පාරට වැටුනු කලාව සහ කලාකරුවෝ

0
184

DSC_0265 DSC_0266(1) DSC_0268

මීගමු   නගරයේ  විවිධ  හැකියාවන්   ඇති   මිනිසුන්   සහ  ගැහැණුන්  ජීවත්වෙයි.  ඔවුන්   අපට  සමහර  අවස්ථාවල  අහඹුලෙස   මුණගැසෙයි.  මේ  අනුව   එවැනි  අයෙක්  මීගමුව    කොළඹ-  හලාවත  පාරේ   කට්ටුව   හංදියට  ආසන්නයේදී   හමුවන්නේ  එලෙසය.  පාර  අයිනට  වී   රාමුකකරනලද  චිත්‍රයක්  ඇතැතිව   හිටගෙන   සිටි  ඔහු   අලෙවිය  සඳහා  සකස් කරනලද  චිත්‍ර   කිහිපයක්   පෙළගස්වමින්   සිටියදී   ඒ  අසල  මා  නතර වූයේ    කලාතුරකින්   මුණගැහෙන    දසුනක්    වූ බැවිනි.  තරුණයෙකු   පැමිණ   තමන්ට  මෙවැනි  සිතුවමක්   ඇඳගැනීමේ   අවශ්‍යතාව   දක්වමින්    අප  සඳහන්  කරන  පුද්ගලයාගෙන්  දින  වෙන්කරගනු  පෙනින. ඉන්  අනතුරුව   ඔහු  පිළිබඳව   තොරතුරු   බිඳක්  දැනගැනීමේ  අවශ්‍යතාව මත  කෙටි  කථාබහක  යෙදුනු  අතර  මෙම  කලාකරුවා   අප  වෙත  මේ  ගැන  කරුණු   දැක්වූයේ  මෙසේය.

ඔබේ  පුද්ගලික  විස්තර  ටිකක්  කියන්න  පුළුවන්ද?

මම   ලක්ෂ්මන්  ප්‍රනාන්දු.   මගෙ  බිරිඳ   මල්ලිකා   රාජපක්ෂ.  අපිට  දරුවො  දෙන්නයි.  අපේ  තාත්ත  ගොවිතැන්  කළ  කෙනෙක් .  එයා  එලවළු  සහ  දුම්කොල  වගාකළා.  අම්ම  මේරි  කැතරින්  ප්‍රනාන්දු.  අම්ම  නතිවුනාට  පස්සෙ  පුංචි  අම්ම  තමයි  අපිව  බලාගත්තෙ. ඉන්  පස්සෙ   මම දළුපත  විදුහලෙන්  තමයි  අධ්‍යාපනය  ලැබුවෙ. o/L    විභාගයට  ඉදිරිපත්වී  එය  සමත්වුනා. පැවතුනු  තත්වයන්  මත  ඉන්  එහාට  අධ්‍යාපන  කටයුතු   කරගෙන  යාමට  හැකිවුනේ  නෑ.  ඒ  වෙනුවට  රැකියාවක්   ලැබුනා  මගෙ  හැකියාවට  අනුව. ඒ  දංකොටුව  පෝසිලේන්  ආයතනයෙ  ආටිස්ට්  කෙනෙක්  විදිහට.ඊට  පස්සෙ  ඩුබායිවල  පැක්ටරියක  ආටිස්ට්  කෙනෙක්  ලෙස  කටයුතු  කළා.  ඊටත්  පස්සෙ  ඇඩ්වටයිසන්   වැඩක්  කළා.  නමුත්  ඩිජිටල්  තාක්ෂණය  ආවට  පස්සෙ  ඒවට  තැනක්  නැතිව  ගියා.  මම  කලාව  පැත්තට  ආසයි.  ඒකනිසා   සිංදු  ලිව්වා.  නාට්‍ය  ලිව්වා.  නමුත්  ඒවා  එළිදක්වන්න  හැකියාවක්  නෑ.  මොකද  හැම  එකටම  මුදල්  ඔනනෙ.  කාලයක්  මම  අසනීපෙන්  හිටියෙ.  ස්නායු  තෙරපීමක්  නිසා.  මාස  3ක්  විතර  එකතැන  හිටියෙ.

ඇයි  මේ  චිත්‍ර  මේ  ආකාරයට  නිර්මාණය  කරන්නට  හිතුනෙ?

මම  සොබාදහම  අනුව  තමයි  චිත්‍ර  අඳින්නෙ.  ගහක්  අඳිනකොට  සතෙක්  හෝ  මිනිහෙක්  ගැන  හිතාගෙන  තමයි ඒ  ගහ  අඳින්නෙ.  සොබාදහමයි   මිනිසා  අතරයි  තිබෙන  බැඳීම   ඒකට   හේතුවයි.  ලෝකයේ  විශේෂතම  නිර්මාණය  මිනිසා.  ඒ  දැක්ම  තුළ  සහ  මහවීදිය  පල්ලියේ  තිබෙන   චිත්‍ර  තුළිනුත්  මම  ආභාෂය  ලැබුව.

