නායකයෙක්  වෙන්න හැමෝටම බෑ

0
135

ලියොනල් මෙසී කියන්නේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයා. ඔහු දක්ෂ නායකයෙක් නෙමෙයි කියලා ගොඩක් දෙනෙක් කාලෙකට කලින් චෝදනා එල්ල කළා. ආජන්ටිනානුවන් දෙවියෙක් වගේ සලකන මැරඩෝනාත් මේ කොට්ටාසයට අයත්.

ගොඩක් දෙනෙක් ආජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙසී වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන දේවල් කියනවා. ඒ වගේ ක්‍රීඩකයන් පිරිසක් මෙසීට ලැබීම භාග්‍යක් කියනවා. හැබැයි මේ දේවල් මෙසී උපයාගත් ගෞරවයක් මිසක් ඉබේ ලැබුණ දේවල් නෙමෙයි.

2016 වෙද්දී ආජන්ටිනාව පාපන්දු වලින් විතරක් නෙමෙයි රටක් විදිහටත් ආර්ථික විදිහට වැටිලා තිබුණා. 2016 වෙනකොට ආජන්ටිනා පාපන්දු සංගමයට සේවක වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වෙලා තිබුණා.

මේ වෙලාවෙදී කණ්ඩායම් නායකයා විදිහට මෙසී පෞද්ගලිකව මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා. තමන්ගේ මුදලින් සේවක වැටුප් ගෙවීමට ඔහු කටයුතු කළා. මේ කතාව බොහොම අප්‍රසිද්ධව තිබුණත් පසු කාලීනව මෙසීගේ කණ්ඩායම් සඟයන්ම හෙළි කරපු කතාවක්.

මෙසී වටේ ක්‍රීඩකයන් නිර්මාණය වෙන්නත් ඔහුට ගෞරව කරන්නත් හේතු වෙන්නේ මේවා. අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ලියොනල් මෙසී වෙනුවෙන් තමන්ගේ උපරිමය දෙන්න ක්‍රීඩකයන් පිරිසක් බිහි වුණෙත් ඔහුගේ මේ හැසිරීම් රටාව නිසා.

“අපි ඔහු වෙනුවෙන් යුද්ධයට වුණත් යන්න ලෑස්තියි”
“මෙසී වෙනුවෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම තමයි මගේ එකම අභිප්‍රාය”
“ඔහු සමග ක්‍රීඩා කිරීම තමයි මගේ එකම සිහිනය”

මේ ඔහු වෙනුවෙන් අදහස් දක්වන කණ්ඩායම් ක්‍රීඩකයන්. මේ කණ්ඩායම 100% ක් ම මෙසී වටේ නිර්මාණය වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ මෙසීගෙන් ලැබෙන සහයෝගයට ප්‍රති උපකාර ලබාදෙන්න.

මෙවර කොපා අමරිකා තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වුණේ ආජන්ටිනාවේ ලටාරෝ මාර්ටිනෙස්. මාර්ටිනෙස් පහුගිය ලෝක කුසලානය පුරාම අසාර්ථක වුණා. මේ හේතුවෙන් ඔහුට කණ්ඩායමේ පළමු 11 දෙනාගේ ස්ථානය පවා අහිමි වෙලා තිබුණේ.

කොපා අමරිකා තරගාවලිය ආරම්භ වෙන්න කලින් අවසන් වතාවට ආජන්ටිනාව සහ ග්වටමාලාව අතරේ සුහද පාපන්දු තරගයක් ක්‍රියාත්මක වුණා. මේ තරගයේ පළමු අර්ධයේ දී ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වෙනවා.

ලියොනල් මෙසී එම දඬුවම් පහර ලබා ගන්නට ලටාරෝ මාර්ටිනෙස් ට ආරාධනය කළා. දඬුවම් පහර සාර්ථක කරගෙන මාර්ටිනෙස් ගෝලයක් ලබා ගනිද්දී දඬුවම් පහර ලබා ගැනීමෙන් වැළකී හිටපු මෙසීට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

“ඔහු ලබා දීපු අවස්ථාවෙන් මම ගෝලයක් ලබා ගත්තා. ඒකෙන් මට විශ්වාසය ගොඩක් වැඩි වුණා” කොපා අමරිකා තරගාවලිය අතරතුරදී ලටරෝ මාර්ටිනෙස් එහෙම කියනවා.

