දූෂණයට විරුද්ධයි කියන ජනාධිපති ලොකුම හොරාට අගමැතිකම දුන්නා !

0
78

තමන් කටයුතු කරන්නේ දූෂණයට විරුද්ධවයැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම පට්ටපල් බොරුවක් බවත් දූෂණයට විරුද්ධ යැයි පවසන ජනාධිපතිවරයා ලොකුම හොරකම්, දූෂණවලට සම්බන්ධ පුද්ගලයාට අගමැති කම ලබා දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ පසු පත් කළ ජනාධිපති කොමිසම මගින් මහින්ද රාජපක්ෂ පාලනයේ මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධයෙන් විමර්ෂණ රැසක්ද සිදු කළ බවත් එහි ප්‍රබල ලෙසම වරද කරුවන් බවට පත් කර ඇති පිරිස අතර ඉහළින්ම මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් අනාවරණය කළේ ය.

තමන් දූෂණයට එරෙහි නම් තමන්ගේම කොමිසම අනාවරණය කළ දූෂිතයන්ට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට යොමු කිරීමට තිබූ බවත් එසේ නොකර ඔවුන්ට අගමැතිකම් ඇමතිකම් ලබාදී තමන් දූෂණයට විරුද්ධ යැයි පැවසීම පට්ටපල් බොරුවක් බවත් විජිත හේරත් මහතා අනාවරණය කෙළ්ය.

බැඳුම්කර වංචාව සිදුවූ සැනින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පළමු වරට එය අනාවරණය කළ පසු රට තුළ විවිධ ක්ෂේත්‍රවලින් එම බැඳුම්කර වංචාවට එරෙහිව දැඩි මතයක් ගොඩනැගෙමින් තිබුනද ඊට එරෙහිව යම් ක්‍රියාමාර්ගයකට යාමට ජනාධිපතිවරයා එම වංචාව සිදු වී වසරකට ආසන්න කාලයක් ගත වූ බවත් එම වාර්තාව ජනතාවට හෙළිදරව්ව කිරීමට හෝ ජනාධිපතිවරයා අසමත් වී ඇති බවත් එවන් ජනාධිපතිවරයෙක් දූෂණයට විරුද්ධව කටයුතු කරන්නේ යැයි පැවසීම තම කුමන්ත්‍රණය වසාගැනීමට සිදු කරන ප්‍රකාශයක් පමණක් බවද විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

lankatruth.com