පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරීම නිමිත්තෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු මෙන්ම මිගමුව පුරවැසි එකතුවේ ක්‍රියාකාරි සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ කරන ලද සාකච්ඡාවකි.
පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර 05 ක් ගතවෙනවා. ආසන්නම සිදුවිම ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනවා. මෙම සිදුවිම් ඔබ දකින්නේ කෙසේද?
මේ අවුරුදු 05 තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුවුණ කාරණා කීපයක් සිදුවෙනවා. උදාහරණයක් කොමිසමේ වාර්තාව පල්ලියට බාරදිම,දෙවෙනි අවස්ථාව තමයි මෛත්‍රීපාල සිරිසේනට වගකිම් ඉටුනොකිරීම වෙනුවෙන් අධිකරණයෙන් දඩුවම් පැමිණවිම. ඊටපස්සේත් දැන් කාලයක් ගතවෙලා ගිහින්. දැන් මෛත්‍රීපාලම කියනවා මම දන්නවා මේක කවුද කෙරුවේ කියලා. එතකොට ආපහු උනුණුසුමක් ඇති වෙනවා.
අපි දන්නෑ එයා මොනාද දන්නේ කියලා නමුත් මෛත්‍රිපාලට වගකිමක් තියෙනවා මේ දැනගත්ත තොරතුරු කියන්න. ඒ නිසා තොරතුරු වසං කිරීම යටතේ ඔහු පුද්ගලයෙක් හැටියට වැරදිකරුවෙක් කියන කාරණයකුත් මතුවෙනවා.ඊට පස්සේ නීතිය පැත්තෙන් තර්කයක් එනවා, මිනිහෙක් යමක් දන්නවා කියලා කට උත්තරයක් දුන්නට පස්සේ ඔහු අත්අඩංගුවට ගන්නට බැහැයි කියලා.
කොහොම හරි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉඳලා හිටලා බෝම්බ පත්තු වෙනවා. ඉඳලා හිටලා හරි පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලාත්මක ගතියක් එනවා. ඊට පස්සේ ආපහු යට යනවා.ඉතින් පල්ලියට තියෙන්නේ මේ පත්තුවෙන බෝම්බ අරගෙන, මේ ප්‍රහාරයේ මහමොලකරුවා කවුද කියන එක හොයාගන්න මැදිහත් වෙන එක. රට තුළ සිදුවෙන නීතිමය ක්‍රියාවලිය සහ ලංකාවේ ඝාතන කියන එක ගත්තහම, එහෙම දේශපාලනය ශක්තිමත්ව මැදිහත් වෙලා නැ.
අපි අරගෙන බැලුවහම හැත්තෑ එකේ කැරැල්ල අසූ නමය සහ යුද්ධය. ජාත්‍යන්තරයට කියනවා ,ඔව් අපි හොයනවා කියලා කියනවා. එහෙම පොරොන්දු දුන්නට ඒවා ගැන ඇත්තම උවමනාවක් නැහැ.
දැන් අරගෙන බැලුවොත් අසූ නමයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා හැටදාහක් අතුරුදහන් වුණා කියලා.එතකොට ඒ පිළිබඳව පත් කරපු කොමිසමට උතුරු නැගෙනහිරෙන් සහ දකුණෙන් එනවා 26000කට ආසන්න සංඛ්‍යාවක්.
එතකොට මන්නාරම රදගුරු කියනවා යුද මුක්ත කලාපයට ඇතුල් වෙච්ච මිනිස්සුන්ගේ වෙනස එක් ලක්ෂ හතලිස්හත්දාස් හයසිය ගණනකට කිට්ටුයි කියලා.
ඉතින් මේවට කිසි දෙයක් කෙරුනේ නෑ මේ රටේ.කොමිෂන් දානවා, ජාත්‍යන්තරයට ගිහින් විවිධ පොරොන්දු දෙනවා.ප්‍රහාරයන්වලට විරුද්ධ වුණු මිනිස්සු බලය ගන්න එකට ඒක පාවිච්චි කළා.