මේ  සියළු  චිත්‍ර  ඔබේද?

නෑ.  මෙතන   ශෛලීන්  තුනක  පින්තූර  තියෙනවා.  ඒව  අයිති  මගෙ  යහළුවො  දෙන්නෙකුට. එක්කෙනෙක්  සුදර්ශනී  නිරංජලා, අනෙක් කෙනා  ප්‍රියන්ත. ඒ  දෙන්න  අද  මෙතනට  ආවෙ  නෑ.   ඒ  අයත්  දක්ෂ  කලාකාරයො.

ඔබේ  චිත්‍රවලට  ලැබෙන  වටිනාකම  ගැන  කිව්වොත්.

මේ  3×2  සාමාන්‍ය  පින්තූරයක්  රු.  2000/කට  3000/කට  අලෙවි  කරනවා.  තීන්ත  ,රාමුකිරීම  ආදියට  රු. 500/ක්   විතර  වැයවෙනවා. සමහර  වෙලාවට  මීට  වඩා  පොඩි  පිංතූර  වැඩි ගානකට  අලෙවි  කරනවා.  එහෙම  වෙන්නෙ චිත්‍රවල  අන්තර්ගතය  අනුවයි.  සමහර  වෙලාවට  අතේ  තියෙන  මුදල  ප්‍රමාණවත්  නැති  නමුත්  පිංතූරයක්  ගැනීමේ  තද  අවශ්‍යතාවය  ඇති  කෙනෙක්ව  හිස්  අතින්  යවන්න  මට  හිතෙන්නෙ  නෑ.  ඒ වෙලාවට  මුදල  ගැන  හිතන්නෙ  නෑ.  වැස්ස  දවස්  වලට  පිංතූර  එලියට  දාන්න බෑ.  අපිට  මේවගේ  රස්සාවකට  රු. 1000/ක්  2000  දවසකට  ගන්න  පුළුවන්.  නමුත්  එහෙම  යන්න  හතෙන්නෙ  නෑ.  කලාව  කියන්නෙ  ශේෂ්ඨ  දෙයක්. වෙන  රස්සාවකදි  අපිට  වැඩකරන්න  වෙන්නෙ  කලාව  ගැන  හැඟීමක්  ඇති  මිනිස්සු  එක්ක  නෙවෙයි.එතකොට  ඒගොල්ලන්ගෙ  හැම  දේකටම  යටවෙල  තමයි  වැඩ කරන්න  වෙන්නෙ.

අනාගත  අරමුණු   ?

සල්ලි  ටිකක්  අතට  ලැබුනොත් පොඩි  කඩකෑල්ලක්  අරගෙන  මේව  ටිකක්  දියුණු  කරගන්න  කැමැතියි. ඒ වගේම  මං  වගේ හුදෙකලාව ඉන්න  කලාකාරයො  ටිකක්  එකතුකරගෙන  යම්  වැඩපිළිවෙලක්  කරන්න  අදහසක්  තියෙනවා.  කලා  භවනක්   නිර්මාණය  කරල මේ  සමාජෙට  වැදගත්  යමක්  කළයුතු  බවයි  මගෙ  අදහස.  කලාව  කිව්වහම  චිත්‍ර  විතරක්  නෙවෙයි.  නාට්‍ය,  සිංදු   වැනි  දේවල්  තියෙනවා.  මේවට  යෙදෙන්න  අපිට  මුදල්  වලින්  හයියක්  නෑ.

ඔබේ  ජීවිතේ   සතුටින්   ගතකරනවද?

ඔව්.  මම  බලාපොරොත්තු  වෙන්නෙ  සරල  ජීවිතයක්  තුළ  ඉඳිමින්  සමාජෙට  යමක්  කරන්නයි. චිත්‍රයක්  අඳිනකොට,  සිංදුවක්  ලියනකොට   භාවනාවක්  වගේ  සිතට  සතුටක්  දැනෙනවා. අපිට  ප්‍රශ්ණ  තියෙනවා.  ඒව  මම  වැඩිය  හිතට  ගන්නෙ  නෑ. ඒව  ඉබේම  විසඳිල  යනව.  අපි  ඒවට  ඳඟලන්න  ඕනෙ නෑ. කොහොම  උනත්  අපි  මේ පොලවට  සොබාදහමට  ආදරේ  කළයුතුයි.  ඒවගේම  මම  හිතන්නෙ  අනෙකාගේ  ආශාවන්  ,අවශ්‍යතාවයන්ටත්  අපි  ඉඩදියයුතුයි  කියලයි.  අනෙකා  සමඟ  දුක සැප  බෙදා  ගැනීම  උතුම්  දෙයක්.

 


සැම්සන් ඥානසිරි