දැඩි සුළඟින් මුහුදට වැටී දිවි බේරා ගත් ‘ටිරෝන්’

0
305

වාරකන් සමය ඇරඹී තිබේ.එයට සමගාමීව දිවයිනේ නිරිත දිග මෝසම් සුළඟ ද සක්‍රිය වී අධික වැසි සහිත කාලගුණයක් රට තුළ ඇතිවී තිබු අතර දිවයිනේ වෙරළාසන්න ප්‍රදේශ වල සුළඟේ වේගයද ඉතා දැඩි වී තිබිණි.මේ හේතුව නිසාම ධීවර කටයුතු සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස රජයෙන් ද අණකර නිවේදන පවා නිකුත් කර තිබිණ.

වැල්ලවීදියේ , ධීවර ගම්මානයේ වෙසෙන, 41 හැවිරිදි වර්ණකුලසූරිය ටිරොන් ප්‍රනාන්දු ද එවැනි අවධානම්කාරී කාලගුණික තත්ත්වයක් තුළ රජයෙන් පැනවූ අණ කිරීම්ද ඉවතලා එලෙස මුහුදු ගිය ධීවරයෙකි. ඔහු එවැනි අවධානම්කාරී වටපිටාවක් තුළ පවා මුහුදු යාමට පෙළඹුණේ තමාගේත් බිරිඳගේත් තම දරුවන්ගෙන් එලෙසම තමන් භාරයේ සිටින දෙමව්පියන්ගේත් කුසගිනි නිවීමට කීයක් හෝ උපයා ගැනීමේ අරමුණෙනි.වැල්ලවීදියේ ප්‍රදේශයේ 110 ක් පමණ වන තෙප්පන් මඟින් රැකියාවේ යෙදෙන ධීවර පිරිසට මේ වන විට ඇරඹී ඇති වාරකන් සමය හේතුවෙන් තම රැකියාවන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වී ඔවුන්ගේ දෛනික ආදායම් ද ඇනහිට ඇත. එවැනි තත්ත්වයකට පත් වුනු බොහෝ ධීවරයන් පෙළඹුණේ කුමන තත්ත්වයක් යටතේ වුවද , තම ජීවිතයට ඇති අවදානම් කාරී තත්ත්වය ද පසෙකලා හෝ දවසේ වියදමවත් සොයා ගැනීම සඳහා නැවත මුහුදු යන්නටය.

එලෙස සිතූ තිදරු පියෙකු වූ ටිරොන් ,පසුගිය 29 වැනි ( 29/05/2024;) බදාදා දින අලුයම 4.00 ට පමණ මීගමුව උසාවිය සමීපයේ ”  ” මාවැල්ල “” ලෙසින් හඳුන්වන ස්ථානයෙන් සිය තෙප්පමද සමඟින් මුහුදට යෑමට ගමන් ආරම්භ කළේය. ඔහු පවසන පරිදි එදින අළුයම මුහුදු ප්‍රදේශය අවට දැඩි සුළං ප්‍රවාහයක් නොතිබූ අතර සාමාන්‍ය දිනයකදී දැකිය හැකි සාමාන්‍ය සුළං ප්‍රවාහයක් දක්නට ලැබිණි. එමෙන්ම මුහුදු දියඹේන් නැගෙන රළ සභාවයද දැඩි නොවු අතර එහිද පැවැතියේ සාමාන්‍ය තත්වයකි. ඔහු දෙවරක් නොසිතාම අද දවසේ වියදමට හෝ මාළු ටිකක් අල්ලා ඉක්මනින්ම නැවත ගොඩබිමට පැමිණෙන්නට සිතා සිය තෙප්පම සමඟින් මුහුදු දියඹ වෙත ගමන් ඇරඹීය. ගොඩබිම සිට කිලෝමීටරයක් පමණ වන දුරක් මුහුදු දියඹ වෙත පැමිණි ඔහු දැල් එලීමට පටන් ගත්තේය.
ගත වූයේ නිමේෂයකි . එක්වරම වෙරළ දෙසින් හැමූ දැඩි සුළං ප්‍රවාහයකින් පසුව මුහුදු දියඹේ රළ ස්වභාවයද වඩාත් රළු විය. එකනෙහිම හැමු දැඩි සුළං ප්‍රවාහයත්, ඒ සමගම දැඩිවූ මුහුදු රළ පහරත් හේතුවෙන් ඔහුට සිය තෙප්පමද පාලනය කරගත නොහැකි විය. සැණෙකින් ඔහුගේ තෙප්පම මුහුදු දියඹට පෙරලුණු අතර ඔහුට එය අල්ලා ගැනීමට ද නොහැකි විය. මුහුදට වැටුණු තෙප්පම අල්ලා ගැනීමට උත්සාහ නොකළ ටිරෝන් එම තෙප්පම නිදැල්ලේ පාවෙන්නට ඉඩ හැරියේය. ඉන්පසුව තමා විසින් එළන ලද දැල අල්ලා ගත් ඔහු, දැල සමීපයේ තිබූ රෙජිෆෝම් එකක් ආධාරයෙන් ඉතා අමාරුවෙන් හෝරා කීපයකින් පසුව ගොඩබිම සමීපයට පැමිණ තිබූනි. ගොඩබිම සමීපයේදී මුහුදු වෙරළේ සිට ඔහුව දුටු ඔහුගේම වැඩිමහල් සොහොයුරා ඉක්මනින්ම සිය තෙප්පම මුහුදට ගෙන, වහා ටිරෝන් සමීපයට ගොස් ඔහුව තෙප්පමේ නන්වාගෙන වෙරලට පැමිණ තිබිණි. ඒ වන විටත් උදෑසන හත පසු වී තිබිණි. ටිරොන් පවසන පරිදි අළුයම 4.00 සිට උදෑසන 7.00 පමණ වන තෙක් පුරා පැය තුනක පමණ කාලයක් අඛණ්ඩව මහ මුහුදේ දිය රළ සහ දැඩි සුළඟ සමග පොර බදිමින් සිටි ඔහුට ඒ වන විට තමන්ට තවත් මුහුදේ පිහිනීමට පවා නොහැකිව ඔහුගේ දෙපා අප්‍රාණික තත්වයට ද පත්ව තිබිණි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි රෙජිෆෝම් එක නොතිබුණේ නම් සමහරවිටක ඔහුට නැවත ගොඩබිමට පැමිණීමට නොහැකි වනු ඇත.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වාරකන් කාලය තුළ තමන් ඇතුළු තෙප්පම් ධීවර රැකියාවේ යෙදෙන ධීවර පිරිසෙන් බොහෝ දෙනෙකුට නිසි රැකියා අවස්ථාවන් නොමැති වීම විශාල ගැටළුවක් වී ඇති බවයි. ඒ නිසා මේ වනවිට රටේ පවතින වියදම් අධික ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි වාරකන් සහිත කාලසීමාවක වුවද තමන් ඇතුළු තම පවුලේ අයව ජීවත් කරවීමටත් වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි අඩුම තරමින් වාරකන් සහිත කාලසීමාවක මුහුදු රස්සාව කළ නොහැකි තෙප්පන් ධීවරයන්ට හෝ රජයෙන් නැතිනම් වෙනත් ආයතනයකින් හෝ යම් සහනදායි දීමනාවක් වත් නොලැබෙන තත්ත්වයක් තුළ තමන් ඇතුළු තම දරුවන්ද පෝෂණය කිරීම විශාල ගැටලුවක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

සටහන – තුසාර රොහාන්