දැන් මෙතන වෙන්නේ වෙන කතාවක්.දෙසිය පනස් ගණනක් මැරෙනවා.මැරුණට පස්සේ මේක ගැන විවිධාකාර පාර්ලිමේන්තු කමිටුපත් කරනවා.ඊට පස්සේ කොමිසමක් පත් කරනවා.ඒ කොමිසමේ, මට මගේ මතක හැටියට පිටු දහ දහස් ගානකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලයි කිව්වේ.එතකොට ඒකේ සාක්කි තියෙනවා.ඒක යෝජනා කීපයක් කරනවා. ඒ අය පිළිබඳව විණය පරීක්ෂණ කරන්න කියලා යෝජනා කරනවා.හැබැයි ඒවා වෙන්නේ නෑ.නඩු පවරන්න කියලා කියනවා, වෙන්නේ නෑ.මොකද, ලංකාවේ ආණ්ඩු දේශපාලනයේ උවමනාවත් එක්ක ගැටගැහිලා ඉන්න මිනිස්සු පාවා දීලා නෑ.අතුරුදහන් වූවන්ගේ ඉඳලා මේ පාස්කු බෝම්බය දක්වාම ගමන් කරලා තියෙන්නේ ඒ විදිහටයි.
ඇත්තටම පහුගිය කාලේ අරන් බැලුවොත්, මේක ඉදිරියට ගේන්න කතෝලික සභාවේ කාදිනල් තුමා විශාල වශයෙන් මැදිහත් වුණා. පල්ලිය එහෙම පිටින්ම මේකට බැහැලා වැඩ කරනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.
කාදිනල් හිමි මේක කරට ගත්තා.හැබැයි කාදිනල් හිමි මේක කරට ගද්දි එයා දිහා හැමදෙනාම බැලුවේ සැකෙන්.ඇයි? එයා පහුගිය කාලාන්තරයක් තිස්සෙම හිටගෙන හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට gsp + සහනය නොදෙන්ඩ ,මානව හිමිකම් කඩ කරනවා යැයි කියන පදනමෙන් මිදෙන්න උත්සාහ කරද්දී ආණ්ඩුව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ලත් එක්ක, පාප් තුමා ඇතුළු,සමහර නායකයින්ව හම්බෙන්න ගිය දූත පිරිසේ අපේ කාදිනල් තුමාත් හිටියා.
එයාගේ තියෙන දේශපාලනය හෝ වෙනත් හිතවත්කමක් උඩ ඒ අය වෙනුවෙන් පෙනී හිටියා. ඉතිහාසයේ සිද්ධවෙන දෛවෝපගත සිද්ධියක්ද දන්නෑ ,පල්ලියට බෝම්බ තියලා මිනිස්සු 250ක් මැරිච්චහම,එයා කාලෙකට පස්සේ කියන්ඩ ගත්තා මහමොලකාරයෙක් මේක පිටිපස්සේ ඉන්නවයි කියලා. එයා හැම තැනකදිම හැම දේශනාවකදීම කියනවා මහමොලකාරයෙක් ඉන්නවා මේ රටේ. ඒක හොයන්න ඕනා.ඒ විතරක් නෙමෙයි ආර්ථිකය කඩාවැටිලා, හොරකම් කරලා තියෙනවා, කියලා.හැබැයි අහේතුවකට මම හිතන්නේ පල්ලියෙන් ලැබෙන්න ඕන උපරිම සහයෝගය මේකට ලැබෙන්නේ නැහැ.
අප්‍රේල් 21 වෙනිදාට පල්ලියේ කරන වැඩේදී , ලොකු සෙනඟක් පල්ලියට ගේන්න පුළුවන්.පෙළපාලියක් තියන්න පුළුවන්.ගිය සැරේ මීගමුවේ ඉඳලා කොළඹට ගියා පා ගමනක් ගියා. හැම පල්ලියක්ම පාරට ආවා.ඒවා හොඳ දේවල්.ඒවා වෙනුවෙන් පෙනී හිටිනවා කියන අදහස.නමුත් තියෙන අඩුපාඩුව තමයි,ඒ මිනිස්සුන්ට මේකෙ ඇත්ත යථාර්ථය මේකෙ තියෙන දේශපාලනය,මේක දේශපාලන බලය සඳහා කරපු මිනිමැරුමක්, කියන ඒවා,ඒවා මිනිස්සුන්ගේ ඔලුවලට දාලා පැහැදිලිවම මිනිසුන්ගේ ඇතුලෙන් ඇත්ත ප්‍රතිවිරෝධයක් හදන්න පල්ලිය මැදහත් වෙන්නේ නැහැ.
