දුෂ්කරතා රැසක් මධ්‍යයේ ශිෂ්‍යත්වය ජයගත් දුලාංජලී මදුමාලීට ජනපති අතින් ත්‍යාග

0
169

pc_ele_act_nwp_3-768x524ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව අද (10)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුූවූවාය.

හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථික අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූ අතර, සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.

එමෙන්ම දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිතුමා වෙත පොරොන්දු විය.

දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල් පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 45 ක් වන අතර, එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 96 කි. එදා මෙදා තුර කාලයේ මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් එකම ශිෂ්‍යාව වන්නේ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්නයි.

විදුහල්පති සෝමසිරි අත්තනායක, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද, දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න සිසුවියගේ මව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.