මොකද රටක් නිවැරදිව ඉස්සරහට යන්න නං ඒ රට ඇතුළේ ජාතික සමගිය යහමින් තියෙන්න ඕනි.
රටේ රාළට අද මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවසක වෙච්චි සිද්ධියක් පදනම් කරගෙන. ඔයාලා කවුරුත් දකින්න ඇති අපේ රටේ දෙමළ මන්ත්‍රීවරු ජනතාධිපති කාර්යාලය ළග බිම ඉදගෙන විරෝධතාවයක යෙදිලා ඉන්නවා. විරෝධයේ තේමාව වෙලා තිබුණේ ජනාධිපති හම්බ වෙන්න වෙලාවක් ඉල්ලා ගැනීම. එතන ආණ්ඩුව නියෝජනය කරන දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් ඇර අනිත් පක්ෂවල මන්ත්‍රීලා හිටියා.
රාසමානික්කම්, මනෝ ගනේෂන්, සම්බන්දන්, විග්නේෂ්වරන් ඇතුළු මන්ත්‍රීවරු 13 ක් විතර හිටියා. කට්ටිය බිම ඉදගෙන හිටපු විදිහ දැක්කම දුකත් හිතෙනවා.
කොහොම උනත් රටේ රාළට තියෙන්නේ එයාලා අමාරුවෙන් බිම ඉඳගෙන හිටපු එක ගැන දුකක් නං නෙවෙයි. ඇත්තටම අපි තවමත් අපේ රටේ දෙමළ මිනිහා සම්බන්ධව දරන ආකල්පය මොකද්ද කියන එක ගැන. ඒක කතා කරන්න ඕනි මාතෘකාවක්.
තවමත් දෙමළා අපට පිටගංකාරයෙක්ද?
මේ රටේ දෙමළාට තියෙන්නේ අපට තියන ප්‍රශ්න ටිකම නෙවෙයිද? ඊට අමතරව දෙමළාට එක ප්‍රශ්නයක් හරි වැඩි නං මිසක් අඩු නෑ. අපට දෙමළා දැනෙන්නේ නැත්තං කොහොමද දෙමළාට තියන ප්‍රශ්න ටික දැනෙන්නේ.
ඇත්තටම පහුගිය කාලේ වතුකරයේ වගේම උතුරු හා නැගෙනහිරත් දෙමළ ජනතාවගේ උද්ඝෝෂණ තැන තැන පැන නැගුණා. දෙමළා අයිති ඉන්දියාවට කියලනේ ගොඩක් අය හිතන්නේ.
හැබැයි උතුරේ දෙමළ ධීවරයෝ ඉන්දියානු ධීවරයන් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනවට විරුද්ධ උද්ඝෝෂණය කරනවා. ඉන්දියන් ධීවරයෝ අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනකොට බෝට්ටුවලින් ගිහිල්ලා වටකරලා නාවික හමුදාවට අල්ලලා දෙනවා.
පහුගිය දවසක එයාලා උද්ඝෝෂණය කළේ ඉන්දියානු ධීවරයන් අපේ ධීවරයෝ දෙන්නෙක් මරලා දැම්මා කියලා. මැරුණු දෙන්නම දෙමළ ධීවරයෝ. ඉතින් තවදුරටත් මේ දෙමළ මිනිහා ඉන්දියන්කාරයෙක් විදිහට දකින් ලැජ්ජා නැද්ද?
අපි ඉන්දියාවේ උපන්න බුදුන් වහන්සේ අපේ කරගන්න මාර දැගලිල්ලක් දගලානවා. හැබැයි ලංකාවේ උපන්න දෙමළ මිනිහා ඉන්දියාවට දෙන්න දගලනවා.
ධීවර උද්ඝෝෂණවලට අමතරව උතුරෙත්, නැගෙනහිරත් දෙමළ ජනතාව එක එක හේතුවලට පහුගිය කාලයේ මහ පාරට අවා. ඒ ආපු කිසි කෙනෙක් වෙනම රාජ්‍යක් ඉල්ලුවේ නෑ. ඉල්ලුවේ තමන්ගේ අයිතිවාසිකම් දෙන්න කියලා.
තවමත් හමුදාවට බාරදුන්න දරුවට මොකද උනේ කියලා අහන දෙමළ අමිමලා උතුරේ ඉන්නවා. ඇත්තටම යුද්දෙදී මැරුණා නං කරන්න දෙයක් නෑ. එත් බාරදුන්න දරුවා අතුරුදහන් නං එතන ප්‍රශ්නයක් තියනවා. ඒ ප්‍රශ්නය අහන්න ඒ අම්මලාට අයිතිය තියනවා.
ඊළඟට එයාලා ඉල්ලන්නේ තමන්ගේ ගොවිබිම් රැකලා දෙන්න කියලා. තමන්ට පෞරුෂයකින් ලංකාවේ ජීවත් වෙන්න අයිතිය දෙන්න කියලා.
