‘නාඳුනන හේවායා’ ගේ අවසන් සමුගැන්ම

0
309
126487257 1827400687410606 6456703873436980975 n

· ‘නාඳුනන හේවායා’ ගේ අවසන් සමුගැන්ම…‘නාඳුනන හේවායා ගේ සිහිවටනය’ යන්න අප බොහෝ දෙනකුට එතරම් හුරුපුරුදු තැනක් තබා නමක් වත් නොවේ. එහෙත්, කොළඹ නගරයට උතුරින් පිහිටි ‘උස්වැටකෙයියාව’ පරණ අම්බලම මුහුදු වෙරළේ එනමින් හඳුන්වන ස්මාරකයක් තිබේ.

බොහෝ ස්මාරක තැනීමට යොදා ගනු ලබන හුනුගල් පාෂාණයෙන් නිම වන ලද මෙහි සිංහල බසින් ‘නාඳුනන හේවායා සිහිවීම පිණිසයි’ යන්න කොටා ඇති අතර එම ස්මාරකයේ ඉංග්‍රීසි බසින් In Kind of Remembrance, JR Holl, Canadiam Pilot Officer, who died on 1942, Plan No. DNV 439 (1942 වසරේ මියගිය ගුවන් යානා අංක DNV 439 හි කැනේඩියානු නියමු නිලධාරී ජේ. ආර්. හෝල් සිහිවීම පිණිසයි) යන්න කොටා ඇත.

ඒ වදන් වලින් එම ස්මාරකය තැනවීමට මුල් වූ නිමිත්ත එලෙස තරමක් විස්තරාත්මකව දක්වා තිබේ. මීට දශක හතක පමණ සිට දශක හතර පහක් දක්වාම සෑම වසරකම අප්‍රියෙල් මස 05 දා සහ පාස්කු ඉරිදා ප්‍රදේශ වාසීන් ගේ ජන අවධානයට ලක් වූ මෙම ස්මාරකය අද වන විට මුළුමනින්ම පාහේ ජන අවධානයෙන් බැහැර වී ඇත.

එහෙත්, එහි විශේෂත්වය වනුයේ ඉඳහිට හෝ මෙම නාඳුනන හේවායාගේ සිහිවටනය නැරඹීමට තනිව, පවුල් පිටින් හෝ කණ්ඩායම් වශයෙන් පැමිණෙන සුදු ජාතිකයන් දක්නට ලැබීමය.

දෙවන ලෝක යුද්ධයේ ශ්‍රී ලංකාවට බලපෑ බිහිසුණුම සමයේ දිනයෙක එනම් 1942 අප්‍රියෙල් 05 දාට යෙදුණු පාස්කු ඉරිදාවේ ලංකාවට එල්ල වූ ජපන් බෝම්බ ප්‍රහාරයේ ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පිණිස කැප වී ක්‍රියා කළ ජේ. ආර්. හෝල් නම් කැනේඩියානු තරුණ ගුවන් නැවියාගේ දේහය මිහිදන් කොට ඇති ස්ථානයේ පසුව මෙම නාඳුනන හේවායාගේ සිහිවටනය ඉදිකොට තිබේ.

126899350 1827400657410609 3098590278111711116 n

ජපනුන් ලංකාවට හෙළූ කුරිරු බෝම්බ ප්‍රහාරය..

එහෙත්, 1942 අප්‍රියෙල් 05 දා අප රටට එල්ල කළ ජපන් නාවික ගුවන් ප්‍රහාරක බල ඇනියේ නායක මිට්ෂුඕ පුෂිඩා ගේ ප්‍රධානත්වයෙන් යුතු ගුවන් යානා බලඇනියේ ප්‍රහාරයකට ලක්ව අපගේ මව් බිම උදෙසා තම දිවි පිදූ එම කැනේඩියානු යුද විරුවා ගේ ඛේදවාචකයේ නවතම පරිච්ජේදය දැන් ඇරඹී තිබේ. එනම් පුරා දශක හතක් නිරුපද්‍රිතව තිබූ එම වටිනා ස්මාරකය මෙම නිරිතදිග මෝසම් සුළං සමය තුළ මුළුමනින්ම මුහුදු බත් වීමට ඇති පහසු හැකියාවය.