ඒක තමයි කනගාටුවට කරුණ. දැන් බලන්න පල්ලියේ තියෙන යාන්ත්‍රණය ගත්තොත් හැම ඉරිදාම ලක්ෂ ගාණකට වඩා සෙනඟක් රැස්වෙනවා. ඒ අයට ඒක විනාඩි දහයක් ගත කරනවා නම් මේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවෙමින් තිබෙන දේ කියන්න එහෙනම් මිනිස්සු කල්පනා කරන්න ගන්නවා,මිනිස්සු තමන්ගේ හදවතින්ම එකඟ වෙනවා මෙහෙම අපරාධයක් වුණා කියලා,එහෙම හදවතින්ම එකඟ වුණාට පස්සේ මිනිස්සුන්ට පුළුවන් මේ රටේ ආණ්ඩුවක් වුණත් ගෙදර යවන්න,හැබැයි පල්ලිය ඒක කරන්නේ නෑ.පල්ලියේ ඉඳලා හිටලා පාරට සෙනඟ ගේනවා. ඒක හොඳයි,නමුත් අපි අහන්නේ පල්ලියෙන් ඒ එළියට ගන්න මිනිස්සුන්ව මේ අපරාධය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කම්පනයක් ඇති කරන්න,ඇත්ත යුක්තිය ඉල්ලන්න කොයිතරම් නම්,උත්සාහයක් දරනවද කියන එක ගැන නම් අපට බරපතල ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රහාරය සිද්ධවෙන වෙලාවේ වගකිව යුතු මේ අය ගැන විණය පරීක්ෂණය තියන්න ඕන කියලා කිව්වහම ඒකෙන් පොඩි ගැම්මක් ආවා. මිනිහට මිලියන 100ක් වන්දි මුදලක් නියම කරනවා.මීට කලින් හිටපු පාලකයෙක් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කෙරුවේ නෑ කියලා මේ විදිහට දඩයක් ගහලා නැහැ. මේක ස්වර්ණමය අවස්ථාවක්. සියල්ලක්ම නිසා අධිකරණයට තේරුණා මේකට සාධාරණයක් ඇති නොවුනොත් මිනිසුන් කලබලයක් ඇති කරයි කියලා.
ඒක ඉතාම සාර්ථක ප්‍රතිඵලයක්. අධිකරණයෙන් දුන්නු තීන්දු ගැනවත් සඳහන් කරලා කතෝලික ජනතාවගේ විරෝධතාවය වැඩි කරගන්න පල්ලිය උත්සාහ කළේ නෑ. මීගමුව පුරවැසි එකතුවයි, තව සංවිධාන කීපයකුත් එක්ක එකතුවෙලා අපි පටන් ගත්තා හැම මාසෙම 21 වෙනිදා පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වෙන තෙක් පාරේ හිටගන්න. අපි පාර හිටගන්නවා විසි එක් වෙනිදට. අපි පාර හිට ගත්තහම එතනදි යම් සාකච්ඡාවක් එනවා. ඇයි පල්ලියට බැරි ?
අඩුම තරමේ මීගමුව එක එක පල්ලියේ සෙනඟ පාරට ගෙනල්ලා දැනුවත් කරනවා නම් මේ මිනිස්සු දැනුවත් වෙන්නැද්ද ? ස්වේච්ඡාවෙන් සහ තම කැමැත්තෙන් මේ අසාධාරණයට විරුද්ධව ඉදිරිපත් වෙන්නේ නැද්ද?
මහමොලකාරයාගේ නම නොකිව්වාට නොකියා කියන්නේ ගෝටාභය රජෙපක්ෂ කියලා.ඒක කියන්න ධෛර්්‍ය හදාගන්න ඕනා. පැහැදිලි සාක්ෂි තියෙනවා. මොකක් ද තියෙන ප්‍රධානම සාක්ෂිය.
එයා ජනාධිපති වුනාට පස්සේ අගමැති පත්කරන්නත් ඉස්සෙල්ලා කලේ මොකක්ද?
මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හොයා බලපු පොලිස් කණ්ඩායම හෙමින් සීසීකඩ විසි කරල දැම්මා.
ඒකම ඇති ප්‍රධාන සැකයකට හේතු වෙන්න.පොලිසිය මිනිස්සු යම් පරීක්ෂණ ටිකක් කරලා යම් උත්තර ටිකක් එලියට ගේද්දි එයා ජනාධිපති වෙච්ච දා අගමැතිවත් පත් නොකර ඒ පොලිස් කණ්ඩායම විසිරුවා හරිනවා.ඉතිං ඒකම සැකයක් නොවෙයිද? බුද්ධි අංශයේ මැදිහත්වීම ඉතා පැහැදිලිවම එයාලා ඔප්පු කරනවා.
