නයිනමඩමේ පදිංචි කාන්තාවක් ඩෙංගු උණ වැළදී මිය යයි

0
19

මැයි  20 වනදා  නයිනමඩම ප‍්‍රදේශයේ කාන්තාවක්  උණ වැළදීමෙන් අසාධ්‍යව මීගමුව රෝහලේදී මිය ගියේය. මෙම මරණය   ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ බවට ද  සැකයක් මතුවී ඇත.
මියගොස් ඇත්තේ  වෙන්නප්පුව , නයිනමඩම හණතොටුපළ ප‍්‍රදේශයේ  පදිංචිව හුන් 31 හැවිරිදි ගයාත‍්‍රී මධුලිකා පෙරේරා නම් තිදරු මවකි. ඇගේ 13 හැවිරිදි වැඩිමහල් පුතා ද 08 හැවිරිදි  දියණියද මේ වන විටත් මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඩෙංගු උණ සදහා ප‍්‍රතිකාර ලබමින් සිටියි.

මැයි 15 වනදා ගයාත‍්‍රී මධුලිකා සහ දරුවන් දෙදෙනාට උණ වැළදී බොරලැස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර  ගෙන ඇත.  එම ප‍්‍රතිකාර වලින් පසු දින 3ක් ගිය පසු මෙම තිදෙනාම නැවත මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. මෙම උණ වැළඳීමෙන්   ඇයගේ  අක්මාව ඇතුළු ශරීරයේ අභ්‍යන්තතර ඉන්ද්‍රීයයන්ට හානි සිදුව තිබී ඇතිබව රෝහල් වාර්තා සදහන් කරයි.  දැඩි සත්කාර ඒකකය තුළ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගියදා මිය ගියේය. මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය  මගින් මේ පිළිබඳව විවෘත  තීන්දුවක්  ලබාදී තිබේ. මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
1981දී ඉපදී ඇති  ගයාත‍්‍රී මධුලිකා පෙරේරා අධ්‍යාපනය ලබා ඇත්තේ බොරලැස්ස මහා විද්‍යාලයෙනි.