එහෙත් මෙම නිහඬ ඛේදවාචකය දෙස ඇස් කන් යොමු කරන කිසිවකුත් අද නැත.ජපනුන් විසින් කවර මොහොතක හෝ අහසින් විත් කොළඹට බෝම්බ හෙලතැයි යන ආරංචිය 1942 වසරේ මුල භාගයේ සිට පැතිර යත්ම අගනුවර ප්‍රදේශය භීතියෙන් ඇළලී ගියේය. අගනුවර ආශ්‍රිතව පදිංචි බොහෝ දෙනෙක් තම ගේ දොර ඉඩකඩම් ආදී සියල්ල අතහැර පිට පළාත්වල පදිංචියට පවා ගියහ.

126429548 1827409040743104 7647999028836083944 n
125857746 1827408370743171 3094992978137812999 n

එහෙත් බ්‍රිතාන්‍යය මුල් කොට ගත් මිත්‍ර පාර්ශ්වික යුද සේනා කොයි මොහොතක හෝ එල්ල වන ඒ ගුවන් බෝම්බ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු පිණිස තම ගුවන් යානා සීරුවෙන් තබා ගෙන සිටියහ. බොහෝ දෙනකු අපේක්‍ෂා කළ පරිදි මිට්ෂුඕ පුෂීඩා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජපන් ගුවන් ප්‍රහාරක බලඇනිය අගනුවරට කඩා වැදුණේ 1942 අප්‍රියෙල් පස්වන දා පෙරවරුවේය. එහි දී ඔවුන් විසින් අහසින් හෙළන ලද බෝම්බ අගනුවර හා ඒ අවට ස්ථාන කිහිපයකට සේම අගනුවරින් උතුරු මුහුදු තීරයේ ස්ථාන කිහිපයකට ද පතිත විය.

මෙම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වඩාත් ඛේදනීය සිදු වීමක් වූයේ අංගොඩ මානසික රෝහල මතට වැටුණු බෝම්බයකින් එහි නේවාසිකව සිටි මානසික රෝගීන් පනහක් පමණ ජීවිතක්‍ෂයට පත් වීමය.මීට අමතරව කඳාන නෑදුරුපිටිය සහ පමුණුගම නුගපේ අතර මුතුරාජවෙල වෙල්එළිය මැදට ද එලෙස ද බෝම්බයක් වැටුණු අතර එම ස්ථානය අද දක්වාම බෝම්බ පිට්ටනිය ලෙස හැඳින්වෙයි.

මෑතක එම ස්ථානයේ කතෝලික දෙව්මැදුරක් ඉදිවී ඇත. ඊට මඳක් නොදුරින් පිහිටි කඳානේ නාගොඩට ද බෝම්බයක් වැටුණු අතර එම ස්ථානය අද පවා බෝම්බ හන්දිය යනුවෙන් හැඳින්වෙයි. අහසේ සිදු වූ මෙම සටනේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සතු sword fish ගුවන් යානා හයක් විනාශ වූ බව පැවසේ.

125896567 1827402167410458 6775356178913767113 n
125312040 1827408200743188 8787486364985203621 n

බ්‍රැන්ඩි උගුරක් බී සදහටම දෙනෙත් පියා ගත්තේය..

-කෙසේ හෝ මෙම ජපන් බෝම්බ ප්‍රහාරකයන් ලුහුබැඳ ගිය කැනේඩියානු ගුවන් නැවියා සහිත යානය ජපන් බෝම්බ ප්‍රහාරයකට ලක් වන ලදුව එය අබලන්ව උස්වැටකෙයියාව පරණ අම්බලම මුහුදු වෙරළ ආසන්නයට කඩා වැටිණ.

ඉන් තරුණ කැනේඩියානු ගුවන් නියමුවා බරපතල ලෙස තුවාල ලද අතර තම නිවෙස් වල සිට එම බිහිසුණු දර්ශනය සියැසින් දැක ගත් ජුවාම් නානායක්කාර, පී. ඒ. පෙරේරා, පී.එච්. රුද්‍රිගු යන ගැමියෝ හනික එම ස්ථානයට දිව ගියහ. එහෙත්, ඒ වන විටත් එහි සිටි ගුවන් නියමුවා දැඩි අසාධ්‍ය තත්වයකින් පසු වූ අතර එම ගැමියන් විසින් අසීරුවෙන් ඔහු ගුවන් යානයෙන් පිටතට ගෙන පොවන ලද ජලය පානය කිරීමෙන් පසු ඔහු ඒ මොහොතේ බ්‍රැන්ඩි ස්වල්පයක් ඉල්ලා සිටි බව ප්‍රදේශයේ පැරණි ගැමියෝ කියති. මෙසේ එම අනතුර සිදු වූ ස්ථානයට දිව ගිය ගැමියන් අතුරින් ජුවාම් නානායක්කාර ඒ වන විට හසනලී නම් සමාගමක වාප්පු ලිපිකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඉංග්‍රීසි, දෙමළ, මලයාලම් ආදී භාෂා කිහිපයක් ද දැන සිටියේය. එනිසා ඔහුගේ නිවසේ විදේශීය මත්පැන් සංචිතයක් ද තිබිණ.

