රැයෙන් දවාලට වන අපමණ නින්දා
ඇහෙන්නට ලොවට වීණා තත සින්දා
දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා
බියෙන් මුදාලන හඬකට පද බැන්දා
එකට පියාපත් විහිදුව විහඟුන්නේ
දෙකට නැවී රජවාසල පිළිකන්නේ
දෙමළ රුහිරු බී කුරහන් රොටි කන්නේ
අපට නුඹ ම මිස වෙන කවුරුද ඉන්නේ
උතුර නැගෙනහිර මළගෙදරක් වැන්නේ
උතුර උතුර කඳුළැලි සුළි කැරකෙන්නේ
උතුර දකුණ අමතක වුණු කෙසරුන්නේ
වතුර පොදක් වත් කොහොමද ඉල්ලන්නේ
එහෙව් රටක ඇස් අරවන හඬක් ඇතී
දෙඇස් ඇරුණු කල රැය වුවත් නිදි නැතී
පහත් කෙරුණු අත් එසවෙන දිනක් වෙතී
දහස් දස දහස් ගණනින් රොද බඳිතී
අචපල ස්වර අතර අචපල පද ඇතිරූ
කටහඬ අතට අරගෙන ලෙලවන සොයුරූ
රජුනට එරෙහි සටනට බිජුවට වැපිරූ
රජරට උපන් රජු නුඹ මිස වෙන කවුරූ
සාදු හදවතින් නැඟ එන අනුරාව
නෑසු දෙසවනින් ඉන්නට හැකිවාද
දෑත ඔසවමින් නුඹ අඬගැසුවාම
ඈත දුරක හිටියත් අපි නුඹ ගාව
රැයේ මොන හඳක් නැඟුණත් වෙඩි වදිනා
පයේ හැපෙන තරමට අඳුරම ගලනා
බියේ නොඉඳ අත්මිදුමට ගී ගයනා
ජයේ නුඹම පමණෙකි, ඔව් නුඹ පමණා
මංජුල වෙඩිවර්ධන
2013 නොවැම්බර් 16