දුඟද හමන නොමිනිස් කම තුළ සුවඳ හමන මිනිස් කම.෴

0
64

IMG-20200118-WA0004

මෙය සත්‍ය කතාවකි. සිදුවූයේ මීගමුව මහ රෝහලේ 4 වාට්ටුවේදීය. මේගැන මා දැනගත්තේ රෝහල් පොලීසියේ …. සාජන් මහතාගෙනි. මෙම කතාවට අදාල පුද්ගලයා නමින් ශාන්ත කුමාරය. මා 4වාට්ටුවට ගොස් කුමාර මුනගැසුනේ එහි සුලමුල විමසා දැන ගැනීමටය. පසුගිය දිනක 4 වාට්ටුවට සිහිසුන්වූ රෝගියකු ඇතුලත්
කර ඇත .
මෙම රෝගියා සම්බන්ධ ප්‍රතිකාර කටයුත්තකට අනුව මුත්‍රා බටයක් සවිකිරීමට අවශ්‍යවී තිබුනු හෙයින් ඔහුගේ ඇඳුම් නිරාවරණය කිරීමට සිදුවිය . මේ අනුව රෝගියා ඇඳ සිටි කලිසම ඉවත්කරන කුමාර සාක්කුවේ මුදල් නෝට්ටු මිටියක් තිබෙනු දැක එය අතට ගන්නා ලදී . එසේ අතට ගත් එම මුදල් ඇතුළු සියළු දෑ ඔහු එහි ඒ අවස්ථාවේ රාජකාරියේ නියුතු ඉන්දිකා මහත්මියට භාරදෙන ලදී .
ඉන්පසුව කුමාර මුත්‍රා සහ මලපහ කර සිටි රෝගියා සෝදා පවිත්‍ර කළ අතර ඉහතකී මුදල් ගැන ඔහුට වගක් නැත . මේ අතර ඉන්දිකා මහත්මිය එම මුදල් ඇතුළු රෝගියා සතුදෑ 4 වාට්ටුවේ පාලන කටයුතු භාර ප්‍රධානියා වන චන්දන මහතාට දුන් අතර කාර්‍යමණ්ඩලයේ සියළු දෙනා එකතුවී එකී මුදල් ගැන බැලූ විට එහි රු . 1,72 000/ ක් තිබී ඇත . මෙම රෝගියා පසුව මියගිය අතර ඔහුගේ ඤාතියෙකුට මුදල් සමඟ සියළු දෑ භාරදෙන ලදී .
ගඳගහන මේ සමාජය තුළ මෙවැනි මිනිසුන් පිළිබඳව අසන්නට සහ දකින්නට ලැබීම යහපත් අනාගත සමාජයක් සඳහාවූ අත්‍යාවශ්‍ය අාදර්ශයන්ය. මිනිසුන් නොමිනිසුන් ලෙස කටයුතු කරන අවස්ථා අප අසා දැක අැත . එවැනි එක් අවස්ථාවක් ලෙස කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බය පුපුරා ගිය තැන බිඳී ගිය අත් කැබලි සහ ශරීර කොටස් වල රන් වළලු සහ රන් මාල සොරාගත් නරුමයින් ගැන අප අසා අැත්තෙමු . එවන් දුගඳ හමන සමාජයක මෙවන් යහපත් මිනිසුන් පිලිබඳව අසන්නට ලැබීමත් සතුටට කාරණයකි.
මීගමුව රෝහලේ සිදුවන සමහර දේවල් සහ ප්‍රශ්ණ පිලිබඳව විවිධ කතාබහ විවේචන තිබියදී, රෝහලේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක මෙවැනි පුද්ගල චරිත ගැන අප සතුටු විය යුතුය. ඉහතකී 4 වාට්ටුව භාර ප්‍රධාන නිලධාරි මහතා වන චන්දන මහතා සහ එම කාර්‍යමණ්ඩලයද එවැනි අගය කිරීමකට ලක්විය යුතු අතර මෙම මිනිස් යහගුණය මුනගැස්වූ ඔබ සියළු දෙනාටම අප⁣ගේ ස්තුතිය පුද කර සිටිමු.