කේ.එම්. සුජිත් නාමල් ප්‍රනාන්දු ජීවත් වන්නේ මීගමුව කලපුවට යාබදවය. වසර ගණනාවක් තිස්සේ ඔහු සිය පවුලේ අය සමගින් ජීවත්වූයේ ඉමහත් සතුටිනි. එහෙත් සුජිත්ගේ ජීවිතයේ මේ සතුටට එකවරම කනකොකා හඬන්නට විය. ඒ සිය නිවස කලපුවට යාබදව ඉදිකර ඇති බැවින් වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළ නිසාය.
එම නිලධාරීන් සුජිත්ට පවසා ඇත්තේ එම ස්ථානයේ නිවාස ඉදිකිරීමට නොහැකි බවත් එය අනවසර ඉදිකිරීමක් බවත්ය. මෙම නිවසෙහි ජීවත්වීම ඉතාමත් අවදානම් තත්ත්වයක් බැවින් එම නිවසෙන් ඉවත් වන ලෙස දිගින් දිගටම මෙම නිලධාරීන් සුජිත්ට පවසා ඇත.
සුජිත්ගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු දහඅටකි. ඇය ඉදිරි වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. දෙවන දියණියට අවුරුදු දහහතරකි. පාසලේ නවවන ශ්‍රේණියේ ඇය ඉගෙනුම ලබයි. තවත් වයස අවුරුදු නවයක කුඩා පිරිමි දරුවකු සහ වයස අවුරුදු දෙකහමාරක බිළිඳෙකුගේ පියෙක් වන සුජිත්ගේ බිරිඳ සුරනි ශ්‍රීමාලි ප්‍රනාන්දුය. සිය දරුවන් සිවුදෙනා සහ බිරිඳද සමග මේ තරම් කාලයක් ජීවත් වූ නිවස අතහැර දමා සුජිත් පාරට බැස්සේ යන එන මගක් පිළිබඳ හසරක් නොදැනය. කරඳඩු උස්මහත් වූ ගැහැනු දරුවන් දෙදෙනකුගේ වගකීම මේ මව්පියන්ගේ හිස මතට වැටෙන්නේ තම හිසට සෙවණ දුන් නිවෙස පවා අහිමි වෙද්දීය.
මාස කිහිපයක් තිස්සේම සිය ඥාතීන්ගේ, මිතුරන්ගේ නිවාසවල ලැඟුම්ගන්නට මොවුන්ට සිදුවූයේ ජීවත් වීමට කිසිදු සරණක් නොමැති නිසාය.
ජීවිත කාලයටම එලෙස තැනින් තැනට යමින් විවිධ පුද්ගලයන්ගේ නිවාසවල ජීවත්වීමට නොහැකි බැවින් ඔවුන් අවසානයේ මීගමදූව ග්‍රාම නිලධාරියාගේ කාර්යාලය ඉදිරිපිට ඇති හිස් ඉඩමක පැල්පතක් ඉදිකරගෙන ඇත. ඒ මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ අනුදැනුමද යටතේ බව සුජිත් පැවැසුවේය.
‘අපිට යන්න තැනක් තිබුණේ නෑ. දරුවෝ එක්කම මට පාරට බහින්න බෑ. ගෑනු ළමයි දෙන්නෙක් මට ඉන්නේ. ඒ නිසා මම අපේ ග්‍රාම නිලධාරී මහත්මයාගේ කාර්යාලය ඉදිරිපිට තියෙන හිස් ඉඩමක පැලක් හදාගත්තා. ප්‍රාදේශීය ලේකම්තුමිය අවස්ථා තුනකදීම අපිට කිව්වා කමක් නෑ ඉන්න කියලා. දැනට ඔතන ඉන්න පස්සේ රජයෙන් පර්චස් එකක් හරි දෙන්නම් කියලා. ඒ කටවචනය නිසා අපි එතන ප්‍රශ්නයක් නැතිව හිටියා’. නමුත් එම ස්ථානයෙන්ද ඉවත්වන ලෙස නැවතත් සුජිත්ලාට ප්‍රාදේශීය ලේකම්තුමියම ලිඛිතව දන්වා සිටින්නේ රජයේ ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදුකර ඇති බව පවසමිනි. ‘ප්‍රාදේශීය ලේකම්තුමියම තමයි කිව්වේ ඔතන දැනට ඉන්න පර්ච්ස් එකක් හරි අරන් දෙන්නම් කියලා. නමුත් අපිට විරුද්ධව පස්සේ නඩුවක් දැම්මා. අපි අනවසරයෙන් රජයේ ඉඩමක ඉන්නවා කියලා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි නඩුව දැම්මේ. නඩුවෙන් පස්සේ අපිට දැන් කියලා තියෙන්නේ ජනවාරි 21 වැනිදාට කලින් මෙතනින් ඉවත් වෙන්න කියලා. මෙතැනින් ඉවත්වෙලා අපිට යන්න කිසිම තැනක් නෑ.’
