ධිවර කර්මාන්තයේ පාරිභාෂිත යෙදුම් කීපයක් !

0
511

මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැකියා වර්ග ඇත. එම රැකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම් යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම ද යොදා ගනී.

ඔරුව
ඔරුවෙහි කොටස් – ඔරු කඳ, වියල, කොල්ලෑව, පල්ල හා ඔරු මැස්ස, කුඹ ගහ, අවුලූම් ගල.
ඔරුව යොදා ගන්නා රැකියා – මඬේ ඉස්සන් ඇල්ලීම, යාන රැකියාව, (මුහුදේ බිලිබෑම) ඔරුව නවතා ගැනීම සඳහා භාවිතා කරන්නේ ඇවුලූම් ගලයි. මෙය බර ගලකි. ( මෙය තැනීමට කඵගල් යොදා ගැනේ.) ලී දෙකක් බැඳ දිග ලණුවක් යොදා සාදාගනී. ( ලී දෙක තන්ඩි ලෙසත්, ලණුව මන්ද ලෙස හෝ රැහැන ලෙස හඳුන්වයි. මුහුද ආශ‍්‍රිත රැකියාවේදී පාවිච්චි කරන ඔරුව ‘මුහුදු ඔරුව’ වේ. මෙය කලපුව සඳහා යොදා ගන්නා ඔරුවලට වඩා විශාල ය. මෙම ඔරුවේ දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු රැකියාවේ යෙදෙති.
බෝට්ටුව –
මෙම බෝට්ටු යොදාගැනීම කරන රැකියාව අනුව වෙනස් වන අතර ලොකු බෝට්ටු, පොඩි බෝට්ටු හා අද වන විට බහුදින ධීවර යාත‍්‍රා ලෙස නම් කරන බෝට්ටු ද වේ. ඒවා ට්‍රෝලර් නමින් හැඳින්වේ.
බෝට්ටුවේ කොටස් – පොඩි බෝට්ටුව නම් අවර හා ඇනියෙන් පමණක් සැකසීගත් බෝට්ටු කඳක් සහිත වන අතර ලොකු බෝට්ටුව බෝට්ටු බඳ, ඩෙක් එක, එන්ජිම් රූම් එක, සුක්කානම, පොප්ලරය වැනි අංග ඇතුළත් ය. මෙහි දිග අඩි 24, 28 පමණ වන අතර පළල අඩි 16 හා 18 අතර ප‍්‍රමාණයක් වේ.
ඩෙක් එක –
මෙය ඇනිය කොටස හඳුන්වන නමයි. මෙය මිනිස්සුන්ට හිඳීමට හැකිවන පරිදි යෙදුණ තට්ටුවකි. මෙයට යටින් එවැනිම තට්ටුවක් ඇත. උඩින් ඇති ඩෙක් ලෑල්ල ඉවත් කර බෝට්ටුව යටට බැසීමට හැකිවන පරිදි තට්ටුවක් ලෙස පිහිටා ඇත. මෙය ලෑලි වලින් සකසා ඇත. බෝට්ටු බඳ ද ලෑලි උපයෝගී කරගෙන සාදා ඇත.
එන්ජිම් රූම් එක –
මෙය ද යට තට්ටුවේ පිහිටා ඇත. මෙම එන්ජිම සවිකර ඇත්තේ එන්ජිම් රූම් එක නැමති කොටසෙහි ය.
සුක්කානම –
මෙය බෝට්ටුව හැසිරවීම සඳහා යොදා ගනී. මෙය පාලනය කරන්නේ ස්කිපර්
( බෝට්ටුවේ ප‍්‍රධානියා) ය. මෙම සුක්කානම අවර දෙසින් පිහිටා ඇත.
පොප්ලරය –
මෙය බෝට්ටු බඳ ඇතුළතින් එන යකඩ බම්බුවකට සම්බන්ධ වේ. එය සාප්ට් එක ලෙසින් හඳුන්වයි. මෙය හුළං මල ලෙස ද හඳුන්වයි.

පොඩි බෝට්ටු යොදාගත් රැකියා –
යාන රැකියාව, තෝර රැකියාව, ආලියේ
රැකියාව, දැල් එලීම වැනි මෙම රැකියාවන් එක්දින රැකියාවන් ය. මෙම රැකියා සඳහා උදේ ගොස් සවස එම හෝ දවල් ගොස් පසුදින උදෑසන නැවතත් පැමිණේ.