කොපා අමරිකා අවසන් තරගයේ දී මෙසී ආබාධයකට ගොදුරු වුණා. පළමු අර්ධයේදී ආබාධයට ලක් වුණත් මෙසී දෙවන අර්ධයේත් විනාඩි 20 ක් විතර ඉදිමුණ වළලුකරක් එක්ක ක්‍රීඩා කළා. නමුත් ඔහුට පිටියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා.

“පළමු අර්ධයේ විවේකයේ දී ඔහුගේ කකුල ආබාධයකට ලක් වෙලා තිබුණත් බිම වැටෙනකන්ම සෙල්ලම් කරන්න ඕනි කියලා මෙසී කිව්වා. ඔහු නික්ම යාමෙන් පස්සේ මම සම්පූර්ණ වගකීම කරට ගත්තේ ඒකයි.” තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරපු ඈන්හෙල් ඩි මරියාගේ අදහස වුණේ ඒක.

මෙසී ආජන්ටිනාව වෙනුවෙන්, තමන් වෙනුවෙන් හැමදේම දිනලා ඉවරයි. ඒත් ඔහු සම්පූර්ණ තරගය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කඳුළු සලන්න පටන් ගත්තා.

මේ වෙලාවේ සංවේදී වුණ මෙසීව ක්‍රීඩාංගනයම ස්ක්‍රීන් වලින් දකිනකොට ආජන්ටිනා ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි කොලොම්බියා ප්‍රේක්ෂකයන් පවා “මෙසී…. මෙසී….” කියලා තමන්ගේ ගෞරවය ඔහුට ලබා දුන්නා.

අවසානයේ අතිරේක කාලයේදී ආජන්ටිනාව තරගය ජය ගත්තා. ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේ ලටාරෝ මාර්ටිනෙස් විසින්. මේ ගෝලය ලබා ගන්න සාර්ථක පන්දු හුවමාරුව කරපු ජියොනි ලො සෙල්සෝ ගෝලය සමරන්න මුළින්ම දුවන්නේ ආබාධය නිසා එළියට වෙලා ඉන්න ලියොනල් මෙසී ළඟට.

ගෝලය වාර්තා කරපු ලටාරෝ මාර්ටිනෙස් පවා නැවත තරගය ආරම්භ වෙන්න කලින් මෙසී ළඟට දුවනවා. මේ ගෞරව සියල්ලම ඔහු උපයාගත්ත දේවල්. ඔහුගේ පෞරුෂත්වය වෙනුවෙන් ලැබුණ ඒවා.

තරගය අවසන් වෙලා ජයග්‍රාහී කුසලානය ලැබෙද්දී නායකයා විදිහට තනියෙන් කුසලානය මෙසී බාරගන්නේ නෑ. අවුරුදු ගානක් පුරාවට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගන්න ඈන්හෙල් ඩි මරියාව සහ නිකොලස් ඔටමෙන්ඩි ව ඔහු කුසලානය ලබා ගන්න තැනට අරගෙන එනවා.

තමන් කණ්ඩායමේ නායකයා වුණත්, ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වුණත් ඔහුට අංක 1 වෙන්නේ කණ්ඩායම සහ තමන්ගේ ක්‍රීඩකයන්.

මෙසී අද තමන්ගේ කණ්ඩායමෙන් සහ ප්‍ර්‍රේක්ෂකයන්ගෙන් මෙච්චර සහයෝගයක් ගෞරවයක් ලබා ගන්නේ ඔහුගේ වාසනාව නිසා නෙමෙයි. ඔහුගේ හැසිරීමට ලැබෙන කෘතගුණයක් විදිහට. ඔහු ඒ හැම දෙයක්ම උපයගත්ත දේවල්.

ඔබත් මෙසී වගේ නායකයෙක් වෙන්න!(creeda sport network ෆේස් බුක් පිටුවෙනි)