පාස්කු ප්‍රහාරයේ වාර්තාව ජනතාව අතට පත්නොකරන්නේ ඇයි ?
ඇයි මේ වාර්තාව සාමාන්‍ය ජනතාව අතට පත්නොකරන්නේ.මේක එහෙම හැමෝටම හොඳ නෑ මේක රාජ්‍ය රහස්.එහෙමයි හිතාගෙන ඉන්නේ.අපි පාරේ හිටගත්තා, ඒ වගේම තව මැදිහත්වීම් සිදුවුණා, ඒ වගේ මහාධිකරණයේ සියලුම දේවල් සලකා බලලා ආණ්ඩුවට සිද්ධ වුණා, ඒ කොමිසම් වාර්තාව පල්ලියට බාර දෙන්න.හැබැයි පල්ලිය කරන වැරැද්ද මොකක්ද? ඒ කොමිසම් වාර්තාව එයාලට පුළුවන් වෙබ් එකකට දාන්න. දාලා මහජනතාවට අතරට ගෙනියන්න.ඒක කරන්නෑ ඇයි ඒ? දැන් පල්ලිය ආණ්ඩුවටත් වඩා ආරක්ෂා කරනවා, ඒ වාර්තාව. කාදිනල්තුමා තව නීතිඥ මණ්ඩලයක් එක්ක, ඒක පිටුවෙන් පිටුවට කියවනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ.ඒක හොදයි.නමුත් ඒක මහජන ලියවිල්ලක් කරන්න පුලුවන්නේ.අපි ගරු කරනවා පල්ලිය මේ කරන දේ පිළිබදව. නමුත් පල්ලියේ ඇත්ත උවමනාව පිළිඹිබු වෙන්නෑ කියලා මට හිතෙනවා.
අපි මීගමුවේ තවත් සංවිධානත් එක්ක එක්කාහු වෙලා උද්ඝෝෂණය කරද්දි අපිට අවස්ථාවක් හම්භවුණා කාදිනල්තුමා සමග එක්රැස් වෙන්න.එදා අපි හැදුවා අලුත් ව්‍යාපාරයක්. ඒකේ සභාපති හැටියට පත්ඒවුණා කොළඹ (එක් අංශයක් භාර) රදගුරු මැක්වෙල් පෙරේරා ප්‍රියතුමා.හැබැයි එතනදි කාදිනල් කිව්වේ මොකක්ද ? මේක ගිහියෝ කරන්න ඕනා දේ,ඒ නිසා මේ මිගමුවේ විවිධ සංවිධාන එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න මැදහත් වෙන එක ලොකු දෙයක් ඒ නිසා ගිහියෝ හැටියට මේක අරන් යන්න කියලා කිව්වා. රැස්විම් දෙක තුනක් තිබ්බා. ගිය අවුරුද්දේ අප්‍රේල් වල තිබ්බ උද්ඝෝෂණයට මැදිහත් වුණා. ගිය අප්‍රේල් වලින් පස්සෙ එක රැස්විමක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා නමුත් ඒක නිතිපතා කැඳවගෙන මේ ගිහියන්ගේ පැත්තෙන්,ස්වෙච්ඡා සංවිධාන පැත්තෙන්, මේ මානව හිමිකම් ගැන කතාකරන සංවිධාන වලින් ආපු උද්යෝගය ඉදිරියට ගෙනියන්න කටයුතු කළේ නෑ, රැස්වීම තියන්නෙත් නෑ.
ඔන්න දැන් අහපුවාම කියනවා,අපි අප්‍රේල් වල ලොකු වැඩක් කරනවා. ඒ වැඩේට ඔක්කෝම සහභාගි කරගන්නවා කියලා. දැන් ඉතින් මේක මංගල්ලයක් වෙලා.අවුරුද්දකට සැරයක් සෙනඟ පාරට ගේන එක මංගල්‍යයක් වෙලා.