තෙප්පම – මෙය කොටන් හතරක් එකට සවිකර සාදා ගත් එකකි. මෙය දැල් එලීම සඳහා යොදා ගනී. බොහෝ විට මෙය රාත‍්‍රියෙහි ගොඩ මුහුද ආශ‍්‍රිතව යොදා ගැනේ. ඉර බැස්ස පසු මෙමගින් කරන රැකියාව සෙක්කල් යෑම නමින් හඳුන්වයි.
ඉඩිවර – මුහුදත් ගොඩබිමත් අතර ඇති දුර ප‍්‍රමාණ අනුමාන කිරීම හා සලකුණු බලා ගැනීම ඉඩිවර ගැනීම ලෙස හඳුන්වයි.
වඩදිය – මුහුදේ සිට ජලය ගලා එම.
බාදිය – ජලය ආපසු මුහුදට ගැලීම.
මංදිය – ජලය දෙපැත්තට නොගලා නතරවීම.
පුරණ වාඩුව – වඩදිය බාදිය මාරුවන කාලසීමාව තුළ ජලය අඩුවීම. මෙම සීමාව දින 15 කට වරක් සිදුවේ.
හරාව –
මෙය උතුරුකන් හුළඟ ලෙස ද හැඳින්වේ. අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වේ.
වාරකන් –
මුහුද දෙසින් ගොඩබිම දෙසට හුළං හමා ඒම මැයි මාසය අගභාගයේදී ඇති වේ. මේ හුළං වාරකන් හුළං වන අතර මුහුද ද රඵ බවින් වැඩි වේ. මෙය වාරකන් වේ.
සුළි සුළඟ-
මෙය බෙංගාල බොක්කේ ඇතිවන තදබල වායු පීඩනය නිසා තදින් සුළං හමා එම වේ. මෙය එක් දිශාවකින් නොව විවිධ දිශාවන්ට හමා එයි. මෙය සුළි සුළං වේ.
කෝඩය –
වාරකන් කාලයේදී හවස් භාගයේදී මුහුද දෙසින් හමා එන තද සුළඟ කෝඩය ලෙස හඳුන්වයි.
වලාව – තද සුළඟ සමඟ එන වැස්ස මේ නමින් හැඳින්වේ.
පුවාරුව – එකවර ඉර මුවාවී නැගෙන වැහි වලාකුඵ මේ නමින් හැඳින්වේ.
මුහුදේ උතුරු දිශාව සාය නමින් හැඳින්වේ. මුහුදේ දකුණු දිශාව හුළං බහ නමින් හැඳින්වේ. මුහුදේ කෙළින් දිශාව වාඩය නම් වේ.
උතුරු දියකඩ – දකුණු දෙස සිට උතුරු දෙසට ඇදෙන දියකඩ.
දකුණු දියකඩ ( හුළං බහ දියකඩ ) – උතුරු දෙස සිට දකුණු දෙසට ඇදෙන දියකඩ.
චන්ඩ රළ – වාරකන් මාරියාව (රළ – උස්ව නැගීවිත් නැම්මක් ගෙන ගොඩට ගැසීම හා විශාල ශබ්දයක් නිකුත් කරමින් නැගෙන රළ.
හරස් මාරියාව – මෙය වාරකන් කාල සීමාව තුළදී ඇතිව හරස් අතට නැගෙන රළ පහරකි. මෙම රළට හසුවන යාත‍්‍රා පවා පෙරළී ඇත.
චන්ඩ නොවන රළ – මෙය වලාලය ලෙස හැඳින්වේ.
තරු පන්ති – බොල පෑයිම, නැව, නැංගුරම වැනි තරු රටා අහසේ ඇති වේ. ජපමාලයක් ලෙස අහසේ පායයි. මෙය මැයි මස 13 වන දින අහසේ නොපෙනී යයි. එය බොළ බිංකෑම ලෙස හඳුන්වයි. එය යළිත් ජුනි 13 වන දින අහසේ පායයි. එය බොල පෑයීම ලෙසින් හඳුන්වයි.
පහන් තරුව – පාන්දරින් අහසේ දිස්වන තරුවකි.
ඉරබටු තරුව – සවස් කාලයේ බැසයන තරුවකි.
මාදැල් රැකියාව-
මෙය කණ්ඩායම් රැකියාවක්. මෙම රැකියාව සඳහා ශ්‍රමිකයන් 40 දෙනෙකු පමණකගේ සහය අවශ්‍ය වේ. ප‍්‍රධානියා මන්ඩඩි රාළ වේ. ඒ හැර දැල වටකරන වල්ලමේ ඇති තන්ඩු වලට යොදා ගැනෙන ශ‍්‍රමිකයන් හා දැල බස්වන ශ‍්‍රමිකයන් සමඟ වල්ලමේ ගමන් කරන ශ‍්‍රමිකයන් දහතුන් දෙනෙක් සිටී. වල්ලමේ මැද මැද වාරිය වේ. තන්ඩු වර්ග හයකි.
1. ඇනිය පැත්ත තලත් තන්ඩුව 2. මාර තන්ඩුව 3. කඩ තන්ඩුව 4. මාර පහළ තන්ඩුව 5. පහළ කඩ තන්ඩුව  6. පහළ තන්ඩුව.
මේ තන්ඩු නමින් හඳුන්වන්නේ වල්ලම පැදවීමට යොදා ගන්නා ස්ථාන වේ. පැදවීමට හැරවීමට මේ තන්ඩු යොදාගැනේ. අවරෙන් දැල වටකරන්නේ මන්ඩඩියා විසිනි. වල්ලමේ මැද දැළ බස්වන්නට දෙදෙනෙකු සිටී. ඇනියේ දැල් බැස්වීමට දෙන්නයි. උඩු මන්ද ගැනීම එක්කෙනයි, අවරේ දැල් බැස්වීම දෙන්නයි. දැල වට කරන ස්ථානය පාඩුව නමින් හැඳින්වේ. මන්ඩඩියා පාවිච්චි කරන හබල අවරේ හබල වේ.