126390348 1827402087410466 8775506970557890823 n
125861540 1827407080743300 7205964030735940784 n

ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ සුදු ජාතික පියතුමා ඇතුළු පිරිස අනතුරට පත් ගුවන් නැවියා රෝහල් ගත කිරීමට සැරසෙන අතරේ ජුවාම් හනික තම නිවසට ගොස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙන ආවේය. එහෙත් ඉන් ස්වල්පයක් තොල ගා සෙමින් තම දෙනත පියාගත් තරුණ ගුවන් නැවියා යළි දෙනෙත් විවර කළේ නැත. පසුව අප රටින් සැතපුම් දහස් ගණනක් දුර සිට පැමිණ අප මව්බිම රැක දීමට දැරූ උත්සාහයේදී ජීවිතය පුදන්නට වූ මෙම තරුණ ගුවන් නියමුවා ගේ දේහය සුදුරෙදි වලින් ඔතා ප්‍රදේශවාසීන් ගේ උපහාර සහ සෝසුම් මැද එම යානය අනතුරට පත් වූ ස්ථානයේම මිහිදන් කිරීමට උස්වැටකෙයියාව ගම්වාසීහු මානුෂීය වූහ.

පසුව මෙම සිදුවීම ජුවාම් නානායක්කාරයන් ගේ සිතට කොතරම් සංවේදී වීද යත් හෙතෙම තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉහත සඳහන් සමරු සටහන ද සහිතව එම ස්මාරකය ඉදිකොට තිබේ. මෙම සමරු සටහනේ ජයග්‍රහණය පිළිබඳව හැඟවෙන ඉංග්‍රීසි ‘වී’ අක්‍ෂරයට යටින් නාඳුනන හේවායා යනුවෙන් සඳහන් කොට ඉංග්‍රීසි බසින් ඔහු පිළිබඳව වැඩි විස්තර සඳහන් කර තිබීම එක්තරා අරුමයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් අපට සිතීමට හැක්කේ ඔහු එම ස්මාරකය තනවන කාලයේ එම ගුවන් නැවියාගේ අනන්‍යතාව පවා හෙළිව නොතිබූ බවකි.

පසුව එය හෙළිකර ගත් විගස ඔහු පිළිබඳ විස්තර ද ඉංග්‍රීසි බසින් එම ස්මාරකයේ කොටවන්නට ඇත.කෙසේ හෝ ඉන්පසුව එම මියගිය ගුවන් නියමුවා ගේ මාපියන් ඇතුළු පවුලේ ඥාතින් මෙම ගුවන් අනතුර පිළිබඳව අසා දැන ශ්‍රී ලංකාවට පැමිණ එම ස්මාරකය දැක එය ඉදිකිරීමට පුරෝගාමී වූ කෘතවේදී ශ්‍රී ලංකිකයාට තුති පැසසුම් සමඟ තුටු පඬුරු ද ප්‍රදානය කොට තිබේ. එමෙන්ම ඔහු ද එම කෘතවේදීත්වය ද තම මනැසේ ධාරණය කර ගනිමින් සෑම වසරකම අප්‍රියෙල් 05 දින එම ස්මාරකය අවට ජීවත් වන දිළිඳු පවුල් සඳහා ආහාර ප්‍රදානයක් ද සිදුකොට ඇත.

එමෙන්ම එම ගුවන් නියමුවාගේ ඥාතිමිත්‍රාදීන් මෙම ස්මාරකය ගැන දැන පරම්පරා දෙක තුනක් දක්වා ශ්‍රී ලංකාවට පැමිණ එම ස්මාරකය ඉදිරියේ තම මියගිය රණවිරු ඥාතියාට උපහාර පිදීමේ අරුමයක් නැත. ඒ අතර මෙම ස්මාරකය වෙනුවෙන් මහත් කැපවීමක් කළ ශ්‍රී ලාංකිකයා වන ජුවාම් නානායක්කාර මහතා ද 1990 වසරේ මෙලොවින් සදහටම සමුගෙන තිබේ.

