පච පුවත් කියන ITN ට සමාව ඉල්ලන්න සතියක් කල් දෙයි..

0
46

itn-logo

 

 

රොස්මන්ඞ් සේනාරත්න මහතා,
සභාපති,
ස්වාධීන රූපවාහිනී සේවය (ITN)
වික්‍රමසිංහපුර,
බත්තරමුල්ල

2013 ජූලි 16 වනදා

ප්‍රිය සේනාරත්න මහතාණෙනි,

මා මෙම ලිපිය ලියන්නේ 2013 ජූලි 14 වන ඉරිදා ස්වාධීන රූපවාහිනි සේවයේ පස්වරු 7.00 සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සම්බන්ධව වූ කරුණක් පිළිබඳවයි.

මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ එක් පුවතකින් කියැවුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) සහ මා එල්.ටී.ටී.ඊයේ උවමනාවන් ඉටුකිරීම පිණිස පසුගිය අම්පාරෙහි රැස්වීමක් සංවිධානය කළ බවත් එම රැස්වීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා හා ප්‍රදේශයේ ජනතාවගේ මැදිහත්වීම නිසා ඉක්මනින් අවසන් කිරීමට සිදුවූ බවත්ය.
මෙම පුවත සමඟ පෙන්වූ දෘෂ්‍ය පටයන්හී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ කිසිඳු සාමාජිකයෙකු හෝ මා හෝ දක්නට නොවිය. එමෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමින් සඳහන් කළ හෝ කිසිඳු ආකාරයකින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කළ බැනරයක් හෝ පෝස්ටරයක් හෝ මා හෝ රැස්වීමේ සංවිධායකයන් ලෙස පෙන්වීමක්ද සිදු නොවිනි.
ප්‍රවෘත්තියෙහි භාවිත වූ භාෂාව ද පැහැදිලිවම අපහාසාත්මක වූ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ මා හට එරෙහිව මහජන මතය ඇවිස්සීම සහ අප ජනතා අපකීර්තියට පත්කිරීම අරමුණු කොට ගත්තක් විය.

එබැවින් මා හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් මා මෙම ලිපිය ලියන්නේ ස්වාධීන රූපවාහිනී සේවය(ITN) එහි මීළඟ පුවත් ප්‍රකාශයෙහිදී අප වෙතින් සම්පූර්ණ හා ප්‍රසිද්ධ ව සමාව ඉල්ලීමක් සිදුකළ යුතු බවට ඉල්ලා සිටීමටයි.
කවර හෙයින්දයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හෝ මා හෝ 2013 ජූලි 14 වනදා ඉරිදා අම්පාරෙහි කිසිඳු රැස්වීමක් සංවිධානය නොකළ බැවිනි.
වැඩිදුරටත් මා ඇතුළු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ කිසිඳු සේවකයෙකු එවැනි රැස්වීමකට සහභාගි නොවිණි. එම සමාව ඉල්ලීමටද ඔබගේ ඉහත මුල් පුවත් ප්‍රකාශයෙහි අදාළ පුවතට ලබාදුන්  ප්‍රමුඛතාවයම ලබා දිය යුතු බව මා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.

සැබැවින්ම, මෙරට කුමන හෝ මාධ්‍ය ආයතනයක් – විශේෂයෙන්ම රජයේ පූර්ණ පාලනය යටතේ පවතින ආයතනයක් – විසින් මෙබඳු වගකීම් විරහිත, වෘත්තියමය නොවන (unprofessional) හා පක්‍ෂවාදී මාධ්‍ය භාවිතයකට ඉඩදීම බෙහෙවින්ම කම්පාව දනවනසුළු හා කණගාටුදායක තත්ත්වයකි.

මා, සතියක කාලයක් තුළ ඔබගෙන් ඉක්මන් ප්‍රචාරයක් ලැබේයැයි උනන්දුවෙන් යුතුව බලා සිටින්නෙමි. සතුටුදායක ප්‍රචාරයක් නොලැබුණහොත් ඉහත සඳහන් කළ වැරදි ප්‍රවෘත්තිය මඟින් සිදුවූ පූර්ණ හානිය සඳහා වූ අලාභය අය කරගැනීම පිණිස නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වෙනත් පිලියම් පිළිබඳව ද මවිසින් සලකා බලන බව ප්‍රකාශ කොට සිටීමටද කැමැත්තෙමි.

මහජන යහපත පිණිස මෙම ලිපිය මාධ්‍යයන් වෙත නිකුත් කිරීමටද මවිසින් කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.

මීට,

විශ්වාසී,

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්‍ෂ