පාස්කු පඹගාල ,ජාජබ රජය! හා කාදිනල් හිමි!

0
171

 

පාස්කු අපරාධ සිද්ධිය යළි රට කැළඹීමට ලක්කර තිබේ. අනුර කුමාර දිසානායක මහතා, ජනපතිවීමට පෙර, සිය කතා මගින් ද, ජාජබ ජනාධිපති මැතිවරණ ප්‍රකාශනය හරහා ද, පාස්කු අපරාධය ගැන රටේ ජනතාවට පොරොන්දු තුනක් දුන්නේය.

තමා බලයට පත් කළහොත්, පාස්කු අර්බුදය කඩිනමින් විමසා, අපරාධකරුවන් හෙළිකර, වින්දිතයනට යුක්තිය ඉෂ්ට කරන බවට ය. අ.කු.දි බලයට පත්ව දැන් ප්‍රථම මාසය ගෙවී අවසන්ය. පාස්කු අපරාධය ගැන අඬා වැළපෙන කතෝලික ජනතාවට අමතරව, ජාජබ මුළුගැන්වූ රටේ ජාතික වෘත්තික බලවේග වලට ද අ.කු.දිසානායක විවිධ පොරොන්දු දුන්නේය. (ගුරු, විදුහල්පති. විශ්‍රාමික, හමුදා, පොලිස්, ව්‍යාපාරික, හෙදි, තරුණ, ධීවර, ගොවි, බැංකු, වනිතා,පරිපාලන, පෞද්ගලික අංශ, භික්ෂු) ඒවා වැඩි ප්‍රමාණය ආර්ථික හා වෘත්තීයමය පොරොන්දු විය. රටේ ප්‍රධාන ජන බලවේගය වූ, එදිනෙදා ජීවිත ඉතා අසීරුවෙන් ගත කරන, දුගී ජනතාවට ද, අ.කු.දි බරපතල පොරොන්දුවක් දුන්නේය. එක්තැනකට එක් කර නො වේ. ප්‍රසිද්ධියේ ය. ඔවුන් බඩගින්නෙන් හා නැතිබැරිකමෙන් මුදා ගන්නා පියවර ඉතා ඉක්මණින් ගන්නා බවට ය. අද වන විට ඔවුනට පොල් ගෙඩියක් ගන්නට සිදුව ඇත්තේ, රුපියල් 140.00 - 160.00 අතර මිලකට ය. හාල් කිලෝවක් රුපියල් 220.00 එහා මිලකට ය. අ.කු.දි, සිය ප්‍රථම ජාතිය ඇමතීමේ දී ම, තමා මැජික් කාරයෙකු නො වන බව පැවසීය. බලය ලබා මාසයක් යනු, යමක් හරිහැටි තේරුම් ගෙන විසඳුම් යොදන්නට තරම් කාලයක් නො වේ. තවමත් ඔහුට හරිහමන් ආණ්ඩුවක් නැත. එහෙත් තිදෙනෙකු එකතුව ගතවූ මාසයේ රට ගෙන ගිය ආකාරය, ජනතාව අතර ඔවුන් තව තවත් සිත් ඇද ගත්තා සිකුරුය. තත්ත්වය එ සේ තිබිය දී, ජනමාධ්‍ය හරහා රටට පෙනෙන්නේ, ජනාධිපතිවරයා, පාස්කු පඹගාලේ වැඩියෙන් එල්ලී පැටලිල්ල ලිහන්නට වෙහෙසෙන බවකි. විජිත හේරත් ඇමතිවරයා, පාස්කු ප්‍රශ්නය ජාතික ගැටළුවක් බව කීවේය. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පූජක තෙම ද එ සේ පවසා ඇත. ප්‍රහාරය සිදුකෙරුනේ, ප්‍රධාන බෞද්ධෝත්සව දිනක පන්සලක නම්, එය, ඉඳුරාම ජාතික ගැටළුවක් වන ඉඩ තිබුනි. අ.කු.දි බලයට පත් විගස, ඔහු කටුවාපිටි කැන්දන් ගිය කාදිනල් හිමි, "විසඳනවා නේදැයි...." මාධ්‍ය ඉදිරියේ රටට ම ඇහෙන්නට ඔහුගෙන් ප්‍රතිඥාවක් ඉල්ලීය. අ.කු.දි, එකත්පස්ව " හ්ම්" යයි හිස නමා පැවසීය. ඒ සඳහා මූලික විමර්ශනයක් දැනටමත් අරඹා ඇති බව විජිත හේරත් ඇමති පවසයි. අවශ්‍ය වෙතොත්, යළි නව ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන සළකා බලන බව ද ගම්මන්පිලයන්ට උත්තර දුන් දා ඔහු පැවසීය. මෛත්‍රීපාල හා ගෝඨාභය රජ සමයන්හී පාස්කු ඝාතන ගැන පරීක්ෂණ පත් කළ පරීක්ෂණ කමිටු හතරක හා ජනක් ද සිල්වා ජනාධිපති කොමිසමේ වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර තිබේ. ඉන් ජනාධිපති කොමිසමේ වාර්තාව, අඩුපාඩු ඇතත්, වඩා පිළිගත හැකි තත්ත්වයක ඇති බව කාදිනල් හිමි ද පවසයි. කාදිනල් හිමි පුන පුනා ඉල්ලුවේ විනිවිධ පෙනෙන පරීක්ෂණයකි. පෙර පරීක්ෂණ නිසි සේ සිදු නොවූ බව ද එතුමා පවසයි. පාස්කු අවුලේ විසඳුම තවත් දුරදිග යන ලකුණු දැන් අපට පෙනේ. මේ වන විට අවුල මාස 66 ඉක්මවා ඇත. දැනට පවත්වා ඈති පාස්කු පරීක්ෂණ කමිටු හතර හා, ජනාධිපති කොමිෂන් සභාව දී ඇති නිර්දේශ හා නිගමන අනුව, ගැටළුව විසඳීම අධිකරණයට පවරා, රටේ ප්‍රධානම ජාතික ගැටළුව වූ ජනගහනයේ අධ් පිරිස පෙළෙන අන්ත දුගීකමෙන්,(එක වේලකින් දවස ගෙවන දුප්පතුන් ඒ ඉරණමෙන් !) ඉක්මණින් මුදා ගැනීමට රජය වහා පියවර ගත යුතුව තිබේ. පියවර ගැනීම සමග ඒ පියවර ජනතාවට දැන ගන්නට ද සැළැස්විය යුතුව තිබේ. දැනටමත් ජනතාව අතර පිරිසක් ....ඒ ගොල්ලොත් අරගොල්ල වගේම යයි කියන්නට පටන් ගෙන තිබේ. ජාජබ රාජ්‍ය කටයුතු හරිහැටි නො දන්නා ජනතාව සිතන්නේ අ. කු. දි ත්, රටේ ප්‍රමුඛ ගැටළු පසෙක තබා, අප්‍රධාන ගැටළු පසු පස මුලින් දුව යන බවය. එය ජාජබ රජයට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නො වේ. ඉදිරි නොවැ. 14 පසු වෙළෙඳ, අධිකරණ බඳු ඇමති ධූර, මුල් ඇමති තුන් කට්ටුව අත තබා ගනු ඇතැයි අපි නො සිතමු. පාස්කු ගැටළුව විසඳීම, පත්කරන අධිකරණ ඇමතිට පවරන්නට ජනපතිට සිදුවෙනු ඇත. වෙළෙඳ පොළේ බඩුමිල හා ආර්ථික ගැටළු විසඳීම වෙළෙඳ හා මුදල් ඇමතිවරුනට පවරන්නට සිදුවෙනු ඇත. රජය ප්‍රමුඛස්ථානයක් දෙමින් ආරම්භයේ දී ම අත ගසා ඇති පාස්කු අපරාධයට විසඳුම් දීම තකහනියේ කළ හැක්කක් නොවන බව අපේ වැටහීම ය.

