දෙස් විදෙස් සුපතල,මීගමුවේ සංචාරක මඟ පෙන්වන්නා ”ඇන්ඩෘෘ”

0
641

දශක හතරකට ආසන්න කාලයක් එනම් වසර තිස් පහකට අධික කාලයක සිට අද දක්වාම සංචාරක රියදුරකු ලෙසත් සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස දෙස් විදෙස් හී ප්‍රකට වු මීගමුවේ ඇන්ඩෲ සිල්වා ඔහුගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් සහ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව ඔහුගේ අදහස් දක්වමින් සිදුකළ සංවාදයක් පහත පළ වේ.

ඔබ දෙස් විදෙස් ප්‍රකට සංචාරක මඟ පෙන්වන්නෙක්. ඔබේ මේ වෘත්තියට ප්‍රවේශ වූ ආකාරය දැනගන්න කැමතියි ?

මගේ මේ රැකියාව සහ පවුල් පසුබිම අතර යම් සබඳතාවයක් තියෙනවා.මොකද මම සංචාරක මග පෙන්වන්නෙක් වෙන්න කලින් මම රියදුරෙක් වුනා.රියදුරෙක් වෙලා වාහන එලවන්න කරන්න මට විශාල ආශාවක් ලැදියාවක් තිබුණා.ඒ ආශාව සහ කැමැත්ත මට ඇතිවුණේ මගේ පවුල් පසුබිම ඒක්ක කිව්වොත්, ඒක තමයි නිවැරදි. මොකද මගේ පියා ලංගම රියදුරෙක්.මගේ මව රැකියාවක් කෙරුවේ නෑ.මගේ පවුලේ 11 දෙනයි. මම පවුලේ 04 වෙනියා. මම උපන්නේ 1955 අවුරුද්දේ.

මට වැඩිමල් අක්කලා දෙන්නෙකුයි අයියා, කෙනෙකුයි ඉන්නවා.අනිත් හත් දෙනා නංගිලා, මල්ලිලා.මම පාසල් ගියේ සෙන්ට් පීටර්ස් එකට.මම අටවෙනි පන්තියට විතරයි පාසල් ගියේ. අපේ නිවස තිබුනේ මහාවිදිය පල්ලිය ගාව. අර මම කලින් කිව්වා වගේ මගේ තාත්තත් රියදුරෙක්.ඒත් එක්කම මගේ අක්කා කෙනෙක් විවාහ වෙලා හිටිය, ඒ අයියාත් රියදුරෙක්. ඔය කාලයේදී මටත් ආශාවක් තිබුනා වාහන එලවන්න කරන්න.ඒ අනුව තමයි මම වාහන එලවන්න කරන්න පුරුදු වුණේ.ඊට පස්සේ මගේ මාමලාගේ තිබුණා කාර් එකක්.

මම ඉතින් ඕක අරගෙන අපේ ගේ ළඟ මහා විදිය පල්ලිය ගාව තිබුනා කුලී වාහන රථ ගාලක් එහෙම නැත්නම් හයරින් වෙහිකල් පාර්ක් එකක්. ඕකට මම ඔය මාමාලාගේ කාර් එක අරන් ඇවිත් හයර් යන්න පටන් ගත්තා. මාමලාගේ කාර් එක අරගෙන හයර් කරන්න මහා විදියේ පල්ලිය ළඟ තියෙන පාක් එකට ආවහම , ඔතනට විදෙස් සංචාරකයොනුත් එනවා එයාලගේ ගමන් බිමන් යන්න හයරින් වාහන සොයාගෙන.එහෙම ආපු විදේශ සංචාරකයනුත් එක්ක ගිහිල්ලා තමයි සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට යම් පලපුරුද්දක් සහ පුහුණුවක් මට ලැබුණේ.

ඒත් එක්කම  සමහර හෝටල්වලට සම්බන්ධ සංචාරක මඟ පෙන්වන්නෝ පවා මාත් එක්ක සබඳතා තිබුණා, එයාලා හරහාත් මට විදේශ සංචාරකයන් එක්ක ලංකාවේ සෑම තැනම වගේ යන්න අවස්ථාව ලැබුණා, ඒකෙනුත් මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා.

සංචාරක මගපෙන්වන්නෙකු ලෙස ඔබේ වෘත්තිය දිවිය ගොඩනැගුනේ කෙසේද ?

