දේශපාලන පලිගැනීම් වලට එරෙහිව අවදානමට පෙර සූදානම

0
274

d31c442727a66a93282fa7cd80cadcfa_XLමහජන ආරක්ෂාව සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි හමුදාව කැඳවා ඇත. එහි අරමුණ කුමක්දැයි පැහැදිලි නැතත් සූදානම් ශරීරය වටී. ඒ සඳහා පුංචි මඟපෙන්වීම් කිහිපයක් පහතින්. ඔබ දැනට බලයේ ඉන්න පිරිසට එරෙහිව ක්‍රියාකාරීව වැඩකළ කෙනෙක් නම් එක්නැලිගොඩ, ලලිත්, කූගන් වැන්නන්ගේ ඉරණම ඔබට අත් නොවීමට මේ පූර්වාරක්ෂක ක්‍රම වලින් එකක් සමහරවිට හේතු වෙන්න පුළුවන්. අනිත් අයගේත් දැනගැනීමට share කරන්න.

ඔබ වර්තමාන රජයට එරෙහි දේශපාලන ව්‍යාපාරයක සක්‍රීයව සිටියේ නම්:-

1. කැපී පෙනීම ටිකක් අඩු කරන්න.

2. අන්තර්ජාල සම්බන්ධතාවය සහිත හොඳ ජංගම දුරකථනක් නිරන්තරයෙන්ම ළඟ තබාගන්න.

3. පුරුද්දක් ලෙස call recording සක්‍රීය කර තබන්න.

4. ඔබේ යූටියුබ් චැනලයක් සකසා එය රහසිගතව තිබෙන්නට හරින්න. නරඹන්නන්, සබ්ස්ක්රයිබර්ස්ලා අවශ්‍ය නොවේ.

5. ඔබට දුරකථන මාර්ගයෙන් හෝ මුණගැසී යම් තර්ජනයක් සිදුකෙරේනම් එය නොවැරදීම පටිගතකරගන්න නැත්නම් වීඩියෝගත කරගන්න. එහි සැළකියයුතු වැදගත්කමක් ඇතැයි සිතෙන්නේ නම් එය ඔබෙ යූටියුබ් චැනලය හරහා අන්තර්ජාලයට මුදාහැර එහි ලින්ක් එක සුරක්ෂිතව විශ්වාසවන්ත අයෙකු ළඟ තබන්න. ඉන්පසු ඔබ ළඟ ඇති හඬපට සහ වීඩියෝ සමඟ පොලීසියට ගොස් පැමිණිලි කරන්න. පොලීසිය ඔබ ළග ඇති හඬපට සහ වීඩියෝ සමග අදාළ උපකරණද ඔවුන්ගේ භාරයට ගන්නවා ඇත. ගැටලුවක් නැත. ඔබ ඒවායේ සම්පූර්ණ පිටපත් දැනටමත් ලෝකයේ ඕනෑම අයෙකුට නැරඹිය හැකි පරිදි අන්තර්ජාලයට මුදාහැර ඇත. අවශ්‍ය වන්නේ ගැටලු සහගත අවස්ථාවක් ආවොත් එම වීඩියෝ සහ හඬපට ඇති යූටියුබ් චැනලය හරහා ඒවා බාගත කරගැනීම ⁣සහ ඒවායේ ලින්ක් ප්‍රසිද්ධ කිරීම පමණයි.

6. නිවස අවට හෝ ඔබ යන එන තැන් අවට නාදුනන පුද්ගලයන් ඔබ ගැන අවධානයෙන් පසුවේදැයි විමසිල්ලෙන් සිටින්න. එවැන්නෙක් සිටියහොත් මිතුරෙකු ලවා සැක නොසිතෙන පරිදි ඒ පුද්ගලයාගේ ඡායාරූප ලබාගන්න. එම ඡායාරූප අඩුම ගණනේ ඔබෙන් බාහිර විශ්වාසවන්ත පුද්ගලයන් දෙදෙනෙකු සතුව වත් අදාළ තොරතුරු සමග සුරක්ෂිතව තබන්න.

