‘දොන්රෙමියේ රන් අසිපත’ ජොහානාදාස්, මීපුර කරළියේ රඟදැක්වෙයි

0
187

ශුදුධවු ජොහානා ද ආර්ක් මුනිවරියගේ ජීවන චරිතාපදානය ඇසුරින් රචිත ජොහානා නාඩගම් නාටකයේ  නව නිර්මාණයේ  මංගල දර්ශනය ඊයේ   එනම් 2024/07/27 වැනි සෙනසුරාදා දින සවස මීගමුව නගර ශාලාවේ දී රඟ දැක්විය. මෙම නව නිර්මානය අධ්‍යක්ෂණය උචිත සශිර ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ අතර මෙම නාට්‍යය වේදිකාගත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තන් ලෙස   මහාචාර්්‍ය සුනිල් ආරියරත්න ,කැලණිය විශ්ව විද්‍යාලයේ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගරුතර ඉඳුරාගාරේ ධර්මරත්න ස්වාමීන් වහන්සේ, උදේනි අල්විස් , රිචඩ් මානමුදලි ඇතුළු ආගමික නායකයින් රැසක් සහ   සහ කලාකරුවන් රැසක් සහභාගී වී සිටියහ. එලෙසම මීගමුව දකුණ ධීවර  සමුපාකාර සමිතියේ සභාපති, රංජිත් ඇන්ටනී ප්‍රනාන්දු මහතා සහ  එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු එහි නිලධාරී සහ සේවක  මහත්ම මහත්මා  රැසක් මෙම මංගල දර්ශනය සඳහා සහභාගි වී සිටියහ.
ජොහානාදාස් නව නිර්මාණය සඳහා මූල්‍ය දායකත්වය සපයා තිබුණේ මීගමුව දකුණ ධීවර  සමුපාකාර සමිතිය මඟිනි.

ප්‍රංශයේ , ලොරේන් ප්‍රාන්තයේ දොම්රෙන් නම් පිටිසර බද ගමක ,දුප්පත් ගොවි පවුලක උපන් ශුදුධවු ජොහානා ද ආර්ක් මුනිතුමිය තරුණ වියට එළඹෙන විට ඉංග්‍රීසින් විසින් ප්‍රංශය ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය  කිරීම ආරම්භ කර ප්‍රංශය සහ එංගලන්තය අතර සියවස් යුද්ධය ඇරඹි තිබිණි. ඒ අනුව ඇයට දෙවියන් වහන්සේගෙන් ලද විශේෂිත කැඳවීමක් මත ප්‍රංශයේ 07 වන චාල්ස් රජු හමුවී ඔහුට නැවත ප්‍රංශය අත්පත් කරගැනීමට  දේව අණට යටත්ව ඇය ඉදිරිපත් වූවාය .ඒ අනුව ඇය සටන් බිමට පිවිසියාය. එතැන් සිට හිතුමතේ හැසිරුණු ප්‍රංශ යුධ සේනා හික්මීමක් සහිතව යුද වැදුනු අතර එහිදී ඉංග්‍රීසි යුද සෙබලු හිස් ලූ ලූ අත පලා ගියහ. ප්‍රංශය නැවත නිදහස ලැබීය.එහෙත් ඉංග්‍රීසි ජාතිකයන්ට හසුවන ඇයව සිරගත කර පසුව, දර සෑයක් මත ගිනි තබා මරණයට පත් කරන්නට විය.එතුමිය මිය යන තුරුම ඇය සැම විටම පැවසුවේ දෙවියන් වහන්සේ තුළ තමා ජීවත්වන බවත්, උන්වහන්සේ තමන්ට පවසන සියලු දේ තමන් විසින් සිදු කරනා බවත්ය.

මෙම නාඩගම් නාටකයේ ජොහනාගේ වැඩිමහල් කාලයේ චරිතය නිරූපණය කළේ මීගමුව පිටිපන ශාන්ත මරියා විද්‍යාලයේ බටහිර සංගීතය පිළිබඳ ආචාරිණී හෂිනී ගමගේ මහත්මියයි. එලෙසම ජොහානාගේ බාල කාලය නිරූපණය කලේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළ  12 වසරේ ඉගෙනුම ලබන සත්සරණි ආකර්ෂා ශිෂ්‍යාවයි.එමෙන්ම   පිටිපන ප්‍රදේශයේ  කලා කුසලතාවයන්ගෙන් අනූන ප්‍රවීණ මෙන්ම දක්ෂ ආධුනික නළු නිළි කැලක් මෙම නව නිර්මාණය සඳහා සම්බන්ධ  වූ අතර නළු නිළියන් 17 දෙනෙකු සහ  ගායන ශිල්ප ශිල්පීන් 15 දෙනෙකුද මෙම නව නිර්මාණය සඳහා දායක වූහ.

ඒ අනුව   නව නිර්මාණයක් ලෙස රඟ දැක්වූ ජොහනා නාඩගම් නාටකය සඳහා ප්‍රවීණ,සහ දක්ෂ මෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පරපුරුදු කලාකරුවන් රැසකගේ දායකත්වය ලැබී තිබුණි. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේ සංගීත ශාස්ත්‍රපති සිසිර ලියනවත්ත මහතායි. මෙරට ප්‍රවීණ මද්දල් වාදන ශිල්පියෙකු වූ නන්දන ගුණසිංහ මහතා මෙම නාඩගම් නාටකයේ මද්දල් වාදන ශිල්පියා ලෙස කටයුතු කල අතර.ඇඳුම් පැළඳුම් නිර්මාණ ශිල්පියා වුයේ චාමර අනුධත් මහතායි.  වේදිකා පරිපාලන ශිල්පියා ලෙස කටයුතු කලේ  මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ආචාර්යවරයා වන රුවන් දේශප්‍රිය මහතායි.
වර්තමාන සිංහබාහු වේදිකා නාට්‍යයේ  සිංහයාගේ චරිතයට පණ පොවන, වයඹ පළාත් සංස්කෘතික අධ්‍යක්ෂක ජගත් කුමාර මහතා මෙම නාටකය සඳහා රංග උපකරණ සහ ආභරණ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කලේය.

දශක ගණනාවක් , යුග ගණනාවක් මෙන්ම පරම්පරා කිහිපයක් රසවිඳි ජොහානාදාස් කතා වස්තුව ඇසුරින් සිදුකළ නව නිර්මාණය  මීගමුව පුරවරයට පමනක් නොව මුළු ශ්‍රී ලංකාවටම මා හැඟී සංස්කෘතිමය සහ සෞන්දර්යාත්මක කලා දායාදයක් වනු ඇති බව මෙය  නරඹන්නට පැමිණි සිටි කලාලැදි බොහෝ දෙනකුගේ අදහස වූහ.