දැන් මෙහෙමයි.1980 කාලයේ වාගේ තමයි මම මේ වාහන හයර් කරන්න පටන් ගත්තේ. ඒ කාලේ අපේ මාමලාට තිබුණේ ලංකාවේ හදපු මැස්ඩා වර්ගයේ කාර් එකක්. ඒකට කිව්වේ උපාලි මැස්ඩා කියලා.ඒ කාලයේ හැටියට ඒ කාර් එක සෑහෙන හොඳ ,වටින කාර් එකක් .අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ ලංකාවට එන විදේශ සංචාරකයෝ, ගුවන්තොටුපළේ ඉඳලා බොහෝ වෙලාවට මීගමුවට එන්නේ බස් එකෙන්.බස් එකෙන් බැහැලා,මේ අය පයින් ඇවිදගෙන මහා විදිය පල්ලිය ළඟට එනවා.ඒ කාලේ අද කාලේ වගේ ත්‍රි විල් තිබුණේ නෑ. ඉතින් මහවිදිය පල්ලි ළඟට ඇවිල්ලා තමයි, නතර වෙන හෝටලයට යන්න වාහනයක් එහෙම කතා කරගන්නේ . ඉස්සර එන ඔය සංචාරකයෝ ළඟ දැන් වගේ ඔය ස්මාර්ට් ෆෝන්, ටැබ්, අයි-ෆෑඩ් වගේ දේවල් තිබුණේ නෑ.තියෙන්නේ අතේ, සිතියමක් තියෙන පොතක් විතරයි.ඔය පොතේ තියෙන සිතියම දිහා බලාගෙන තමයි, ඒ අය, ඒ ඒ අවශ්‍ය තැන් වලට යන්නේ. 

ඉතින් ඔහොම මීගමුවට එන සංචාරකයෝ, අඩුම තරමින් මීගමුවේ තියෙන හෝටලයක දවස් දෙකක් තුනක් වත් නතර වෙලා, ඊට පස්සේ තමයි බලන්න යන තැන් එහෙම තීරණය කර ⁣ගෙන ඒ බලන්න යන්න තියෙන තැන් වලට යන්න පිටත් වෙන්නේ. ඒ කියන්නේ මීගමුව කියන්නම එයාලාගේ ප්‍රධාන නවාතැන් පළක් .ඉතින් වෙනත් නගර ගම් වලට යන්න ඉන්න සංචාරකයෝ ඒ ගමන්වලට අවශ්‍ය හයරින් වාහන සපයා ගත්තේ බොහෝවිට මහා විදිය පල්ලිය ළඟ තිබුණු අපේ හයරින් වෙහිකල් පාර්ක් එකෙන්.

ඒ කාලයේ සහ අද කාලයේ අතර විශේෂයෙන්ම මීගමුව තුළ සංචාරක කර්මාන්තයේ වෙනස ඔබ කොහොමද දකින්නේ?

හැබැයි අද කාලෙ වගේ නෙමේ ඒ කාලේ මේ සංචාරක කර්මාන්තය එතරම් රටේ ජනප්‍රිය නෑ. දැන් මීගමුව ගත්තහම ,මීගමුවේ අද තියෙන හෝටල්වලිනුත් සියයට 75 ක් විතර එදා තිබුනේ නෑහැ. හෝටල් අඩු වුණාට ඒවගෙන් හොඳ සේවාවක් සහ හොඳ පහසුකම් සලසල දීල තිබුණා සංචාරකයන්ට. දැන් ඒදා බොහෝමයක් හෝටල්වල වායු සමීකරණ තිබුණේ නෑහැ. තිබුනේ විදුලි පංකා එහෙම නැත්තම් ඉලෙක්ට්‍රික් ෆෑන් විතරයි.හැබැයි ඉතින් හෝටල්වලට ආපු සංචාරකයෝ වායු සමීකරණ ගැන ඇහුවෙත් නෑ.දැන් අපේ වාහන ගත්තත් එයාල බොහෝ වෙලාවට අපෙන් වායු සමීකරණ තියෙනවද කියලා අහන්නේ නැහැ. ෆෑන් එකක් තිබුනොත් දාගෙන යනවා මිසක් එයාලා බොහෝ වෙලාවට යන්නේ වාහනවල වීදුරු ඇරගෙන.