දැන් මෛත්‍රිපාලගේ බෝම්බය ගන්න තියෙන්නේ. මෛත්‍රිපාලව කතා කරවන්න ඕනා, නිකන් ඉඳලා බෑ. උසාවියට පොලිසියට විතරක් මෛත්‍රිපාලව කතා කරවන්න බැහැ.මහජන අප්‍රසාදයක් ඇති කරන්න ඕන මෛත්‍රිපාල ගැන. දේශපාලන නායකයෙක් හැටි එයාට ගැලවෙන්න බැරි විදියට විදිහට බලපෑම් කරන්න ඕන.අපි බලන් ඉන්නවා පල්ලිය ඒක කරනවද නැද්ද කියලා. හැබැයි අපි සිවිල් වැසියන් හැටියට මීගමුව පුරවැසි එකතුව හැටියට අපි මේ විරෝධය දිගටම පවත්වනවා.
හැබැයි මේ ළඟදි මීගමුව ලෙල්ලම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා.ඒක අවුරුදු ගාණක් උසාවියේ තිබිලා උසාවිය යම් තීන්දුවක් දීපුවහම, බිෂොප් හවුස් එක ඉස්සරහට ගිහිල්ලා ලොකු උද්ඝෝෂණයක් කළා.
ඒ ධීවරයෝ විවිධ විදිහට පල්ලිය විවේචනය කළා.මෙතනදි අපිට මතුවෙන ප්‍රශ්නය තමා පහුගිය කාලෙම මේ පාස්කු බෝම්බ මංගල්‍යයට,මිනිසුන්ව පාරට ගේන්න පල්ලියට බැරුව ගියා. සාමාන්‍ය දවස්වල මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කතාව ඉදිරියට ගෙනියන්න කතෝලික ජනතාව සක්‍රීය කරන්න පල්ලියට බැරිවුනා.හැබැයි ලෙල්ලමේ කතන්දරේ ආවහම මීගමුවේ බොහෝ පල්ලිවල ධීවරයින් සෙනඟව පාරට ගෙනල්ලා අපේ ලෙල්ලම අපිට දියව් කියලා කියන්න පටන් ගත්තා.
එතකොට පල්ලියට උවමනා නම් ඒ තරම් වුවමනාවක් ඇති කරන්න පුළුවන් පාස්කුව ගැනත්.පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලන එක, අවුරුද්දකට සැරයක් කරන මංගල්‍යයකට සීමා නොකර,ලෙල්ලමේ ප්‍රශ්නයට වගේ කරපු මැදිහත්වීම දිගටම කරනවා නම් ,පාස්කුවේ තීන්දුව ජයගන්න පුළුවන්.
කටුවපිටියේ ජනතාව ඇයි මේවට සහය දක්වන්නේ නැත්තේ??
එයාලා සහය දක්වන්නේ නැහැ.එයාලාගෙන් මොනාහරි උදව්වක් ඉල්ලපුවාම කියන්නේ පල්ලියේ ස්වාමිගෙන් අහන්නේ නැතුව අපිට එන්න බැහැ කියලා.අපිට ප්‍රකාශයක් වත් දෙන්න බැහැ කියනවා. වින්ඳිතයන් වෙනුවෙන් අපි අනුකම්පා කරන්න ඕනා. සිද්ධ වෙච්ච දේ වන්දියක් ලබා දෙන්න ඕන, ඒක යුතුකමක්. ඒ මිනිස්සුන්ගේ ජීවත්වීම ගැන සලකා බැලිය යුතුයි. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් නැහැ.පල්ලිය කළ යුත්තේ වින්ඳිතයින්ව සූදානම් කරවීමයි. තමන්ට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න පුළුවන් සුදුසුම අය තමා වින්ඳිතයෝ.
වින්ඳිතයන්ව පෙළ ගස්සන එක තමයි කරන්න ඕන හරිම දේ. නමුත් පල්ලිය ඒක හිතා මතාම නොකර ඉන්නවා. පල්ලිය දැනුවත්වම වින්ඳිතයන්ව ගාවන්නේ නැතුව ඉන්නවා.ඒ තරම් අපරාධයක් වෙන කොහෙවත් නැහැ. මොකද ඒ මිනිස්සුන්ට තමා වැඩිම හැකියාව තියෙන්නේ තමන්ට වෙච්ච දේ මත ඉඳලා අනුන්ට වෙන්න තියෙන දේ වළක්වන්න.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවිම වෙනුවෙන් ජාත්‍යන්තරව හෝ දේශීව සිදුවෙන ක්‍රියාකාරකම් වල වර්තමාන තත්ත්වය?
