නිලයේ බලය මත ජනතාව බියගන්වා කඩන සහ හදන මීගමුවේ පොදු ගොඩනැඟිලි ?

0
84

IMG-20190828-WA0023

නගරයේ  සංවර්ධනය  යන්නට  මුවාවී  පොදුජන  අවශ්‍යතාව  පෙරට  දමමින්  මීගමු  නගරයේ   ගොඩනැඟිලි  ඉදිකිරීමත්,  ගොඩනැඟිලි  කැඩීමත්  යන  දෙකම  සිදුවූ  ආකාරය  පසුගිය  මීගමු  ඉතිහාසය  ගැන  විමසා  බලනවිට  හොඳින්  පැහැදිළිවන  කාරණයකි.    මෙය  මුහුදේ  පෙනෙන  අයිස්  කුට්ටි  මෙන්  පිටට  පෙනෙන්නේ   හතරෙන්  පංගුවකි.  හතරෙන්  තුනක්ම  පිටට  නොපෙනේ.  ඉහත  සඳහන්  කළ  ආකාරයට  ගොඩනැඟිලි  හැදෙන්නේ  සහ  කැඩෙන්නේ  ජනතාවගේ  අවශ්‍යතාවයට  වඩා  බලධාරීන්ගේ  සහ  නිලධාරීන්ගේ  අරමුණු වලට  අනුවය.මෙකී  තත්වයන් මත  මෙවර  කැඩීම  සඳහා  මීගමුව  මහ  නගරසභාව  තෝරාගෙන  ඇත්තේ  කාමච්චෝඩයේ  ඇති  ඩඩ්ලි  සේනානායක    වෙළඳපලයි.  මේ  සඳහා  පිඹුරුපත්  සැකසෙන්නේ  නගරයේ  ප්‍රධාන  පාලන  මධ්‍යස්ථානය වන  මීගමුව  මහ  නගරසභාවෙනි.  මෙම  වෙළඳපලේ   කැඩීම  සහ  හැදීමේ  සාකච්ඡාවල්  සියල්ල  අවසන්වූ  පසු  ජනතාවගේ   අදහස්   ඔවුන්ට අදාල  නැත.

මේ  අනුව  මෙය  ජනතා   කැමැත්ත  නොවිමසා  ක්‍රියාත්මක  කරන්නට  සූදානම්  වන්නකි.  ඒ  නිසා  එහි  වගකීම  ඔවුන්  මත  පැටවිය  නොහැක.  මෙම  වෙළඳුන්  නගරයේ  බදු  අයිතිය  මත  වෙළඳාම්  කරන  අයයි.  ඒ  නිසා  යම්  අසාධාරණයක්  වුවහොත්  නීතිමය  පියවරක්  ගැනීමේ  හැකියාවක්  ඔවුන්  සතුව  ඇත.  එහිදී  වගකිවයුත්තන්  එයට  මුහුණ  දිය  යුතුව  ඇත.  මෙම  වැඩසටහන  පිළිබඳව  සාකච්ඡා  සහ  ඉන්  අනතුරුව  ගොන්පාට්  ලෙස  චන්ඩිපාට්ද   ප්‍රදර්ශණය වූ  බව  අපට  දැනගන්නට  ලැබින.

නමුත්  අපට  ජනතාවගේ  පැත්තෙන්  බලා    මේ  සම්බන්ධව  ඇසිය  යුතු  ප්‍රශ්ණ  කිහිපයක්  ඇත.  මේ අනුව     පැන නැගෙන පළමු  ප්‍රශ්ණය  වන්නේ   ගොඩනැගිල්ල  කැඩීමේදී   ඉන්  අගතියට  පත්වන  වෙළඳ   ප්‍රජාවට   තම  ජීවනෝපාය  කර ගැනීම  උදෙසා  යම්  ගිවිසුම්  සහගත  වැඩපිළිවෙලක්  තිබේද  යන්නයි. එසේම   මේ  සඳහා  ගතවන  කාලය  කෙසේද  යන්නයි.  මෙය  වසර  5ක්  නම්  එම  වසර  5  තුළ  මෙම  ජනතාවට  වෙළඳාම්  කටයුතු  කරගෙන  යාම  සඳහා  තාවකාලික    කඩ  කුටි  ලැබේද? එසේම   මෙහි  වෙළඳාමේ  යෙදුනු  වෙළඳුන්  සංඛ්‍යාව  23ක්  බව  කියැවේ.   මේ  අනුව   මෙම  සැලසුම්    සැකසෙන්නේ  කෙසේද?    මෙහි  වෙළඳ කුටි  ගැන  තීරණය  කරන්නේ  කව්ද?  කෙසේද?    කුටි  ලබාදෙන  අයගේ  නාම ලේඛණය  සකසන්නේ  කෙසේද?   එසේනම්  එය    නිශ්චිතව  සහ  ලිඛිතව  ඉදිරිපත්  වන්නේද?   එසේ  නොමැති  නම්  එම  කාලය තුළ  ඉවසා  සිටිය  යුතුද? ආදී  තවත්  ප්‍රශ්ණ  රාශියක්  මතුවේ.

අනෙක්  ප්‍රශ්ණය  වන්නේ  ගොඩනැගිල්ලක්   කඩා  ඉවත්කිරීමේදී    සිදුවන  පරිසර   වෙනස්කම්   පිළිබඳව  සළකා  කටයුතු  කිරීම  පිළිබඳවයි.  මේ  නිසා  ගොඩ ගැසෙන  අබලි  ද්‍රව්‍ය,  දුහුවිලි    ආදිය  මත  ඒ  අවට  මෙම  වෙළඳුන්ට  වෙළඳාම්  කටයුතු  කළ  හැකිද?  යන  ප්‍රශ්ණයයි.   මෙවැනි  ප්‍රශ්ණ  රාසියක්  මතුවන    අතර  ඒවා සඳහා    ලබාදෙන   විසඳුම්  මොනවාද ?  යන්න  ප්‍රශ්ණ කළයුතුව  ඇත.  මෙය  ආසියානු  සංවර්ධන  බැංකුවේ  ණයක්  ලබාගෙන  සිදුකෙරෙන  ව්‍යාපෘතියකි.   දැනටත්  එවැනි  ණය  දෙවරක්   ගෙන ඇතිබවත්,  එම ණය  ගෙවන  අතර  මෙය  තුන්වන  ණයගැනීම  බවත්  ප්‍රකාශිතය. කෙසේ  නමුත්  ‍  මීට  පෙර  මෙවැනි   අවස්ථා  කිහිපයකදී  සිදුවූ  අක්‍රමිකතා  ගැන අප  අවබෝධ  කරගෙන  ඇත්තෙමු.  කුට්ටිදූව  මාළු  වෙළඳපල,  මීගමුව  බස්නැවතුම්පල,  රාජපක්ෂ  උද්‍යානය ,  බොස්කෝ සුනාමි  නිවාස  වැනි  ස්ථානවල  ඉදිකිරීම්  ගැන  කථාකරන විට  මීගමුව  නගරයේ  ජනතාවගේ  ඉරණම  තීරණය  වන්නේ   එක් ව්‍යාපාරික පවුලක  ක්‍රියාකාරීත්වය  මත  බව පෙනී යයි. කෙසේ  නමුත්  මෙවර  ඔවුන්ගේ   ඉලක්ක  සහ  අරමුණු   ගැන  අවදියෙන්  සිටින  ලෙස  සියළු  ප්‍රගතිශීලී  ජනතාවගෙන්  අප  ඉල්ලා  සිටිමු.

සැම්සන්  ඥානසිරි