දැන් ඒ කාලේ මට මතකයි. මීගමුවේ තිබුණු ලොකුම හෝටලේ තමයි බ්‍රවුන්ස් බීච් හෝටලය, කැම්ලට් හෝටලයත් තිබුණා, හැබැයි ඒකෙ තිබුණේ පාම් ගාඩ්න් කියලා වෙන නමකින් වගේ මතකයි,සී-ෂෙල්ස් හෝටලය, බ්ලු ඕෂනික් ඒකට දැන් කියන්නේ ජෙට්වින් බ්ලූ කියලා. ඔය හෝටල් තමයි ඉතින් ප්‍රධාන විදිහට තිබුණේ..

ඔබට මතකද ඔබ විදේශ සංචාරකයොත් එක්ක ගිය පළමුවැනි ගමන ?

මම මුලින්ම ගියේ ජර්මන් ජෝඩුවක් එක්ක. ඒ ජෝඩුවත් එක්ක රට පුරාම වාගේ ගියා. ඒ කාලේ කිලෝමීටර් ගානට තමයි අපි අයකරුවේ. මට මතක විදිහට රුපියල් 08 ක වගේ ගානක් තමයි කිලෝමීටරයකට අය කරුවේ. ඒ කාලේ අපිට අවබෝධයක් තිබුනෙත් නෑ , ලංකාවේ අයගෙනුයි, පිටරට අයගෙනුයි බොහෝ විට අය කෙරුවේ එකම ගාණක් .

දැන් බොහෝ විට අපි ළඟට වාහනයක් හයර් කරගන්න එන සංචාරක මග පෙන්වන්නෝ අපෙන් ගණන් අහලා එයාලත් ගානක් තියාගෙන තමයි පිටරට ඉඳලා ආපු සංචාරකයන්ට ගණන් කියන්නේ. දැන් කිලෝමීටරේ රුපියල් 08 ගානේ ගියත් අපිට ඒ කාලේ සැලකිය යුතු ආදායමකුත් තිබුණා. මොකද ඒ කාලේ පැට්‍රල් ගැලුමක් රුපියල් 15 ක් විතර වගේ ඇති.හරියට බැලුවොත් අදට වඩා ඒ කාලේ අපිට ආදායමක් තිබුණා ගමනක් ගිහින් ආපහුවාහම.

ලංකාවට සංචාරය පිණිස ආපු විදේශිකයින් අතර  ඔබත් සමග බොහොම හිතවත් වුන පුද්ගලයන්  සිටිනවද ?

 ඔව් , ජර්මනියේ ඉඳලා සංචාරයට ලංකාවට ආපු කෙනෙක් මාත් සමග සෑහෙන හිතවත්කමක් ඇතිවුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහු මට ලොකු උදව්වක් පවා කෙරුවා. මොකද මම මුල ඉඳලාම අර මම කලිනුත් කිව්ව වගේ මම රැකියාව පටන් ගද්දීම මට තිබුණේ මාමලාගේ උපාලි මැස්ඩා කාර් එකනේ. ඉතින් මටත් දැඩි උවමනාවක් තිබුණා , මගේම කියලා වාහනයක් ගන්න.ඉතින් එකපාර එහෙම ලොකු වියදමක් දරන්න , මට පුළුවන් කමක් තිබුණෙ නෑ.ඒ කාලයේ.ඒ කාලේ තමයි තමයි මේ ජර්මනියේ ඉඳලා ආපු කෙනා ,මට වාහනයක් ගන්න සල්ලි එවලා තිබුනේ. හැබැයි මං ඒක මාස් පතා එයාට ,ඒ මුළු ගාන කොටස් වශයෙන් ගෙවන්න පොරොන්දු වුනා. ඒ කාලේ අද වගේ යුරෝ තිබුනේ නැහැ. එයා මට සල්ලි එවලා තිබුනේ ඩොයිෂ් මාර්ක් වලින්. මට මතක විදිහට ඩොයිෂ් මාර්ක් එකක් රුපියල් 08 ක් විතර වගේ ඇති. එයා මට රුපියල් 125000 ක මුදලක් ලංකාවට එවලා තිබුණා. මම ඒකෙන් රුපියල් 123000 ක් දීලා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් අන් රෙජිස්ටඩ් ( ලියාපදිංචි නොකළ ) ඩෙලීකා එල් 300 වෑන් එකක් මිලදී ගත්තා . ඒ මුදල මම ඉතා ඉක්මනටම අර ජර්මන් එක්කෙනාට කොටස් විදිහට ගෙවලා ඉවර කෙරුවා. ඉතින් මම ඔය එල් 300 වෑන් එකත් අර මහා විදිය පල්ලිය ගාව තිබුන මම වෙනදා හිටිය ඒ වෙහිකල් පාර එකේම තමයි මම දිගටම තියාගෙන හිටියේ. එල් 300 කියන වෑන් එක ඒ කාලේ සෑහෙන්න ඉහලින් තිබුණු වාහනයක්, ඒත් එක්කම ඒක සෑහෙන පහසුකම් එහෙමත් තිබුණා යන අයට. හැබැයි වායු සමීකරණ පහසුකම් නම් තිබුණේ නෑ. ඒ වගේම බොහෝ වෙලාවට යන අයත් වායු සමීකරණ පහසුකම් ඉල්ලුවෙත් නැහැ,

