ, මේ දකුණේ අපිත් දුක් වින්දා යුද්ධයෙන්. ඔව්,  කොළඹත් බෝම්බ පිපිරීම් වුණා. යුද්ධයේ උණුසුම සහ පීඩාව රට වෙලා ගෙන තිබුණා එක් යුගයකදී. මෙය කියවන බොහොමයක් දෙනක් හට, එනම් ඔබත් මටත් යුද්ධය කියූ සැනින් කොළඹ පිපිරුණු බෝම්බ සහ පැතිර ගිය භීතිකාව නිතැතින්ම මතකයට පැමිණේ. ඒ භීතිකාව සුළු පටු නොවිණ. තම දෙමව්පියන් සවස නිවෙස් කරා පැමිණෙන්නේ ද, තම දරුවන් ගෙදර පැමිණේ දැයි කුකුසකින් පසු විය.

 

කොළඹ සහ දකුණේ තත්වය එසේ තිබෙද්දී, බෝම්බ සහ වෙඩි හඬට අවදි වූ, එය දින චරියාවේ ඉතා සාමන්‍ය දෙයක් වූ උතුරු නැගෙනහිර වැසියන් කෙතරම් දුෂ්කරතා වලට මුහුණ දෙන්නට ඇතිද?

“අපට සතුටුයි යුද්ධය අවසන් වීම සම්බන්ධව; නමුත් අපේ පුතා අතුරුදහන් වීම නිසා අපේ දුකට කෙලවරක් නෑ … අපි ගැන මේ රටේ වගකිවිය යුතු පුද්ගලයන් සැලකිල්ලක් යොමු කල යුතයි..”

(herstories)

මේ අම්පාර දිස්ත්‍රික්කයේ මවකගේ කඳුළු කතාවයි. මගේ පුතා අතුරුදහන් වෙලා දැනට අවුරුදු හතරක් වෙනවා. අපිට සතුටුයි යුද්ධය අවසන් වීම සම්බන්ධව. නමුත් එල්ටීටීඊ සහ රජය අතර යුද්ධය පැවතුනත්, ඒ කිසිවක කොටසක් නොවූ අපේ පුතා අපට ආරක්ෂා කර ගන්නට නොහැකි වුනා. මගේ පුතා අතුරුදහන් වූ දින සිට මට මගේ ජීවිතයේ මහා  අසම්පූර්ණ  බවක් හැඟෙනවා”,ඇගේ කටහඬ දුර්වල වෙයි.

 

තම දරුවන් පැහැරගෙන යද්දී, තම දරුවන් හෝ දෙමව්පියන් ප්‍රහාර වලට ලක්වීමේදී, ගම් බිම් උන්හිටි තැන් අහිමි වෙද්දී ඔවුන් කෙතරම් පීඩාවන් සහ ගැටළු වලට මුහුණ දෙන්නට ඇතිද? තමන්ගේම කෙනෙක් නැති වුණු දුක උතුරේ වීණම්මාටද දකුණේ රත්නාවලීටද එක සමානය. ඒම වත්තේ තරුණයෝ 15 දෙනෙක් අතුරුදහන් වුණ බවත් මව්වරුන් සියල්ල ඔවුන්ව සොයන්නට එක්වූ බවත් ඇය පැවසීය. ඔවුන් එක්ව රතු කුරුස සංවිධානයට, මානව හිමිකම් කොමිසමට සහ පොලිසියට ගොස් ඇත්තේ යම් සහනයක් එමගින් ලැබේ යයි බලාපොරොත්තු ඇතිවයි. ඔවුන් හට බන්ධනාගාර පරික්ෂා කිරීමට අවස්තාවක් ලැබුනත්, ඔවුන්ගේ පුතුන් දැක ගැනීමට නොහැකි වී ඇත. මෙම අතුරුදහන් වීම යුද්ධය අවසන් වීමත් සමගම අවසන් වූ බවයි ඇයගේ අදහස.

ඇය සහ ඇගේ මුළු පවුලම අවුරුදු 25ක් එම ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර ඇගේ පුතණුවන් රබර් වත්තක රැකියාවෙහි නියුතුව ඇත. අයගේ බහෙත් ප්‍රතිකාර සඳහාද මුදල් ලබා දී ඇත්තේ ඇයගේ පුතණුවන් විසිනි.

“සතිය අවසානයේ පුතා සල්ලි අරන් එනවා මගේ බෙහෙත් වලටත් වියදම් කරන්නේ ඒ සල්ලි…. අපට පුතා නැති ජීවිතේට හුරුවෙන්නත් ගොඩක් අමාරුයි.. එත් මොනවා කරන්නද…. තිබෙන විදියකට ජීවත් වෙනවා.”

(herstories)

ඇය  සහ ඇගේ පවුල මුහුණ දුන් ආර්ථික අපහසු කම් අගේ දියණියද ඇගෙන් ඈත් කරවීම සඳහා හේතු විය. ඇයගේ දියණිය මැද පෙරදිග බලා ඇදුණේ පවුල ජිවත් කරවන්නට යමක් සොයා ගනු පිණිසයි. නමුත් දැන් මෙම මවට සිය දියණිය පිළිබඳ හෝඩුවාවක් නැත. ඇගේ දියණියගේ සැමියාද අතුරුදහන්ව ඇත. එම නිසාවෙන් ඇයට තම දියණියගේ දරුවන් දෙදෙනාගේ වගකීම ද පැවරී ඇති අතර හැඳි නිෂ්පාදනයෙන් දවසකට ඔවුන් ලබන රු 500 ක අදායමෙන් මේ සියල්ල සිදු කිරීමට ඔවුන්ට සිදුව ඇත.

 

“අපි මොකක් හරි නරක කරුමයක් කරලා ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ”

(herstories)

ඔබත් මමත් මෙවන් අත්දැකීමක් නොවිඳ ඇති, නමුත් පැවති කල කෝලාහල ගැටුම් වලින් බොහොමයක් පිරිස් අසරණව ඇත. මේ එක අම්මා කෙනෙක්ගේ කතාවක් පමණි. දරිද්‍රතාව සහ තම ආදරණීයයන් අහිමිවීමේ සොවින් ජිවිතේ එදා වේල ගැට ගසා ගන්නා දහසකුත් මව්වරුන් හට, තම දරුවන් හට කුමක් සිදු වුනි දැයි යන සත්‍ය අනාවරණය විය යුතුය. එපමණක් නොව ඔවුන්ට තමදරුවන් සොයා දීමට අවශ්‍ය උදව් උපකාර ලැබිය යුතුය. මේ සියල්ලටම වඩා ඔවුන්හට යම් අයුරක හානිපූරණ වැඩ පිළිවෙතක දැඩි අවශ්‍යතාවක් පවතී.