රට තුළ ජාතික වශයෙන් ඒ පිළිබඳ ලොකු වුවමනාවක් නැත. රටේ සමස්ත කතෝලික ජනතාව අතර ද තද උනන්දුවක් දක්නට නැත. කොළඹ කතෝලික සභා සාමාජිකයන් අතර ද ඇත්තේ ඇල්මැරුණු උනන්දුවකි. කතෝලික රදගුරු දොළොස්දෙන අතර ද ඒ ගැන ඒකමතික ක්‍රියා මාර්ග නැත.

කොළඹ බොහෝ පූජකවරු අතර පවා පෙනෙන උද්යෝගයක් නැත. කාදිනල් හිමි ආරම්භයේ සිට ම දැරුවේ තනි වෑයම් ය. අපරාධකරුවන් මරා දැම්මේ කතෝලික ගිහියන් ය. එහෙත් කාදිනල් හිමිවත්, කතෝලික රදගුරු මණ්ඩලයවත් පාස්කු අපරාධ නිරාකරණ කටයුතු වලට ගිහියන් සම්බන්ධ කර ගත්තේ නැත. ඒ ඇයි යයි ප්‍රශ්න කළ විට, සිරිල් ගාම්ණී ප්‍රනාන්දු පියනම පැවසුවේ, ...ගිහියන් ගේ ආරක්ෂාවට.....බවය කතෝලික රදගුරු මණ්ඩලයේ, ද්‍රවිඩ සාමාජික පිරිස පාස්කු ගැටළුව සිය ගැටළුවක් සේ නො සලකයි. තිස් අවුරුදු උතුරු ගැටුමේ දී ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් දකුණේ සිංහල රදගුරුවරු 'හ්ම්' වත් නො කී නිසා තමන්ට ද පාස්කු අර්බුදය අළලා එ සේ සිටින්නට සිදුව ඇතැයි, ත්‍රිකුණාමල රදගුරු නොයෙල් එම්මානුවෙල් හිමි කොළඹ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබීය.(2022.02.19 - බොරැල්ලේ සෙඩෙක් රැස්වීම් ශාලාවේ දී)