දැන් ඔබ කියන විදිහට 1980 ගණන්වල සිට මේ රැකියාවේ නිරත වුණා නම් ඒ කාලසිමාවේ ලංකාවේ තිබුණු ජනවාර්ගික යුද්ධය සහ ඒ කෝලාහල පැවති කාලය පිළිබඳවත් ඔබට මතකයේ ඇති. ඒ කාලේ ඔබ ලබපු අත්දැකීම් ගැනත් දැනගන්න කැමතියි ?.

ඔය කියන 1980 ගණන්වල ලංකාවේ යුද්ධයක් තිබුණත් සංචාරකයන්ගේ පැමිණීමේ ලොකු අඩුවක් තිබුණේ නැහැ. මට මතකයි ඔය 1980 ගණන්වල ඔය කලබල කෝලාහල පටන් ගන්න දවස්වල මම ජර්මනියේ ඉඳලා ආපු සංචාරකයෝ දෙන්නෙක් එක්ක, ඒ කියන්නේ අක්කයි නංගියි.ඒ දෙන්නගෙ නම් තමයි “මාගරට්” සහ “ඉසිලා”. අපි ඒ වෙලාවේ හිටියේ මාතලේ වගේ පැත්තක.අපිට මේ ටුවර් එක ඉවර කරන්න තිබුනේ අනුරාධපුරෙන්. මම දැන් යන්නෙ තවත් සංචාරක මග පෙන්වන්නෙකුත් එක්ක . මේ ටුවර් ගයිඩ්ගේ නම බර්නාඩ් කුරේරා කියලා කෙනෙක්.එයා මීගමුවේම ටුවර් ගයිඩි කෙනෙක්. එයා තමයි මේ අක්කායි නංගිවයි මා ගාවට එක්ක ආවේ, අපි මේ ටුවර් එක නතර කරන්නේ අනුරාධපුරෙන්.එතන ඉඳලා එයාලා බස් එකෙන් හරි කෝච්චියෙන් හරි ත්‍රිකුණාමලයට ගිහිල්ලා නිලාවේලි බීච් එකේ එහෙම බලලා ඊට පස්සේ තමයි මේ දෙන්නා මීගමුවට ආපහු එන්න තීරණය කරලා තිබුණේ. කොහොම හරි අනුරාධපුරෙන් අපේ ටුවර් එක අපි අවසන් කරන්න තමයි තිබුනේ. නමුත් මට ආරංචි වුණු දේවල් හැටියට ,මේ දෙන්නට අනුරාධපුරේ ඉඳලා ත්‍රිකුණාමලයට ගිහිල්ලා, එතන ඉඳලා ආපහු මීගමුවට එන්න, මේ තියෙන කලබලත් එක්ක පොදු වාහන පහසුකම් සොයාගන්න බැරි වෙන තත්ත්වයක් තමයි තිබුණේ.

ඉතින් අපි මේ දෙන්නට මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය ගැන අවබෝධ කරලා දුන්නා. අපි ඒ වෙලාවේ අපේ ආදායම නෙමෙයි බැලුවේ . ඒ දෙන්නගේ ආරක්ෂාව ගැන. අපි එහෙම ඒ දෙන්නට තේරුම් කරලා දීලා , අපි එයාලට කිව්වා අපිට මුදල්වලින් ප්‍රශ්නයක් නෑ , ඔයාලා අපිට දෙන ගාණක් දෙන්න, ඔයාලත් එක්ක ඔයාලා තීරණය කරලා තියෙන විදිහට ගමන අවසන් වෙනකම් අපි එන්නම් කියලා. පස්සේ ඒ දෙන්නා එක තේරුම් ගත්තා. ඒ අනුව අපි අනුරාධපුරේ ඉඳලා ආපහු ත්‍රිකුණාමලයට ගිහිල්ලා, නිලාවේලි පැත්තේ එහෙම ගිහිල්ලා, සතියක් ඉඳලා ආපහු මීගමුවට එන්න පිටත් වුණා. මීගමුවට ආවට පස්සේ තමයි දැනගත්තේ සමහර තැන් ගින්දර තියලා. සමහර තැන් වලින් මංකොල්ලකැම් සිදුවීම් වෙනවා කියලා එහෙම. ඉතිං ඒ දෙන්නාගේ ටුවර් එක වූ තීරණය කරගත්තු විදිහටම අවසන් කරලා පහුවෙනිදා එයාලව ගුවන්තොටුපළට ඇරළුවෙත් අපිම තමයි. ඉතින් අපි ඒ වෙලාවේ දෙන්නගේ ආරක්ෂාව ගැන තමයි පළමුව හිතුවේ. ඊට පසු ඒ දෙන්නා ජර්මනියට ගිහිල්ලා ටික කාලයක් යනකන් ලියුම් ,ෆොටෝස් එහෙම එව්වා.

ඉතින් ඒ කාලේ අද වගේ ලෙහෙසි පහසු සන්නිවේදන පහසුකම් තිබුණේත් නෑ. එයාලා බටහිර ජර්මනියේ. ඒ කාලේ ජර්මනිය අද වගේ එකට එක්කහු වෙලත් නැහැ. බටහිර සහ නැගෙනහිර විදිහට බර්ලින් තාප්පෙන් වෙන්වෙලා තිබුණු කාලේ . ඉතින් ඔය කෝලාහල කාලේ අපි ලබපු අත්දැකීමක් තමයි මං මේ කිව්වේ.

ඔය 1980 ගණන්වල වැඩිපුරම ලංකාවට සංචාරකයෝ ආවේ ජර්මනියෙන්. මම දන්නේ නෑ ඇත්තටම ඒ ඇයි කියලා. බොහෝ වෙලාවට ජර්මන් වල ඉඳලා ආපු අය අරගෙන ටොපි චොක්ලට් වලට කියන්නේ “බොම් බොම් ” කියලා.;ඉතින් මීගමුවේ බොහෝම දෙනෙක් විශේෂයෙන්ම පොඩි ළමයි සුදු මහත්තයෙක් හරි නෝනා කෙනෙක් හරි දැක්කොත් එයා එංගලන්තේ ඉඳලා ආවත්, ලෝකයේ කොහේ වෙනත් රටක ඉඳලා ආවත් බොම් බොම් ගැන තමයි අහන්නේ. සුදු කෙනෙක් කොයි රටකින් ආවත් හිතන්නේ ජර්මනියේ කියලා. මොකද ඔය කාලේ ලංකාවට වැඩිපුරම ආවේ ජර්මන් අයයි.

 මේ රැකියාව තුළ බොහොම කාර්ය බහුලයි. ඒ කියන්නේ ඔබට වැඩ වැඩියි. මට හිතෙනවා මේ රැකියාව කරන විදිහ තුළ ඔබේ යම් විශේෂත්වයක් තියෙනවා කියලා .

මමත් හිතනවා මට අනිත් අයට වඩා වැඩ තියෙනවා කියලා. එකක් තමයි මට ලයිසන් එකක් තියෙනවා, සංචාරක මණ්ඩලයෙන් නිකුත් කරපු.අපි ඒ කියන්නේ , සංචාරකයින් ප්‍රවාහනය කරන රියදුරන් පිරිස එකතුවෙලා ඒ කාලේ හදාගත්තා “නිගම්බෝ ටුවරිස් ඩ්‍රයිවින් ඇසෝසියේෂන් ” කියලා සංවිධානයක් .ඒකට මමත් බැඳුණා ඉතින් ඒකෙදි අපට සංචාරකයින් ප්‍රවාහනය කරන්න අවසර පත්‍ර එහෙම නැත්නම් ලයිෂන් එකක් සංචාරක මණ්ඩලයෙන් නිකුත් කළා. ඉතිං ඒ ලයිෂන් එක මට තාම තියෙනවා.

අනෙක් කාරණාව තමයි විශේෂම කාරණාව,මම සාමාන්‍යයෙන් විදේශීය සංචාරකයොත් එක්ක ටුවර් එකක් යන්න ගානක් පොරොන්දු වෙනවා. හැබැයි මම ගන්න ගානට වඩා වැඩි දෙයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මම එයාලගෙන් වෙන ඊට වඩා වැඩි දෙයක් බලාපොරොමත්තු වෙන්නේ නෑ.මොකද හුඟක් අය හිතනවා මේ සංචාරක ව්‍යාපාරය තුළ මේ හයර් එකක් යනවාට වඩා වැඩි මුදලක් වෙන වෙන දේ වලින් හොයාගන්න පුළුවන් කියලා. බොහෝ වෙලාවට සංචාරකයන්ව අරන් යන හෝටල් වලින් , සාප්පු වලින් , සිපයිස් ගාර්ඩන් වලින්, ඒත් එක්කම බතික් , ලී කැටයම් සහ මැණික් වගේ දේවල් අලෙවි කරන තැන්වලින් යම් මුදලක් බලාපොරොත්තු වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක සමහර සංචාරකයෝ දැනගත්තොත් ඔවුන්ගේ තියෙන ඒ විශ්වාසය පළුදු වෙනවා.මම කවදාවත්ම ඒ පැත්තට යොමු වෙන්නෙ නෑ. ඒ ආදායම මට නොලැබුණාට ,ඒක මට පාඩුවක් වෙන්නෙ නෑ. මම දන්න විදිහට සමහර සංචාරකයන්ව ටුවර් එක ඉවර වෙලා ගුවන්තොටුපළට ගිහින් බස්සපුවහම මට සන්තෝෂයෙන් කීයක් හරි දීලා යනවා.ඉතින් මම බලපුවහම, අර වගේ දේවලින් ලැබෙනවාට වඩා වැඩි ගාණක් මට එයාලා සන්තෝෂයෙන් දීලා ගිහින් තියෙනවා.ඉතින් කවද හරි එයාලගේ කෙනෙක් ලංකාවට ආපුවහම ඒ අයට මං ගැන එයාලම හඳුන්වා දීලා කියනවා, ලංකාවට ගියොත් එයත් එක්කම යන්න කියලා.

ඉතින් එහෙම බලපුවහම අර වගේ තැන්වලින් මට ලැබෙන කොමිස් එක වගේද මේ විදිහට ලැබෙන දේවල්. ඒකයි මම නිතරම හිතන්නේ, මේ රැකියාවේදී විශ්වාසය කියන දේ ඉතාම වැදගත් කියලා.

 

මේ රැකියාව කරන්න පටන් ගත් දා සිට අද දක්වා කාලය තුළ ඔබට අමතක නොවන සිදුවීම් එහෙම ඇතිනේ ?

