දිවුලපිටියේ පරිසර සංහාරය යළි හිස ඔසවයි

0
72

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ දිවුලපිටිය ප්‍රදේශයේ මහාපරිමාණ අනවසර පස් කැපීම් සහ වැලි ගොඩදැමීම් නැවතත් පෙර පරිදිම ආරම්භවීමේ බරපතල අවදානමක් ඇතැයි පසුගිය දා එහි සංචාරය කළ ලක්බිම ඔන්ලයින් මාධ්‍යවේදී කණ්ඩායමට එම ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.

දිවුලපිටිය ආසනයේ හොරකඳවිල දෙමටවත්ත, වරාදල රඹුටන්වත්ත, බෝලගල හල්පෙවිල, ආදී ප්‍රදේශ මෙහිදී ලක්බිම ඔන්ලයින් නිරීක්ෂණයට ලක් වූ අතර එම ප්‍ර‍දේශවාසීන් අප හා පවසා සිටියේ මෙම බිහිසුණු පරිසර සංහාරයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැගූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයන් එක්ව යළි මෙම බිහිසුණු පරිසර සංහාරයට මුල පුරා ඇති බවය.

මෙහිදී ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල ඇස් වසා හෝ ඔවුන් රැවටීමට ලක් කොට බියවද්දා එසේත් නැතහොත් අල්ලස් ආදිය ලබා දෙමින් මෙම කාර්යයට මුලපුරන ජාවාරම්කරුවන් මෙහිදී සංවර්ධනය යන වචනය අවභාවිතා කරමින් මෙම පරිසර සංහාර වලින් රුපියල් බිලියන, මිලියන ගණන් උපයන බවද අප හා කීය.

එමෙන්ම මෙම පරිසර සංහාරයේ යෙදෙන ඇතැම් එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලඥයන් අතර ඥාති සම්බන්ධයක් සහ දැඩි මිත්‍රශීලී බවක් ඇතැයි පවසන ප්‍රදේශවාසීහු ඔවුන් මහජනතාව හමුවේ එම තත්ත්වය වසන්කිරීමට උත්සාහ කරන බවද කියා සිටියහ.

මේ අතර මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ජාවාරම් කරුවන් මෙවර එජාපෙන් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් නාම යෝජනා ලැබීමට පවා සූදානමින් සිටින බවය.







සටහන සහ ඡායාරූප – එස්.ටී.පී සිල්වා
www.lakbima.lk