126507710 1827408794076462 6233778394742359630 n

ජූලි මාසයේ දී මුළුමනින්ම මුහුදට බිලි.

උස්වැටකෙයියාව ප්‍රදේශවාසී ගැමියන් පවසන අන්දමට අතීතයේ මෙම නාඳුනන හේවායා ගේ ස්මාරකය තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතළිහක් දුරිනි. එහෙත්, වරින් වර සිදුවන වෙරළ ඛාදනය නිසා කෙමෙන් මුහුදට සමීප වූ එය අද මුහුදු රැලි සීමාව දක්වා ම ළංවී තිබේ.

විශේෂයෙන් 2014 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද පෝට්සිටි හෙවත් වරාය නගරය නිසා මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදනය අතිශය දරුණු තත්වයකට පත්ව ඇති අතර මෙම නාඳුනන හේවායා ගේ සිහිවටනය අවසානය කරා ලගාවෙමින් ඇත.ඉහත සඳහන් ගුවන් අනතුර සහ ගුවන් නියමුවා ගේ අකල් මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන කතා ප්‍රවෘත්තීන් තුළ යම් යම් විෂමතා පැවැති අතර ඒ සම්බන්ධ වඩාත් විශ්වසනීය පොදු ආකෘතියක් ඔස්සේ අපි එම වෘත්තාන්තය ඔබ වෙත ගෙන ආවෙමු.

කොළඹ පෝට්සිටි හෙවත් වරාය නගරයේ පාදම සහිත පවුර නිසි ශක්‍යතා අධ්‍යයනයන් ගෙන් සහ නිසි ප්‍රමීතීන් ගෙන් තොරව ඉදිකිරීම සහ ඒ සඳහා ඉහත සඳහන් හිතුවක්කාර ස්වරූපයෙන්ම මහාද්වීපික තටකය නම් වන නොගැඹුරු මුහුදෙන් වැලි කියුබ් ලක්ෂ තුන්දහසක් පමණ ඉවත් කර ගැනීම මුල්කොට ජල තලයේ පරිමාව පුළුල් වීම මත සාගර ප්‍රවාහයන් ගේ ක්‍රියාත්මක භාවය වෙනස්වීම වෙරළ ඛාදනය මෙතරම් දරුණු වීමට බලපා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

මහාචාර්ය ජිනදාස කටුපොත ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම භූ විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් සහ වෙරළාසන්න ඉදිකිරීම් ඉංජිනේරුවන් මුල සිටම මේ පිළිබඳව අනතුරු අඟවා තිබිණ. එමෙන්ම චීන – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතියක් වශයෙන් අරඹන ලද පෝට්සිටි වරාය නගරය සඳහා යොදවන ලද කෝටි ප්‍රකෝටි ගණනක මුදල් ආයෝජනය පවා නිවැරදි ලෙස ගණන් හිලව් බැලීමට නොහැකි තත්වයකට පත් වී තිබේ.

මෙවන් පසුබිමක මෙම දරුණු වෙරළ ඛාදනය දෙවන ලෝක යුද සමයේ අපගේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ ඒ කැනේඩියානු යුද විරුවා ශ්‍රී ලංකාව වැනි නොගැළපෙන දේශයකින් සදහටම වෙන් කොට තැබීමට සොබා දහම විසින් ගනු ලබන ප්‍රබල ආයාසයක් සේ ද යමකුට අර්ථ දැක්විය හැක.

අප විසින් මෙම සිහිවටනය සම්බන්දයෙන් කොළඹ පිහිටි කැනේඩියානු තානාපති කාර්යාලය 2004 දී හා අවස්ථා ගනනාවකදී දැනුවත් කල අතර එක් වතාකදී තානාපති කාර්යාල නිළධාරී පැමිනියද පසුව එම කාර්‍ය් ඔවුන් විසින් අතහැර දමන ලදී. පසුව මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය දැනුවත් කළද එයද අසාර්තක වුනි. කිසිවෙකු මේ පිළිවද වගකීමක් ගැනීමට අකමැති වීම අතිශයින් කණගාටු දායකය.
2014 වර්ෂයේ සිට 2020 අද දක්වා ඡායාරෑප මෙහි ඇතුලත්කර ඇත.
(ලසන්ත විජේලත් -හැමිල්ටන් ෆේස් බුක් පිටුව.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here