මට මතක විදිහට ඔය කොරෝනා වසංගතයත් ඉවරවුනු කාලේ. දැනට අවුරුදු දෙකකට කලින් වගේ ඇති එතකොට, ප්‍රංශයේ ඉඳලා ආපු ගැනු ළමයෙකුයි එයාගේ යාලුවෙකුයි එක්ක මම ටුවර් එකක් ගියා. අපි ගියේ හබරන, කවුඩුල්ලේ වන සතුන් බලන්න. හබරන තියනවනේ ඔය වන සතුන් ඉන්න පාර්ක් තුනක්. එකක් තමයි කවුඩුල්ල පාර්ක් එක. දෙවෙනි එක මින්නේරිය පාර්ක් එක.අනිත් එක තමයි එකෝ පාර්ක් එක. අපි ගියේ එකෝ පාර්ක් එකට.ඔය පාර්ක් තුනේම සැරිසරන්නේ එකම අලි, ඇත්තු රංචු තමයි. අපි ගියේ ඒ ප්‍රදේශයට ටිකක් පායන කාලෙක. නමුත් අපි ගිය දිනයට කලින් දා ටිකක් විතර වැහැලා තිබුණා, මොකද පාර්ක් එකේ පාරේ වලවල් වල වතුරත් එක් රැස්වෙලා තිබුණා දැක්කා. අපි ඔය වගේ පාර්ක් වලට යද්දි අපි සංචාරකයන්ව එක්කන් යන්නේ ජීප් රථ වල. එදා මමයි ,ජිප් එක එළවන එක්කෙනයි, අර ප්‍රංශයේ ඉඳලා ආපු දෙන්නයි, අපි හතර දෙනා තමයි හිටියේ. අපි එහෙම පාර්ක් එක ඇතුලට යද්දි , ටිකක් උස මහත ඇතෙක් අපි යන පාරේ අපිට ඉදිරියෙන් ගිහිල්ලා, පාර්ක් එකේ කැලේ වගේ තියෙන හරියෙන් පාර්ක් එක ඇතුලට යනවා අපි දැක්කා. සාමාන්‍යයෙන් පායන කාලෙක ඔය කැලෑ පාරවල් වල වතුර එක්රැස්වුනු තැන් වලට අලි ඇතුන් නිතරම වගේ එනවා යනවා කියලා අපි දන්නවා . මේ පාර්ක් එකේ මහා ලොකු විශාල ගස් නෑ, පඳුරු තමයි හැම තැනම තියෙන්නේ. දැන් මේ ඇතා අපි ගිය ජීප් රථය යන පාරෙම අපිට වඩා මීටර් 10 ක් 15 ක් විතර වගේ ඉදිරියෙන් ගිහින් පඳුරු අස්සෙන් කැලේ පැත්තට හැරුණා. මොකද මෙයාට යන්න ඕන වුණේ පාර දිගේ. නමුත් දැන් අපේ ජීප් එකත් ආවේ පාරේ නිසා මෙයා එහෙම කැලේ පැත්තට හැරුණා. දැන් අපිට අපේ ජීප් එක අරගෙන යන්න වෙන පාරකුත් නෑ. මම දැනගත්තා , මේ ඇතා මෙහෙම කැලේ පැත්තට ගියාට , එයාගේ අවශ්‍යතාවය තියෙන්නේ පාර දිගේම ඉදිරියට යන්නනේ. ඒ නිසා නැවත කොයි වෙලාවක හරි මෙයා ආයේත් පාරට එනවා කියන එක මට වැටහුණා. මට වගේම අපේ ජීප් එක පදවන කෙනත් මේ කාරණාව ගැන දැනගෙන හිටියා. අපි කෝකටත් අපි ගිය ජීප් රථය නතර කරලා ටික වේලාවක් ඔහොම බලාගෙන හිටියා. ඉන් පස්සේ සුළු වේලාවක් යද්දිම මේ ඇතා අර පඳුරු තියෙන කැලේ ඇතුලේ ඉඳලා එකපාරටම අපි හිටපු පාරට මතුවෙලා, අපේ ජීප් එකට ගහන්න ආවා. අපිට හිතාගන්නවත් වෙලාවක් නැහැ. එතකොටම අපේ ජීප් එක පදවන එක්කෙනා ඉක්මනටම ජීප් එක ස්ටාර්ට් කරගෙන, ඒ පාර දිගේ ඉස්සරහටම ජීප් එක අරගෙන ගියා. ඒ සිදුවීම කවදාවත් මට අමතක වෙන්නේ නැති සිදුවීමක්. මම ඒ මොහොතේ ඔය ඇතාව මගේ ෆෝන් එකෙන් වීඩියෝ ත් කෙරුවා. ඉතින් ඔය සිදුවීම මගේ මතකයේ තියෙන විශේෂිතම සිදුවීමක් කියලා කියන්න පුළුවන්.

අද වන විට ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දි පෙර  කාලවලට වඩා අලුත් අලුත් සංකල්ප, අලුත් යටිතල පහසුකම් වගේ දේවල්ඇතිකරලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ,නඟා සිටුවන්නට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස් දැනගන්න කැමතියි.

