දුම්රිය ද්විත්ව මාර්ග ව්‍යාපෘතිය නිසා කට්ටුව ප්‍රදේශයට ගංවතුර තර්ජනයක්. ..

0
166

කොළඹ සිට හලාවත දක්වා කාර්යක්ෂම හා විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට විශේෂ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සකස් කර තිබේ. 

එය කොළඹ සිට හලාවත දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට  සැලසුම් ඉදිරිපත් වී තිබිණි. ඒ අනුව රාගම සිට හලාවත දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීම ආරම්භ වූයේ මීට වසර කිහිපයකට පෙරාතුවය.

මෙම ද්විත්ව දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමේ සැලසුමට අනුව ප්‍රථම අදියර ලෙස රාගම සිට මීගමුව දක්වා තවත් අතිරේක දුම්රිය මාර්ගයක් ඉදිකල අතර මේ වන විට එය ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

එහි තවත් අදියරක් ලෙස  මීගමුව සිට කොච්චිකඩේ දක්වා එම ද්විත්ව මාර්ග සැලසුමට අනුව අනෙක් අතිරේක දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතී.


             එම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මීගමුව සිට ගලා එන දෙපා ඇල හැමිල්ටන් ඇළට වැටෙන තැන පිහිටි මීගමුව, කට්ටුව  ප්‍රදේශයේ කළු පාලම නමින් හඳුන්වන ස්ථානය හරස් කර කොන්ක්‍රීට්  බැම්මක් බැඳීමට යාමෙන් මේ වන විට එම ප්‍රදේශය සුළු වැසි තත්වයකදී පවා ජලයෙන් යට වන තත්ත්වයකට පත්ව තිබේ.


         දෙපා ඇල, හැමිල්ටන් ඇලට වැටන ස්ථානයෙන් ,දෙපා ඇල අවහිරවන සේ, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එහි කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරීම සඳහා ,එම ඉදිකිරීම් කටයුතු පහසු වන ලෙස කර ඇති ගොඩකිරීමක් හේතුවෙන්  වැසි ජලය නිසි ලෙස බැස යාමට  නොහැකිවීමෙන් මෙම ජල ගැලීම් තත්වය ඇති වී තිබේ.


             පසුගිය දිනවල ඇද හැලුණු සුළු වර්ෂාවෙන් පවා මෙම කළු පාලම  පිහිටි කට්ටුවේ එම ප්‍රදේශය විශාල ජලගැලීම් තත්ත්වයක් ඇතිවී ඇති බව දක්නට ලැබේ.එම ප්‍රදේශයේ නිවාස සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බැවින්, එම නිවාස වල වෙසෙන ජනතාව මෙම ජල ගැලීම් තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවකට ලක්ව සිටී.


                 මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළ දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති වීම, ප්‍රදේශයේ ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. මේ පිළිබඳව  දැනුවත් කිරීමෙන් පසුව, මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියද මෙම ස්ථානයට පැමිණ, මෙම තත්ත්වය නිරීක්ෂණය කර ඇති බවත්, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මේ තත්වය දිගින් දිගටම  පැවතියහොත් මේ ප්‍රදේශයේ ජනතාවට විඳීමට සිදුවන සිදු වන  දැඩි දුෂ්කරතාවන් හා අපහසුතාවයන් නිසාත්, මෙම ගැටලුව සඳහා විසඳුම් සෙවීමට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට රපෝර්තු  කර ඇති බවත් වාර්තා වුනි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දන්වා ඇත්තේ මේ  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම ජලගැලීම් තත්ත්වය වලක්වා ගැනීමට  ඉක්මනින් කටයුතු කරන ලෙසයි.

       ඒ අනුව ඉතා ඉක්මනින්ම බැකෝ යන්ත්‍ර දමා මෙම ප්‍රදේශයේ ජලය ගලා යාමට අවහිර කළ ස්ථානයේ ඇති බැමි ගලවා දැමීමට කටයුතු කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුනි.