නාඳුනන පිරිසක් වව්නියා පුරවැසි කමිටුවේ සභාපතිට පහරදෙයි?

0
21

වව්නියාව ”පුරවැසි කමිටුවේ”  සභාපති ජී. තෙවරාජා මහතාට නාදුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් අද (ඔක්තෝම්බර් 08) මහ මඟදී පහරදී ඇතැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අයිතියට ප්‍රකාශ කළේය.
නැදුන්කර්නි පොලිස් ස්ථානය හා හමුදා කඳවුර අතර මාර්ගයේදි මෙම පහරදිම සිදුවී ඇත.

දැනට බූස්ස රැඳවුම් කඳවුරේ අත්අඩංගුවේ පසුවන ජෙයකුමාරි බාලේන්ද්‍රන්ව නිදහස් කිරිම සඳහා බලකරමින් මේ මස 10 වෙනිදා වව්නියාවේදි පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිළිබඳව පැවැති සාකච්ඡවකින් අනතුරුව සිය නිවෙස බලා ගමන්කරමින් සිටියදි අද පස්වරු 5.30 ත් 6.00ත් අතර කාලය තුළදි යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු මෙම පහරදීම සිදුකර ඇත. 

රැස්වීම නිමවී වව්නියාවේ සිට බස් රථයකින් පිටවී ගොස් ඇති තෙවරාජා මහතා නැදුන්කර්නි ප්‍රදේශයේදි බසයෙන් බැස තම යතුරුපැදියෙන් නිවෙස බලා ගමන්කරමින් සිටිය දී තමා පසුපසින් පැමිණි යතුරුපැදි දෙකකින් එක් යතුරුපැදියක් ඉදිරියට පැමිණි තමන්ගේ මාර්ගය අවහිර කර ඇති අතර යකඩ පොලූ දෙකක් භාවිතා කරමින් පුද්ගලයින් දෙනෙකු තෙවරාජා මහතා හට පහර දී ඇත.

ඵහර දෙන අවස්ථාවේදි තෙවරාජා මහතා හිස් ආවරණය(හෙල්මට්) පැළඳ සිටි බැවින් හිසට අනතුරුක්වී නොමැති අතර එහෙත් හිස් ආවරණයට තුවාල සිදුවී ඇති බව ප්‍රකාශ කළ බ්‍රිටෝ මහතා මෙම පහරදීම සිදුවන්නේ නැදුන්කර්නි පොලීසිය සහ හමුදා කඳවුර අතරදී යැයි සඳහන් කරයි.

“උඹලා ජෙයකුමාරි වෙනුවෙන් විරෝධතාවක් සංවිධානය කරන්න යනවා. ඒක නැවැත්තුවේ නැත්නම් අපි උඹව මරණවා.” යනුවෙන් පහරදුන් පුද්ගලයින් තෙවරාජා මහතාට තර්ජනය කර ඇත. පහරකෑමට ලක්වු තෙවරාජා මහතා, ප්‍රථිකාර ලබාගැනිම සඳහා නැදුන්කර්ණි රෝහලටත් පසුව වව්නියා රෝහලටත් මාරුකර යවා ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

 

ඡායාරූප -srilankabrief
-MMP