ගෝඨාභය රජ සමයේ කාදිනල් හිමි ඉල්ලා ඝෝෂා කළ, ජනක් ද සිල්වා ජනාධිපති පාස්කු කොමිෂන් සභා වාර්තාව, 2023 රනිල් වික්‍රමසිංහ ජනපති විසින් කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිට බාරදෙන ලදී. ගිහි කිතුනු කීප දෙනෙකු හැ. ඇ. පෙරේරා හිමි ගෙන් විමසූ විට පැවසුනේ එය නීතිඥයන් තිස් දෙදෙනෙකු සමග කාදිනල් හිමි විසින් අකුරක් නෑර විමසා බලමින් සිටින බවය. අදටත් මෙ රට කතෝලික ජනතාව, එහි ඇත්තේ මොනවාදැයි දන්නේ නැත. පාස්කු අපරාධයේ සුලමුල සෙවූ ස්වාධීන ගිහි සංවිධාන ද මේ වනවිට මතභේද වලට මැදිව කඩාකප්පල්ව ගොස්ය.

නොවැ. 14 ට පසු පත්වන ඇමති මණ්ඩලය, තමන් ඉදිරි අවුරුදු පහේ ක්‍රියා කිරීමට මුල්තැන දෙන ජාතික ප්‍රශ්න, ලේඛනගත කරනු ඇතැයි සිතමි. සමහර විට දුර දක්නා නුවණින් ක්‍රියා කර ඇත්නම් දැනටමත් එබඳු ලේඛනයක් රජය අත ඇතැයි සිතමි. ඔවුන් මුල්තැන දී ක්‍රියා කළ යුත්තේ රටේ දුප්පත්කම නැති කිරීමට හා රටේ රාජ්‍ය හොර මැර හා දූෂණ වැළැක්වීමටය. IMF ගිවිසුම ද ඔවුනට එ සේ කිරීමට බල කරනු ඇත. එ තැන දී සමහරවිට රජයේ පාස්කු වෑයම් මදක් පසුපසට යන ඉඩ ඇත. අ.කු.දි ලවා පාස්කු ගැටළුව හනික විසඳා ගන්නට ඇති දැඩි වුවමනාව හා, ඔහු එ සේ කරනු ඇතැයි යන දැඩි විශ්වාසය නිසාදෝ, නොවැ. 15 වන විට පත්වන ඇමති මණ්ඩලයේ අධිකරණ ඇමතිකමට,රාජනීතිඥ රියෙන්සි අර්සකුලරත්නයන් පත් කර ගැනීමට කාදිනල් හිමි දරන උත්සාහයක් ගැන ආරංචියක් පැතිර තිබේ.

එය වැරදි පුවතකැයි තවමත් කාදිනල් හිමි රටට දන්වා නැත. ධූරයට පත් වූ පසු ජනපති හා කාදිනල් හිමි ආ ගිය තැන්වල රියෙන්සි අර්සකුලරත්නයන් ඉදිරියෙන් ම අසුන් ගෙන සිටිනු රට දුටුවේය. විනිවිධ පෙනෙන නව පරීක්ෂණයක් යළි කෙරෙතොත් මැනවයි, ඊයේ පෙරේදා කාදිනල් හිමි පැවසීය.

ඒ අතර සජබ කතෝලිකයෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලති.( කාවින්ද ජයවර්ධන) කාදිනල් හිමි දැන් වෙසෙන්නේ කොයි මොහොතේ හා ධූරය අහෝසි විය හැකි වකවානුවේය. වයස 75 ඉක්මීම නිසාය. ධූරයේ තව කලක් සිට ඊළඟ පාප් තනතුරට තරග කිරීම සඳහා පාස්කු ගැටළුව දිග් ගස්සා ගැනීමේ වුවමනාවෙන් ඔබ ක්‍රියා කරන්නේදැයි ඊයේ පෙරේදාපුවත්පත් කලාවේදියෙකු කාදිනල් හිමිගෙන් ප්‍රශ්න කර තිබුනි. ඊළඟ කොළඹ රදගුරු, කාදිනල් හිමි සේ ක්‍රියා නො කරනු ඇතැයි අනාවැකියක් කී හිටපු ජනාධිපතිවරයෙකු මෙ රට සිටී. මෛත්‍රීපාල සිරිසේනය.

කාදිනල් හිමි පාස්කු අපරාධය රැගෙන පළමුව ගෝඨාභය පසුපස ගියේය. එහි, මගේ ආධාරකරුවන්ට ද චෝදනා ඇතැයි කියමින්, ගෝඨාභය කාදිනල් හිමි රැවටීය. පසුව කාදිනල් හිමි ජිනීවා ගියේය. පාප්තුමා වෙත ගියේය. දේවාණ්ඩුවේ සරණ පැතුවේ ය. කිසිවක් ම නො වූයේය. දැන් එ තුමා, ජනපති අනුර කුමාර දිසානායක සරණ යයි.

-- සිරිල් එඬේරමුල්ල. ---

2024.10.26.