පය බරවායට පිටිකර බෙහෙත් බඳින ගංවතුර සහ ඩෙංගු ප්‍රශ්ණය…

0
569

ඩෙංගු වසංගතය පැතිරී යන සෑම අවස්ථාවකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවට ඒ ගැන අවධියෙන් කටයුතු කරන ලෙස අවශ්‍ය උපදෙස් ලබාදෙන ආකාරය අපට නිතර අැසේ. එසේම ඒ වෙනුවෙන් කුමන හෝ මැදිහත් වීමක් කරන ආකාරයද දැකිය හැක.
නමුත් එයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තා වන්නේත් ප්‍රධාන හේතුව වන්නේත් ප්‍රදේශයේ දේශපාලකයින් බව පැහැදිළි කාරණයකි.
ඔවුන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා නිදහසේ ගලාගෙන යන ජල මාර්ග හරස් කිරීමට ජනතාවට සහාය ලබාදෙති. ප්‍රමිතියකින් තොරව පාරවල් ,පාලම් සහ බෝක්කු තැනීමට ප්‍රතිපාදන වෙන්කරති. අවසානයේ ඉන් පීඩාවට ලක්වන්නේද මෙම ජනතාවමය.

කානු කටවල් දෙකක් දැමූ අඩි 8ක ධාරිතාවක් සහිතව ගලාගෙන ගිය ඇල මාර්ගයකට අද අඩියක දෙකක ඉඩකඩක් තුළ ගමන් කිරීමට සිදුවී ඇත. ඇල වසාගත් බෝක්කුව උඩින් නිවෙස් වලට යායුතුය. සමහර ස්ථානවල කැලෑව නිසා ගලන මෙකී කානුව නොපෙනේ.


ඇල අවට සිටින නිවැසියන් ප්‍රකාශ කරන්නේ අදාල බලධාරීන් ඇල සුද්ධ නොකිරීම නිසා ඔවුන් පීඩාවට පත්ව සිටින බවයි. එය සත්‍යයකි. නමුත් මෙම තත්වය නිර්මාණය වීමට ඔවුන්ගේ පැවැත්මද හේතුවක් වන බව මේ අයට නොහැඟීම කණගාටුවට කාරණයකි.
දේශපාලකයින් තමන්ගේ මැතිවරණ ප්‍රකාශ සකස් කර ගැනීමට මෙකී කානු උපයෝගී කරගන්නා ආකාරය අපි දැක ඇත්තෙමු. ඔවුන් සියළු දෙනා ජනතාව අතරට ගෙනෙන බොරු පොරොන්දු අතර මෙම කානු මෙසේ ජරාවාස වී පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. එය හිඟන්නාගේ තුවාලය මෙන් පැවතිය යුතුය. තුවාලය සුව වුවහොත් එය හිඟන්නාට තමන්ගේ හිඟාකෑමට අවාසි දායක වන්නකි. දේශපාලකයාට කානු සංවර්ධනය ගැන ඇති හැඟීමද එවැන්නක් බව සමහරු පවසති.

අප සඳහන් කරන මෙම ඇල මාර්ග⁣ය අයත් වන්නේ කටාන ආසනයටය. මීගමුව , දළුපත , පෙත්තන් ඇල යනුවෙන් අප මීට පෙර අවස්ථා ගනනාවකදී සාකච්ඡා කරන ලද ඇල සම්බන්ධ වන්නේ මෙම ඇලටය.
මෙම අවට සිටින ජනයා වැසි දිනවලදී ගංවතුර නිසාත්, ඩෙංගු වැනි රෝගයන්ට ගොදුරු වන නිසාත් පීඩාවට ලක්වෙති. දේශපාලකයින් නිතර බොරු පොරොන්දු මගින් ජනතාවගේ එම පීඩාව තමන්ගේ වාසිය බවට පත් කර ගනිති. මේ අනුව දේශපාලකයාගේ හෙළුව පෙනෙන නමුත් , චක්‍රයක් මෙන් සිදුවන්නේද ඉහළ ඇත්තන්ගේ අරමුණ ඉටුවීම පමණි. ජනතාව නිතරම , රැවටිල්ලට ලක්වෙති.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here