එහෙම සංචාරක කර්මාන්තය දියුණුවට එහෙම නැත්නම් ඒ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නට යටිතල පහසුකම් වැඩි දියුණු කෙරුවා කියලා කිව්වට මම නම් හිතන්නේ එහෙම වෙලා නෑ කියලයි.මොකද අද වෙද්දි සමහර ගෙස්ටහවුස් තියෙනවා හෝටල් වගේ.ඒවගෙන් සමහර හෝටල් තියෙනවා ගෙස්ට් හවුස් එකක තරම්වත් පහසුකම් නැති.

දැන් සංචාරකයන් අරන් යන වාහන පාර්ක් කරන්නවත් සමහර හෝටල්වල පහසුකම් සලසලා නෑ. හෝටලයක් කියලා කිව්වහම වාහන වලට පාර්කින් ප්ලේස් වගේම ඒ රියදුරු මහතුන්ටත් ඉන්න කරන්න පහසුකම් තියෙන්න ඕන. නමුත් දැන් තියෙන හුඟක් හෝටල්වල ඒ පහසුකම් නෑ. අනිත් එක තමයි හුඟක් සංචාරකයෝ මේ වෙද්දී පෙළඹිලා තියෙනවා booking.com හරහා ලංකාවට ආපුවහම නවතින්න ගෙස්ට්‍ හවුස් වගේ ඒවා හොයාගන්න.

සමහර අය කියලා සංචාරකයන්ට නතර වෙන්න දෙන්නේ එයාලගෙම ගෙවල්වල එක්කෝ උඩ තට්ටුව එහෙම නැත්නම් ගෙටම යා කරලා හදපු ඇනෙක්ස් එකක් වගේ තැනක්. සමහර අවස්ථාවල ඒ වගේ තැන් වලට යන්න පාරකුත් නෑ. සංචාරකයන්ව අරන් යන වාහනයක්වත් ඒ තැනට අරන් යන්න බෑ හරි හමන් පාරක් නැති නිසා.ඉතින් සමහර වෙලාවට සංචාරකයෝ එක තැනක, වාහනේ තවත් තැනක, වාහනය පදවන රියදුරුවෝ තවත් තැනක . මෙන්න මේ මේ වගේ ප්‍රශ්න බොහොමයක් තියෙනවා මේ සංචාරක කර්මාන්තය තුළ.

මෙවැනි ප්‍රශ්න, ගැටලු හරියට නිරාකරණය කරගෙන ඒ අවශ්‍ය පහසුකම් සලසලා දුන්නොත් සංචාරක ව්‍යාපාරය මීට වඩා දියුණු තත්ත්වයකට ගන්න පුළුවන් කියන එකයි මගේ නම් අදහස.

අවසාන වශයෙන් ඔබේ පවුලේ විස්තර වගේම ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කිව්වොත්?

මට ඉන්න දුවලා දෙන්නෙක් දෙන්නම රැකියා කරන පෞද්ගලික අංශයේ, වැඩිමල් දියණිය මේ විදි විවාහ වෙලා, මගේ බිරිඳ රොෂිටා ප්‍රනාන්දු , ඇය මීගමුව මුනක්කරේ ප්‍රදේශයේ ,අපි ආදර සම්බන්ධතාවයකින් තමයි විවාහ වුණේ. දැන් මගේ වයස අවුරුදු 68ක් වෙනවා.මම හිතන්නේ මේ රැකියාව කරන මගේ අන්තිම කාලය වගේ තමයි මේ ගෙවී යන්නේ.

වාහනේ එලවන්න කරන්න ඇගේ ශක්තිය තාම තියෙනවා. ඒ වගේම ටුවර් එහෙමත් තියෙනවා.නමුත් ඉතින් මම හිතාගෙන ඉන්නේ තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා, මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නෙ නෑ නමුත් රියදුරු රියදුරුකමෙන් අයින් වෙලා සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට පමණක් ඉදිරියේදී වැඩ කරන්න. මේක තමයි ඉතින් අනාගත බලාපොරොත්තු විදිහට හිතේ තියාගෙන ඉන්නේ.

 

සබැදි ලිපි 

” මාර්ගඋපදේශකයෙකු කියන්නේ තමන්ගේ රට ගැන ලෝකයට කියන නිල නොලත් තානාපති කෙනෙක්”

‘‘කුරුළු ලෝකය කියන්නේ ඉතාම සුන්දර ලෝකයක්, ඇතුල් වුනොත් ආයේ ජීවිතේට පිටවෙන්ඩ හිතෙන්නේ නැති.