නාගරික ඉංජිනේරුවරයාගේ කැබ් රථය, හිටපු පුරපතිගේ පරිහරණයටද?

0
293

අපගේ වෙබ් අඩවියෙන් පළ කරන සමහර ප්‍රවෘත්ති මගින් අප නිතරම මීගමු ජනතාවට අවධාරණය කරමින් ප්‍රකාශ කළේ මීගමුව මහා නගර සභාව නාමිකව මතුපිටින් කොමසාරිස් පාලනයකට නතු වුවත් එහි තවමත් පවතින්නේ මහා නගර සභාවේ හිටපු දේශපාලඥයන්ගේ අත්තනෝමතික අවිනීත සහ මජර පාලනයක් බවයි. එම කාරණය සත්‍ය බව පසක් කරමින් පසුගිය 19 වන දින පෙරවරුවේ දී සිදුවී ඇති මෙම සිදුවීමෙන් ද එය කදිමට පැහැදිලිවේ.

එනම් අංක 251-7993 දරන මීගමු නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයාට රාජකාරී සඳහා ලබා දී ඇති රතු පැහැති කැබ් රථය හිටපු නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට නවතා එම නිවසේ සිටි පිරිසක් රැගෙන පෞද්ගලික ගමනක් යාම සඳහා පිටත් වූ ආකාරය දැකගත හැකි විය.

මෙම සිද්ධියෙන්ද අපට මනාව වැටහී යන්නේ මේ වන විට නගර සභා පාලනය කරවනවා යැයි කියන බලය ඇති කොමසාරිස් පාලනය මීගමු නගර සභාව තුළ ඉතා අන්ත අසරණ ලෙස අකර්මන්‍ය වී ඇති ආකාරයයි.

එලෙසම ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ අයථා ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කරන්නට මීගමුව මහ නගර සභාවේ කොමසාරිස් පාලනය අසමත් වී ඇති ආකාරය මෙම සිදුවීමෙන් මනාව වැටහී යනු ඇත.