ප්‍රමාද වී හෝ මීගමු රෝහල් භූමිය තුළින් මිනිස්කම මතුවූ වගයි…

0
120

IMG-20201106-WA0016

මීගමුව රෝහලේ තාප්පයට පිටතින් ඇති කුනු කානුව අසල වැතිර සිටින මිනිසෙකි.
ඔහු බීමත්ව සිටිනු ඇතැයි මා තුළ පහළවූ පළමු සිතුවිල්ලයි.
නමුත් හැල හොල්මනක් නැති හෙයින් මියගොස් අැතැයි කියාද? සැකයක් මතුවිය.
අවට සිටි අයෙකුගෙන් ද අසා සිටියේ සැක හැර දැන ගනු පිනිසය. සිරුරේ කිසිදු චලනයක් දක්නට නොතිබින. එබැවින් ලඟට ගොස් ඔහුට කතා කළෙමි. ඔහු තුළින් නැගුනේ හීන් කෙඳිරියක් පමණි.

ඔහු මිය ගොස් නැත.
නිල මැස්සන් විසින් දෙපාවල ඇති තුවාල වසාගෙන තිබුනු අතර බිම විසිරී තිබුනු බත් ඇට හොදිත් සමඟ වියලී ගොස් තිබින.

මේ පුද්ගලයා කෙරෙහි කිසිවෙකුගේ අවධානයක් නොතිබින.

මා ඔහුගේ පින්තූර කිහිපයක් ගත්තේ ඉන් පසුවය.

අවට සිටි අයෙකු ප්‍රකාශකළේ මොහු සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙසේ වැතිරී සිටින බවය. මා මීපුර වෙබ් අඩවියට පින්තූර සමඟ සටහනක් යොමු කළේ ඉන්පසුවය. මේ වනවිට පෙ. ව. 7.00 පසුවී තිබින.

මෙම ප්‍රවෘර්තිය දුටු මීගමු රෝහල් සංවර්ධන පදනම වහා ක්‍රියාත්මක විය.

ඔවුන් සමඟ මීගමු පොලීසියද මැදිහත්වී පියවරක් ගෙන තිබින. රෝහලේ ආරක්ෂක අංශය සහ රෝහල් සංවර්ධන පදනමේ පිරිසක් ඔහු නාවා පිරිසිදු කරන ලදී.
ඉන් අනතුරුව මෙම රෝගියා භාරව තිබුනේ රෝහල් පොලීසියටය. එබැවින්, මේ වනවිට තත්වය අප ඔවුන්ගෙන් විමසා සිටියෙමු.මේ අනුව පළමුව
PCR පරීක්ෂණය සඳහා යොමුකොට ඉන්පසු 21 වාට්ටුවට ඇතුලත් කරන බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.

මෙතෙක් ජීවිතයත් , මරණයත් අතර සිටි මෙම මිනිස් ප්‍රාණියා හට මරණය අහිමි කර ජීවිතය ලබාදීමට මේ ගැන මැදිහත් වූවන්ට හැකිවිය. මතුවූයේ ප්‍රමාදවී නමුත් ,සිදුවූයේ යහපත් දෙයකි. එය මිනිස්කම නම්වූ වචනය අර්ථ ගැන්වූ අවස්ථාවක් බව කිව යුතුය. නමුත් එය මේ සමාජය තුළින් බැහැරව යන්නක් බවද මෙම සිදුවීම විසින් අපට පසක් කරදෙයි.
සැම්සන් ඥානසිරි