මාදැල කොටස් කිහිපයකි සාල දැල, හාල් මැස්සන් දැල, අඩස්සි දැල,
කෝෂම මෙය ලණු දැල් උපයෝගී කරගත් තට්ටු දැලකි. සලෝ මඩිය – මෙය නූල් දැලකි. තූරි මඩිය – මෙය දැල් පීස් යොදා ගෙන සකස් කර ගති.

වල්ලමට අමතරව ඔරු දෙකක් ද යොදා ගැනේ.
1. මඩි ඔරුව –
එය කඹ ගෙන යෑම සඳහා යොදා ගැනේ.
2. ගොඩ තිබෙන ඔරුව – එය වතුර හා තේ ගෙන යෑම සඳහා යොදාගනී. මාදැල උපරිමය දියඹ වට කරන අතර කඹ 70 ක් පමණ යොදා ගනී. මාදැල් රැුකියාව කිරීම සඳහා අවසරයක් ද ලබාගත යුතුවේ. මාදැල් රැුකියාව පංගු රැුකියාව හා කුලී රැුකියාව ලෙස කොටස් දෙකකට සිදුවේ. මාදැල වටකිරීමේදී දියකඩ බැලීම විශේෂම කාර්යය වේ. එය මන්ඩඩි රාලගේ කාර්යයකි.
මෙම රැුකියාව සඳහා පෙර කාලයේ පාරු යොදාගත් අතර පසුකාලයේදී වල්ලම යොදා ගැනිණ. අදවන විට මෝටර් බෝට්ටු යොදාගෙන දැල් වටකරන අතර ගොඩට ඇදීමේදී මිනිස් ශ‍්‍රමය සමගම ට‍්‍රැක්ටර් ද භාවිතා කරයි. පෙර කාලයේ පාසැල් යෑම අවසන් කළ තරුණ වියේ සෑම කෙනෙක්ම
මුදලාලිලා හා මාදැල් රැකියාවට පිටත් විය. එහෙත් අද ඉන්නා තරුණ පරපුර මෙම රැුකියා වලට උනන්දු නොවන අතර මෙහි තේරුමවත් රැුකියාවවත් නොදනී.

ජීවනී ප්‍රනාන්දු