7. ඔබේ රථවාහන බඩුබාහිරාදිය ගමන්මළු පිළිබඳව නිරන්තරයෙන් සැළකිලිමත්වන්න. ඒවාට විවිධ පුද්ගලයන්ට විවිධ දෑ දැමීමට අවස්ථාව නොසැළසෙන සේ ප්‍රවේශම් වන්න. ඔබව අපහසුතාවයට පත්කිරීමට ඇති පහසුම ක්‍රමය ඔබේ වාහනයේ හෝ ගමන්මළු වල මත්ද්‍රව්‍ය සඟවා ඒවා මත ඔබ අත්අඩංගුවට ගැනීමයි. ඔබ ඒ පිළිබඳව සත්‍ය වශයෙන්ම නොදන්නා බව සනාථ කිරීමටත් ඔබට වසරකට වැඩි කාලයක් ගතවන අතර ඒ කාලය රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇත.

8. ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර ප්‍රවෘත්ති එජන්සි කිහිපයක විශ්වාසකටයුතු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඔවුන් සමඟ නිරන්තරයෙන් සබඳතා පවත්වාගන්න. ඔබ දේශපාලන හේතූන් මත අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇත්තෙකු බව ඔවුන්ට අඟවා තබන්න. ඔබ ඔබවත් නොදන්නා හේතුවකට හදිසියේ අත්අඩංගුවට පත්වුවහොත් ඒ බව පෙරකී මාධ්‍යවේදීන් වෙත නොපමාව ආරංචි වන බවට වගබලාගන්න.

9. බීබීසී, අල්-ජසීරා වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි කිහිපයක සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි ලොව පිළිගත් ආයතන ගණනාවක හදිසි ඇමතුම් අංක නිරන්තරයෙන්ම ළඟ තබාගන්න. ඔබේ දේශපාලන පසුබිමත් ඒ හරහා දේශපාලන පලිගැනීමකට ලක්වීමේ අවදානමත් සවිස්තරාත්මකව ලිඛිතව සටහන් කොට ඊට අදාළ හඬපට, ඡායාරූප සමග විශ්වාසකටයුතු අයෙකු භාරයේ තබන්න. ඔබ අත්අඩංගුවට පත්වුවහොත් හෝ වෙනත් අනපේක්ෂිත දේශපාලන පලිගැනීම් ස්වභාවයේ අකරතැබ්බයකට මුහුණදුනහොත් ඔබ පෙර සූදානම් කරන ලද තොරතුරු පෙරකී ජාත්‍යන්තර ආයතන වලට නොපමාව ලැබෙන බවට වගබලාගන්න.

10. ඔබේ නීතිඥවරයා සමඟ යහපත් සම්බ්න්ධතාවයක් පවත්වාගන්න. ඔබ මුහුණදී සිටින අවදානම ඔහු මුණගැසී පැහැදිලි කරදී ඔබේ දුරකථන ඇමතුම් වලට ඔහු පැය විසිහතර පුරාම ප්‍රතිචාර දක්වන බවට තහවුරු කරගන්න. ඔබට අපැහැදිලි හේතුවක් මත පොලීසියෙන් හෝ ආරක්ෂක අංශ වෙතින් කැඳවීමක් ලැබේ නම් නොවරදවාම නීතිඥවරයා සමඟ එහි යන්න. ඔබේ ප්‍රකාශය සටහන් කර ඔබ මුදාහරිනතුරු හෝ ප්‍රකාශ සටහන් කර අවසන් බව පොලිස් හෝ වෙනත් නිලධාරියෙකු තහවුරු කර පසුදින අධිකරණයට ඉදිරිපත් කරන තෙක් සිර මැදිරියට දමන අවස්ථාව දක්වාම නීතිඥවරයා රඳවා ගන්න.

11. සියලුම දුසිරිත් සහ නීතිවිරෝධී යැයි සිතෙන කටයුතු වලින් හැකිතරම් ඈත් වෙන්න. දුරස්ථ වශයෙන් හෝ ඔබව යම් සිද්ධියකට ඈඳීමට ඉඩ ඉතිරි නොකරන්න.

12. අවදානමට පෙර සූදානම ඉතා වැදගත් බව සිහි තබාගන්න. ඔබ කරදරයේ වැටුණු විට ඔබට සිටින හොඳම විශ්වාසවන්තම සහායකයා ඔබමය. නිසි අයුරින් පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කළ හැකි නම් දේශපාලන පළිගැනීම් සිදු කරන්නන් දණ ගැස්වීමට තනි පුද්ගලයෙකුගේ ඇඟිලි තුඩු සහ මොළය පමණක් වුවද ප්‍රමාණවත් බව අමතක නොකරන්න.

13. ⁣මෙය share කරන්න.

නීතිඥ අතිල අතාවුද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here