සුජිත් අප හා පැවැසුවේ එලෙසිනි. මේ වන විට මෙම ස්ථානයෙන්ද ඉවත් වන ලෙසට මීගමුව උසාවියෙන් ඔවුන්ට තීන්දුවක් ලබාදී තිබේ.
තාවකාලිකව පැල්පතක් සකස් කරගෙන සිටි ස්ථානයෙන් ඔවුන්ට ඉවත්වන්නට දැනුම් දුන්නේ තොටුපොළ සංවර්ධනය උදෙසා වෙන් කර ඇති බව පවසමිනි. නමුත් සුජිත්ගේ බිරිඳ සුරනි අපත් සමග පැවසුවේ තොටුපොළ සංවර්ධන ව්‍යාපෘති කටයුතු අවසන් බව ධීවර සමිති එකතුව විසින් පසුගියදා රැස්වීමක්ද පැවැත්වූ බවය.
‘අපි දැනට ඉන්න තැන තොටුපොළ සංවර්ධනයට වෙන් වෙලා තියෙන ඉඩමක් කියලා ධීවර සමිතියක සභාපති ඇතුළු පිරිසක් ඇවිල්ලා නිතරම අපිට යන්න කියනවා. ප්‍රාදේශීය ලේකම්තුමියයි වෙරළ සංරක්ෂණ දෙපාර්ත-මේන්තුවේ අයයි සේරම එකතුවෙලා අසරණ වෙලා ඉන්න අපේ පවුලටම තමයි පුළුවන් තරම් පීඩා කරන්නේ. තොටුපොළ සංවර්ධනයක් එතන වෙලා නෑ. අපි එම ස්ථානයේ ඉන්න නිසා දන්නවා. මේ ළමයි අරගෙන අපි කොහෙද යන්නේ. ඇයි රජයේ නිලධාරීන්ට මානුෂික වෙන්න බැරිද? අපි ඉල්ලන්නේ අපි මෙතැනින් යන්නම්. හැබැයි අපිට ඉඩමක් දෙන්න කියලා පැලක් හරි හදාගන්න. මගේ මහත්තයා මුහුදු ගිහිල්ලා තමයි අපිව ජීවත් කරන්නේ. මේ දවස්වල තුන්වේල කන්නත් නෑ අපිට.’
අප මේ පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂා උදයන්ති පතිරණගෙන් විමසූ විට ඇය පවසා සිටියේ මෙම පවුල අනවසරයෙන් ඉදිකර ඇති භූමියක පදිංචිව සිටින නිසා ඔවුන්ට එම භූමියෙන් ඉවත්වන ලෙස දන්වා ඇති බවය. ඉඩමක් සොයා දීමට තමන් පොරොන්දු වූයේ නැති බවත් පැවැසුවාය. මෙම පවුලට ඔවුන් පෙර ජීවත්ව සිටි නිවස පිළිසකර කර දී ඒ අවටින් ගල් වැටියක් බැඳදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇතත් මොවුන් එයට අකමැති වූ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.
කෙසේ නමුත් සුජිත් පැවැසුවේ එම නිවසෙහි ජීවත්වීම අනතුරුදායක බව පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පත්‍රිකාවක් ලබා දුන් බවය. එහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ගල් බැම්මක් ඉදිකිරීමට කටයුතු කළත් එම ස්ථානයේ නිවසක ජීවත්වීම අනතුරුදායක බවය. එලෙස එම දෙපාර්තමේන්තුවෙන්ම දන්වා සිටියත් නැවතත් එම ස්ථානයට ගොස් ජීවත් වන ලෙස පැවැසීම තම පවුල අනතුරට පත්කිරීමක් බව ඔහු පැවැසුවේය. ඔවුන් ඉල්ලා සිටින්නේ ස්වභාවික ආපදාවක් නිසා තම නිවස තමන්ට අහිමි වූ බැවින් රජය මැදිහත් වී ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලබාදිය යුතු බවය. එලෙස සිදුවූයේ නොමැති නම් ජීවත් වීමට ස්ථානයක් නොමැතිව මහා පාරේ සිටින්නට වන බව සුජිත් කියා සිටින්නේ අතිශය සංවේදී වෙමිනි. මෙම තාවකාලික පැල්පතෙන් ලබන 21 වැනිදා වන විට වෙනත් ස්ථානයකට යා යුතු උවත් දරුවන් සමග තමන්ට යන්නට තැනක් නොමැති බව ඔහු පැවැසුවේය. මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් තම දරු පවුලට ජීවත්වීමට ඉඩමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ඔහු අවසන් වශයෙන් අපත් සමගින් පැවැසුවේ.
•අශිකා ජයවීර
අරුණ පුවත්පත