දොන් බොස්කෝ තේ සහ ශිරාන් පියතුමා

0
127

jubilee_107මීගමුව දොන් බෝස්කෝ ආයතනයේ සිසුන් පිරිසක්  (09) වනදා මීගමුව රෝහලට ඇතුළත් කර තිබුණේ  ඔවුන් පානය කළ තේ වලට යම් විස ද්‍රව්‍යයක් එකතුවිම නිසා ඇතිවූ රෝගාතුරවීමකටය. මේ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණ අතර එහිදී තේ වලට සීනි වෙනුවට යූරියා පොහොර කලවම් වී ඇති බව වාර්තා වී තිබුණි.
එදින   දහවල් රෝහල්ගත කළ දරුවන් සවස් වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබූ අතර බරපතල තත්ත්වයක් උදානොවුණි. මේ පිළිබදව පසුවිපරමක යෙදුණ අප  දන්නා නිලධාරියෙකුගෙන් මේ පිළිබදව විමසා බැලුවෙමු.
සිදුවීමේ පසුබිම අපට විස්තර කළ ඔහු කියා සිටියේ දරුවන් පිරිසක් බොස්කෝ ආයතනයේ පියතුමෙකු හා එක්ව එම ආයතනයේ තිබූ කොහොඹ ගහක් කපමින් සිටි අවස්ථාවේදී  ඔවුන්ට තේ   සකස් කිරීමට  සීනි මදිවී ඇති බව කුස්සියෙන් දැනගන්නට ලැබුණ බවයි. ඉන් පසු මෙම මදිපාඩුව ලබාදීමට  සිසුවෙකුට පියතුමාගෙන් එම කාමරයේ යතුර රැගෙන ගොස් ඒවා තිබූ කාමරය ඇර සීනි අරගන්නට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී ඔහු අතින් මෙම වැරදීම සිදුවී ඇති බවත්ය.
කාලෙකින් පසු මීගමුව දොන් බොස්කෝ ආයතනය පිළිබදව ලියන්නට සිදුවූ පුවත යම් කණගාටුදායක එකක් වුවත් මෙම සිදුවීමෙන් බොස්කෝ ආයතනය හා අප අතර තිබූ පැරණි මිත්‍රත්වය  ගැන නැවත  මතක් විය.
ඒ  2005 සහ 2008 යන කාලයයි. එකල සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මීගමුවේ සුනාමි නිසා විපතට පත් ජනතාවට විශාල මෙහෙවරක් කළ  ආයතන අතර බොස්කෝ ආයතනය ද අමතක කළ නොහැක.
එමෙන්ම මීපුර පුවත්පත මුල්වී ආරම්භ කළ නගර සංවර්ධනය පිළිඳව සැකසූ අලුත් වැඩසටහනට බොස්කෝ ආයතනයේ ප්‍රධානී ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමා විශාල දායකත්වයක් ලබාදුන්නේය.
දොන් බොස්කෝ ආයතනයේ තේ ගැන ද අපට ඇත්තේ විශේෂ මතකයකි.
එකල පැවති රැස්වීම් මෙන්ම උත්සව වාර්තා කරන්නට යන අපට බොස්කෝ  ආයතනයේ  කුස්සියෙන් ලැබෙන්නේ උණු උණුවේ සෑදූ පොරණුවේ සැකසූ බනිස් හෝ මාලු පාන් වැනි දෑ වන අතර අප එහි ගිය විට තේ බොන්නේ ද ඉතාම කැමැත්තෙනි.
කුසලතා පුහුණු මධ්‍යස්ථානයක් බැවින් බොස්කෝ ආයතනයේ පිළිවෙල හා අලංකාරයද ඇති ස්ථානයකි. එමෙන්ම  කිතුණු පියතුමන්ලාගේ විණයානුකූල හැඩගැස්මෙන්ද එහි අලංකාරයට  විශේෂත්වයක් එක්වී ඇත.
අමාත්‍ය නිමල් ලාන්සා මහතා නගරාධිපතිවරයා ලෙස පත්වීමට පෙර ඔහුට ඉදිරිපත් කළ නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමට මෙන්ම පිළිගන්වන්නට ද ගරු ශිරාන් පියතුමා විශාල මැදිහත්වීමක් සිදුකළේය. එමෙන්ම සුනාමියෙන් අවතැන් වූ ජනයාට ස්ථීර පදිංචි ස්ථාන ලබාදෙන තෙක් ඔවුන් ජීවත්වූ තාවකාලික කදවුරේ පැවැත්වූ බොහෝ වැඩසටහන් වලදී ඔහු සහභාගී වූ අතර එම ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න වලදී පියතුමාගේ ද මැදිහත්විම  නිරන්තරයෙන් ලැබුණි.

ශිරාන් පියතුමා බොහෝ අවස්ථාවල අපව අමතා බොස්කෝ ආයතනයේ දරුවන්ගේ දස්කම් ගැන යමක් වාර්තා කරන්නට යැයි  ඇරයුම් කරයි. නැතිනම් ඔහුම පැමිණ බොස්කෝ දරුවන්ගේ ක්‍රීඩා ජයග්‍රහණ පිළිබදව විස්තර ගෙනවිත් දෙයි. මීගමුවේ සංවර්ධනය හා ඒ පිළිබදව යම් සාකච්ඡා මෙන්ම රැස්වීම් තිබූ බොහෝ තැන්වලදී ඔහුගේ දායකත්වයත් සහයෝගයත් නිතැතින්ම ලබාදුණි.
එකල දොන් බොස්කෝ ආයතනය හා අප අතර සම්බන්ධතාවය සෑදූ ප්‍රධාන පුරුක ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමා  බව දැනුදු  සිහිකරන්නේ  ඉතාමත් ගෞරවයෙනි.
මෙම සිදුවිම්  යම් ඉතිහාසයකට අයත් සිදුවීම් වුවත් ඒවා සුන්දර මතකයන් වේ.
ඔහු මීගමුවට බොහෝ සේ ආදරය කළ ඇලුම් කළ පියතුමෙක් බව අදටත් ගෞරවයෙන් සිහිපත් කරමු.