අපේ රටේ තවත් අන්ත දුක් විදින කණ්ඩායමක් තමයි වතුකරයේ ඉන්න දෙමළ ජනතාව. ඇත්තටම එයාලා විදින දුක ගැන කියන්න තියන නියම සිංහල වචනය බලු දුක් කියන එක. අපේ රටේ වැඩිම දුක්විදින මිනිස්සු ඉන්නේ වතුකරයේ. සොච්චම් පඩියකට, රොටියක් කාලා එකම ලයින් කාමරය අස්සේ පවුල් කීපයක් ජීවත් වෙමින් ඒ මිනිස්සු විදින්නේ අපා දුකක්.
ඔය කොළඹ ගොඩක් ලොකු,ලොකු පවුල්වල මෙහෙකාර සේවයේ ඉන්නේ වතුකරයේ ළමයි. ඒ ඔක්කොම අසරණ ඉශාලනී ජූඩ්ලා තමයි. ඒක නිසා දෙමළ ජනතාව මේ අයිතීන් ඉල්ලලා කරන සටනට රටේ රාළ අත් දෙකම උත්සලා සහය පලකරනවා.
අපි දෙමළ ජනතාවට නොදිය යුත්තේ වෙනම රාජ්‍යක් විතරයි. ඉන් මෙහා සියල්ල දෙන්න ඕනි. දෙන්න ඕනි නෙවෙයි ඒක එයාලගේ අයිතියක්.
රටේ රාළ කියන්නේ දෙමළ ජනතාවගේ දුක අපට දැනෙන්න ඕනි. එහෙම දැනෙන්නේ නැත්නං ඇත්තටම අපි සිංහලයෝ නෙවෙයි. තමන්ගේ සහෝදර ජනවර්ගයට දැනෙන පිඩාව හරි නං නියම සිංහලයන්ට දැනෙන්න ඕනි.
ඒක දැනෙන්නේ නැත්තේ අමු සිංහලයන්ට වෙන්න ඕනි. මොකද මේ ආණ්ඩුවත් අමු සිංහල ආණ්ඩුවක්නේ. ඊයෙත් ජනාධිපතිතුමා කිව්වේ.
ඒක ඇතුළේ දෙමළාට ඉඩ නෑ කියලා දෙමළ සමාජයට දැනෙමින් තියනවා. ඒ හැගීමට දෙමළ සමාජය කාන්දුවීම තමයි අපට වෙන්න පුළුවන් නරකමදේ.
එහෙම උනහම තමයි දෙමළාට හිතෙන්නේ අපිට මේ සියල්ල වෙන්නේ අපි දෙමළ වීම නිසා කියලා. ඒ මනස දෙමළ මිනිහට එන එක තරම් බරපතල දෙයක් තවත් මේ රටට නෑ. මොකද ඒ පීඩනය කොහොම පිට වෙයිද කියලා අපි දන්නේ නෑ.
අපි දැක්කා තිස් අවුරුදු යුද්ධය. අද යුද්ධය නෑ. උතුරේ අද කොටි නෑ. හැබැයි එකක් මතක තියාගන්න ඕනි. තවමත් අයුධය හසුරුවන්න පුළුවන් දස දහස් ගානක් උතුරේ ඉන්නවා. එහෙම ප්‍රජාවකට අර මානසිකත්වය යන එක හොඳද?
ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවෙන් හදන මානසිකත්වය ඒක නෙවෙයිද?
උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්නවා පහුගිය දවසක අනුරාධපුර හිරේට පැනලා ලොහාන් නටපු පිස්සුව. කූඩුව ඇතුළේ හිටපු එල්.ටී.ටී.ඊ සැකකාරයෝ එලියට අරන් දණ ගස්සලා, ඔළුව පිස්තෝලේ තියලා, තොපි ඕනි නං බල්ලෝ වගේ මරලා දාන්න මට පුළුවන් කියලා මර ලතෝනියක් දීලා තිබුණා.ඒකෙන් ලොහාන් කොච්චර නිවටද කියලා ඔප්පු උනා. හැබැයි කෝ ඒකට නීතිය.
ඒ වෙනුවෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් පවරලා තියෙන්නේ ඒ හිරකාරයෝ. ආණ්ඩුව පැත්තෙන් මොකද්ද ඉෂ්ඨ උන යුක්තිය. ඒ දිහා බලන දෙමළ මිනිහාට දැනෙන හැගීම මොකද්ද?
ඒක නිසා මේ රාජපක්ෂ ආණ්ඩුව මොන පජාති වැඩේ කලත් මේ රටේ අති බහුතර සිංහල ජනතාවටත් වගකීමක් තියනවා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න. ඒක නියම සිංහලයෙකුට අයිති කාර්යභාරයක්. ඔයාලා දන්නවා රටේ රාළ ඉතිහාසය පුරාම ඒ වගකීම වෙනුවෙන් පෙනී හිටියා.