මම දන්න තරමින් කාදිනල් තුමා ජිනීවා සමුළුවත් ඇමතුවා මේ කාරණය සම්බන්ධයෙන්.ඒ නිසාම එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ වාර්තාවේ පාස්කු බෝම්බය ගැනත් සඳහන් කරනු ලැබුවා.හැබැයි ජිනීවාවල මොන මොන යෝජනා ගෙන ආවත්,ඒක ආණ්ඩුව පිළි අරගෙන ඒ අනුව කටයුතු නොකලොත් කරන්න දෙයක් නැහැ.
අපි කාදිනල්තුමාට යෝජනා කරා එක වැඩපිළිවෙලක් හදමු කියලා. බලපෑම කිරීමේ පැත්තෙන් මොනවද කරන්න තියෙන්නේ උද්ඝෝෂණ පැත්තෙන් මොනවද කරන්න තියෙන්නේ නීතිමය පැත්තෙ මොනාද කරන්න තියෙන්නේ කියලා වැඩ බෙදාගෙන. සිවිල් සංවිධාන හැටියට අපිටත් බෙදා ගැනීමක් කරන්න පුළුවන්.
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමට දැනට මැදිහත් වෙලා ඉන්න සංවිධාන සහ පුද්ගලයින්ගේ හැකියාව අනුව,ඒ වැඩ බෙදාගන්න තිබුනා. මේ සියලු මැදහත් වීම් ඒකාබද්ධ වැඩපිළිවෙලකට නොගෙනාවොත්, යම් යම් වැඩ සිද්ධ වෙනවා විතරයි. අපිට තේරුම් ගන්න බැහැ පල්ලියේ ඇයි ඒක නොකරන්න කියලා.අපි දිගින් දිගටම යෝජනා කරා පල්ලියට.කාදිනල් තුමාට අපි කිව්වා, කතෝලික සභාව රැස් වෙච්ච අවස්ථා කිහිපයකදීම අපේ යෝජනාව.
මේ වගේ දේවලදී ආණ්ඩුව දන්නවා කිසිම සංවිධානයකට මේ වගේ ප්‍රශ්නයක් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගන්න බැහැ, දිගින් දිගටම අල්ලගෙන ඉන්න බැහැ කියලා. ඒවා ඉබේම නැතුව යනවා.ආණ්ඩුව ඒක දන්න නිසා ආණ්ඩුව ඒ වෙනුවෙන් කල් ගන්නවා.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ගෙන්නනවා කිව්වා. පස්සේ එයා පොහොට්ටුවේ හිර කාරයෙක් හැටියට එයාට දැන් ඒ කිව්ව දේවල් මොකුත් කරගන්න බැහැ.
ඉතිහාසයේදීත් යුද්ධය පැවති වකවානුව තුළ දෙමළ ජනතාව මර්ධනය කිරිමට ඉස්ලාම් අන්තවාදි පිරිස් බුද්ධි අංශ විසින් පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරයට ඉස්ලාම් අන්තවාදින්ගේ සෘජු සම්බන්ධයක් තිබෙන බව තහවුරු වුණා. මේ කාරණය ගැන ඔබේ අදහස කුමක්ද ?
තියෙන තොරතුරුත් එක්ක ගත්තහම මූලධර්මවාදීන්ව රජය පාවිච්චි කළා කියන එක තමා අපිට එන්න පුළුවන් නිගමනය. බුද්ධි අංශයෙන් පඩි ගෙව්වා කියලා,එතකොට සහරාන්ලාව පාවිච්චි කළා. දෙමළ මිනිස්සුන්ගේ අතුරුදහන් කිරීම් සහ ඝාතනයන්ට. ඒකම පස්සේ කාලෙක මේ සඳහා යොදාගන්න පුළුවන් කියන කාරණය ගැන අපට සැක කරන්න පුළුවන්.
