නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව ඉඩම් වෙන්දේසිකරුවන්ට බය ද?

0
109

අඩප්පර වත්ත යනු කටුනේරිය ප්‍රදේශයේ ඇති විශාල පොල් ඉඩමක් වන අතර මේ වන විට මෙම ඉඩම
වෙන්දේසිකරුවන් විසින් කොටස් කර අළෙවි කරනු ලබයි. එම  කොටස් කර විකිණීම  සිදුකරනු ලබන්නේ  ‘සුරංග දේපළ වෙළදාම් සමාගම තඹරවිල  සහ ෙබලින්කෝ ” නම් ව්‍යාපාරයන් විසිනි.
මෙම ඉඩම් වෙන්දේසිකරුවන් විසින් සිදුකර ඇති යම් වැරැද්දක් නිසා ඒ අවට ඉඩම්වල පදිංචි පවුල් 35කගේ නිවෙස්  ජලයෙන් යටවි මේ වනවිට  පානීය ජල පුශ්නයකට හා  ඩෙංගු උවදුරේ අවධානමකට ද මුහුණපෑමට සිදුවී ඇත.

හේතුව නම් මෙම ඉඩම්  වෙන්දේසිකරුවන් විසින් ඉඩම් කොටසක් සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවූ ආරවුලක් හේතුකොට ගෙන එම ඉඩම් මැදින් ස්වභාවිකව ගලාගිය ඇලක් වසා දැමීමයි.  මෙම ඇල වැසීම නිසා වැසි ජලය ස්වභාවිකව ගලායෑම වෙනස් වී අවට ඉඩම් වල ජලය රැදීමේ තත්ත්වයක් උද්ගත විය.
එහි ප්‍රතිපළයක් ලෙස පසුගිය වැසිසමයේ සිට ඒ අවට ඉඩම්වල පදිංචි පුද්ගලයින්ට විවිධ  ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවිය.
දැනට සති දෙකක් තිස්සේ  ඔවුන්ගේ  ඉඩම් වල රැදී ඇති ජලය ගලා  නොබසින තත්ත්වයක් මතුවී ඇත.
ඒ නිසා තම ඉඩමේ ඇති ලිං ජලය බීමට ගැනීමට ද  නොහැකි තත්ත්වයක පවතින බව ඔවුන් පවසති.
එමෙන්ම ඉඩම්වල රැදී ඇති පල් වතුරේ  මැසි මුදුරැවන් බෝවී මේ  තත්ත්වයක් ද මතුවී ඇත.   මේ දිනවල පවතින ඩෙංගු උණ ව්‍යාපතිය නිසා එම පදිංචිකරුවන් බියෙන් පසුවන්නේ තමන්ගේ ඉඩම් වල රැදී ඇති ජලයේ ඩෙංගු මදුරුවන් බෝ වුවහොත් ඊළගට ඔවුන්ට මුහුණ දෙන්නට වන අවධානම ගැනයි.
එම ඉඩම්වල පදිංචිකරුවන් පවසන්නේ මෙම තත්ත්වය කලින්ම තේරුම්ගෙන මේ බව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාපතිවරයාට 2012 අගෝස්තු මාසයේදී ලිඛිතව දැනුම් දී මෙම ප්‍රශ්නයට මැදිහත් වන ලෙස ඉල්ලූ බවයි.

එමෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්වරියට  දැනට සතියකට පෙර ලිඛිතව ද දැනුම් දී ඇති තිබේ. මේ පිළිබදව අප විසින් නාත්තන්ඩිය  ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය ප්‍රකාශ කර සිටියේ මෙම ඉඩම් මේ වන විට පුද්ගලික ඉඩම් බැවින් තමන් එම ස්ථානයට ගොස් පරීක්ෂාකරන තුරු කිසිවත් ප්‍රකාශ කළ නොහැකි බවයි. එම ස්ථානයට ගොස් වාර්තාවක් සකස් කර ප්‍රාදේශීය සභාවට  බාරදීමට තමා බලාපොරොත්තු වන අතර ඒ සදහා කටයුතු කළ යුත්තේ  නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව බවත්  ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අඩප්පර වත්තේ පදිංචි ජනතාව මුහුණදෙන මෙම ගැටළුව ටමේ වනතෙක්  අදාළ දේශපාලන බලධාරීන් කිසිවෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙම ගැටළුවෙන් පීඩාවිදින ජනතාව පවසති.
වතුර ගැලීමේ තත්ත්වය නිසා  අවට පදිංචිව සිටින පවුල් 35ක පමණ බරපතල ලෙස අපහසුවට පත්වී ඇති අතර ඔවුන්ගේ නිවාස ආසන්නයටම ජලය රැදී ඇති බව එම ප්‍රදේශවාසීන් වාර්තා කරති. එමෙන්ම තවත් පවුල් 12කට පමණ  තම ඉඩම් වල ආසන්නයටම වතුර දමා බීමට ජලය පවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද ඔවුන් පවසති.
මාරවිල -කටුනේරිය යන ප්‍රදේශ වල විශාල වශයෙන් පොල් ඉඩම් පසුගිය කාලයේ කොටස් කර වෙන්දේසි කිරීම සිදුකරගෙන යන  අතර එම ව්‍යාපාර කරගෙන යන්නන් විසින් නිසි පරිදි ඒවාට අදාළ පාරසරික නිති රීති අනුගමනය නොකිරිම නිසා ඇති වන පාරසරික ප්‍රශ්න රාශියකි.
මේවාට  මැදිහත් වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලූ විට ඔවුන් ප්‍රාදේශීය සභාවට දැනුම්  දෙන ලෙස පවසයි. ප්‍රාදේශීය සභාවට දැනුම් දුන් විට ඔවුන් පොරොන්දු වලින් පමණක් මිනිසුන්ගේ සිත් සනසා නිහඩව සිටියි. එයට හේතුව මේ සියලුම ඉඩම්කොටස් කරන ව්‍යාපාරිකයන් හා බලයේ සිටින දේශපාලන බලධාරීන් අතර ඇති අන්තර් සම්බන්ධයයි. එසේ නොමැතිනම් මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් ඇති කරවන විනාශකාරී පරිසර ගැටළුවක් විසදීමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව මේ  තරම් කල් ගන්නේ ඇයි ?

වැසි ජලය රැදී ඇති ඉඩම් ප්‍රදේශයක්