ඉෂාලනීලා, රිසානලා, විද්‍යාලා වෙනුවෙන් රටේ රාළලා කොන්දේසි විරහිතව පෙනී හිටියා. හෙටත් පෙනී ඉන්නවා.
රටේ රාළ මේ කතාව කියන්නේ දෙමළා ගැන හොඳ අවබෝධයෙන්. දෙමළ මිනිහා කියන්නේ අතිශයින් සංවේදී මිනිහෙක්. ඒක දැනගන්න ඔයාලා යන්න යාපනයට. එක දවසෙන් ඒ අද්දැකීම ගන්න පුළුවන්.
දෙමළ මිනිස්සු මිනිහෙකුට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නෑ. රටේ රාළ දෙමළ මිනිස්සු අතර මාසයක් හිටියා. ඒ ඉන්න ගමන් දෙමළ සමාජය ඇතුළට ගියා. හැබැයි රටේ රාළගේ ඒ අද්දැකීම කුහක නැතිව ලෝකෙට කිව්වා.” යාපනේ දෙමළුන් අතර සිට ලියමි ” කියන ලිපිය තමයි රටේ රාළ ලිපිවලින් වැඩිම ජනප්‍රිය උන ලිපිය.
ඇත්තටම ඒ ලිපිය ලෝකය වටේ ලක්ෂ ගාණක් බලලා තිබුණා. කොහොම හරි රටේ රාළ ඒ ලිපියෙන් දෙමළා කවුද කියලා කියලා ඇති. අදත් ඒ දෙමළ මිනිස්සු මතක් වෙනකොට ඇස්වලට කඳුළු උනනවා.
ඔයාලා යාපනයට ගිහින් දෙමළ කෙනෙක් ගෙන් පාරක් අහන්න. එයාලා පාර කියන්නේ නෑ. ඒ තැනට එක්ක ගිහින් පෙන්නනවා. තමන් කරන වැඩේ නතර කරලා, තමන් යන ගමන නතර කරලා ඇවිත් නන්නාදුනන පිරිසකට පාර පෙන්නලා යනවා. ඒ තමයි දෙමළ මනස.
රටේ රාළ ඒ ලිපියෙන් කියපු කතාව අදත් කියනවා. මොකද ඒ කතාව තවමත් වලංගුයි. හරියටම අර්ධ ශතකයක් ඉක්මවපු රටේ රාළගේ ජීවිතේ හොදම මිනිස්සු හම්බ උනේ යාපනේදී. ඒ ඔක්කොම දෙමළ මිනිස්සු. අහක දාන්න කියලා එක මිනිහෙක් හිටියේ නෑ. ඒක නිසා අපි උතුර දකුණ යාකරන පාලම හදන්නම ඕනි. ඒකට ඕනි සම්පත් දැන් මතු වෙමින් තියනවා.
ඒක නිසා දෙමළ ජනතාව දිහා වපර ඇහෙන් බලන්න එක දැන් නවත්තන්න ඕනි. තේරෙන්නේ නැත්තං එක පාරක් යාපනයට ගිහින් දෙමළ මිනිස්සු අතර හිටලා ඇවිත් කතා කරන්න. සිංහල අපිව වැලදගන්න යාපනේ මිනිස්සු ලෑස්තියි.
අපට මේ සන්නිවේදන ප්‍රශ්නය නැත්තනම් දැනටමත් ඒක ගොඩක් දුරට වේලා. ඇත්තටම රාසමානික්කම්ලා කියන්නේ ඒකේ ප්‍රථිපල වෙන්න ඕනි. එයාට පුළුවන් මේ සමාජය දෙකටම කතා කරන්න. ඒ වගේම සිංහල සමාජයේ ගෞරවයට පාත්‍ර උන මන්ත්‍රීවරයෙක් රාසමානික්කම්.
රටේ රාළ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ රාජපක්ෂලා උතුරේ පාලම් හැදුවට උතුර – දකුණ යාකරන සහෝදරත්වයේ පාලම නං කවදාවත් හදන්නේ නෑ.
අවුරුදු දෙකක් යනතුරු මේ රටේ ජනාධිපතිතුමාට දෙමළ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් දෙන් බැරිත් එක හින්දයි.
හැබැයි මෙතනදී අපටත් වගකීමක් තියනවා. ඒ පාලම රාජපක්ෂලා හදනකම් බලා ඉන්නේ නැතිව අපි අපි හරි එකතු වෙලා පාලම හදන්න පටන් ගන්න. අඩුම ගානේ ඒකට ඕනි දේවල් ටික ටික හරි එකතු කරගන්න.
ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොදම දේ තමයි සහෝදර දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් දකුණෙනුත් හඩක් නැගෙන්න ඕනි. කොටින්ම කිව්වොත් දකුණේ සිංහලයා උතුරේ දෙමළා නියෝජනය කරන්න ඕනි. මොකද මනුස්සකම තරම් ලොකු මානව බැදීමක් තවත් ලෝකේ නෑ. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් අදාළයි.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
රටේ රාළ
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්….)