එදා කොළඹ හෝටලේකට බෝම්බ තියන්න ගිය මනුස්සයෙක් ආපහු ඇවිල්ලා දුරකථන ඇමතුම් අරන් තිබුණා. ඒක ගැන හොයන්නෙ නැහැ.ඒ වගේම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තු කෙනෙක්ව මුදවගෙන යනවා. පොලිසියෙන් හෝ හමුදාවෙන් ඒක අපේ වැඩක් කියලා. උතුරේ පොලිස් මුරපොළකට පහරදීමේ සිද්ධිය ඉතාමත් පැහැදිලිව සැක සංකා හැදෙන විදිහට බුද්ධි අංශයේ වැඩ කරලා තියෙනවා.මේකෙදි ඉතා පැහැදිලි බෝම්බය තියන්න ඇත්තේ ඔය කියන අන්තවාදීන් තමයි. නමුත් බෝම්බය එයාලා අතට පත් කරන්නට. මේවා සැලසුම් කලේ කවුද කියන එක සැක කරන්න පුළුවන්.ඕනම ආගමක අන්තවාදීන් ඉන්න පුළුවන්. බුද්ධාගමෙත් ඉන්න පුළුවන් කතෝලික ආගමෙත් ඉන්න පුළුවන්.එතකොට දේශපාලන වශයෙන් ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකයි පොලිස් නිලධාරීන්ට පවා මේවා එළියට ගේන්න බැරුව ගියේ.
කතෝලික සභාවට ඇඟිල්ල දික්කරනවා වගේම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමේ කාරණාව සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වලටත් යම් අභියෝගයක් තියෙනවා නේද?
ප්‍රධාන වශයෙන් පාස්කුව සම්බන්ධයෙන් එහෙම සිවිල් ව්‍යාපාරයක් ලංකාවේ නැහැ. ඒත් ඒ විවිධ බෙදීම් තමයි තියෙන්නේ. ලංකාවේ සිවිල් ව්‍යාපාරයේ තියෙන එක පොදු ලක්ෂණයක් තමයි වෙන වෙනම පවතිනවා වගේම දේශපාලන පක්ෂවල වගේ ඒකාබද්ධව වැඩ කිරීම එහෙම සාර්ථකව කරලා නැහැ.එතනදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නෙමේ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙනුත් එහෙම තමයි.බෙදිලා ඉන්නේ.මැතිවරණ පිළිබඳව කතා කරන අය මැතිවරණ පිළිබඳව කතා කරනවා.වද හිංසාව පිළිබඳව කතා කරන අය වද හිංසාව පිළිබඳව පමණයි කතා කරන්නේ.අතුරුදහන්වීම් පිළිබඳව කතා කරන අය අතුරුදහන්වීම් පිළිබඳව කතා කරනවා.ඉතින් මේ මේ අය ඉඳලා හිටලා අපේ මගුල් ගෙදර ආපු නිසා අපිත් එයාලගේ මගුල් ගෙදර යන්ඩ ඕනා කියන පදනමෙන් කියලා එක එක්කෙනාගේ වැඩවලටත් සහභාගි වෙනවා. නෙට්වර්ක් කියලා එකක් තියෙනවා.නමුත් ඒ ජාල ගතවීම කියන සාකච්ඡාවේදී වෘත්තිය සමිති හෝ තව කණ්ඩායමක් වද හිංසාව තමන්ගේ ප්‍රශ්නයක් හැටියට ගන්නේ නැහැ.
මේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජාලගත වීම තුළ සිවිල් සංවිධාන කරන්ඩ ඕන ඒ ප්‍රශ්නය ඔක්කොම ටික එකතු කරලා, එක, හිංසාව වෙන්න පුළුවන් අතුරුදහන් වීම් වෙන්න පුළුවන්.ඉඩම් අහිමිවෙන්න පුළුවන් පුළුවන්.
එතකොට සිවිල් කියන්නේ බෙදලා වෙන් කරන්නේ නැතුව ඒ සියලු පොදු ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වීමයි. නමුත් එහෙම ව්‍යාපාරයක් ලංකාවේ නැහැ.
ඒ නිසා අපි දැක්කා උතුර යුද්දෙදි,විවිධ ස්ථාවරයන් ගත්තා. එකක් තමයි උතුරේ යුද්දෙදි දකුණේ ජාතිවාදී රැල්ල ප්‍රබල නිසා,ඒ පිළිබඳව තීරණ අරගෙන පොදුවේ හිටගන්න ධෛර්යයක් තිබුණේ නැහැ සිවිල් සංවිධාන වලට. සමහර පිරිස් හිටියා එහෙම වැඩකරපු.
ඉතින් මේකදී අපි ඇත්තටම හිතන්න ඕනා,මේ සිවිල් සංවිධාන ජාලයක් හදාගන්න පුළුවන්ද කියලා,සිවිල් සංවිධාන වලට තියෙන චෝදනාවක් තමා මේ හැම ප්‍රශ්නයක්ම විකුනලා සල්ලි හොයනවා කියන එක. හැම ISSUE එකක් ගැනම කතා කරන එක ආණ්ඩුවට අමාරුයි. ආණ්ඩුවේ මේ ක්‍රියාව බරපතළ විදියට ප්‍රශ්න කරන්නේ සිවිල් සංවිධාන විතරයි. මේ රටේ පොදු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න ,එහෙම නොකර බැහැ.
අපි එන්න එන්න මානව හිමිකම් වලින් පිටිපස්සට යන්නේ,අපි ඉස්සරහට යන්නේ නැහැ. 1989 ඉඳලා යුද්ධය දක්වාම ඒ සිද්ධ වෙච්ච දේවල් වලට උත්තරයක් දෙන්න බැහැ. මේවට උත්තර දෙන්න කියලා අපි සිවිල් සමාජයේ හැටියට ආණ්ඩුවට බල කලොත් විතරයි නැවත ඒවා වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙන්නේ.ඒ අතින් මම හිතනවා සිවිල් සංවිධාන හැටියට අපිත් අසාර්ථකයි.ඒකාබද්ධව මෙහෙයවීමක් නොකරන තාක් කල්.
පවතින රජය සහ වෙනත් හිටපු රජයන් විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව දිගින් දිගටම ගෙනෙන නව මර්ධන නීති , පනත් ඉදිරියේ ඒවට අභියෝග කිරීමට ශක්තිමත් සිවිල් ව්‍යාපාරයක් ලංකාවේ නැහැ. ශක්තිමත් සිවිල් ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අලුත් සාකච්ඡාවක් තිබෙනවා ද?
දැන් අරගලය විසිරුනා නේ. ඊට පස්සේ පස්සේ එහෙම පුළුල් මහජන වේදිකාවක් නැහැ.
මේ අවස්ථාවේ එහෙම ප්‍රබල සිවිල් සමාජ ව්‍යාපාරයක් නැති නිසා එහෙම එකක් අවශ්‍යතාවය,තිබෙනවා.
අරගලයේදී සිවිල් සංවිධාන වල මැදිහත්වීමක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. සමහර විට සිවිල් සංවිධාන වල මැදිහත්වීම නොතිබුණ වෙන්න ඇති, ඒක ඒ තරම් සාර්ථක වුනේ. මිනිසුන්ගේ ඇත්ත පීඩනය එලියට පුපුරලා ආවා.
පක්ෂ වල හෝ සංවිධාන වල දැනුවත් නායකත්වයක් නොතිබිච්ච නිසා රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ල තමයි ඒක අවසන් වුණේ. නමුත් අරගලයට ගෞරවයක් තියෙනවා. මිනිස්සු යම් පාඩමක් ඉගැන්නුවා.මේ අවුරුදු පහකට සැරයක් එන මැතිවරණයේ නියෝජිතයන් තෝරනවාට වඩා පහසුයි , ලක්ෂ 8ක් විතර එකපාර පාරට ආවොත් ආණ්ඩුවක් වට්ටන්න පුලුවන් කියන පාඩම කියලා දුන්නා.
සිවිල් සංවිධාන හැටියට අපි බලාපොරොත්තු වුණු ඉලක්කයට ළඟා වෙලත් නැහැ. අපි සිවිල් සමාජය හැටියට අපි කරන කටයුතු නිසා යම් භයානක දේවල් වැලකිලා තියෙනවා.මානව හිමිකම් හොඳටම කඩා වැටෙන එක නැවතිලා තියෙනවා,නමුත් ප්‍රගමනයක් නැහැ.ඒ වෙනුවෙන් ලංකාවේ සංවිධාන වල එකතුවකුත් නැහැ,
සාකච්ඡා කීපයක් යන බව මම දන්නවා. සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා විවිධ සංවිධානවල, විවිධ සිවිල් ක්‍රියාකාරීන් අතර සූම් සාකච්ඡා ආදී සාකච්ඡාවන් වෙනවා,ඒ සම්බන්ධයෙන් මම දැක්කා සංවිධානයක් දෙකක් පොතකුත් ගහලා තියෙනවා. ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන්නේ කොහොමද යන තේමාව මුල්කරගෙන. මේ ළඟදි සම්මන්ත්‍රණයක් තිබ්බා.
සිවිල් සංවිධාන හැටියට අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන්නේ කොහොමද කියලායි. ජනතාවගේ බලය ගොනු කරන්නේ කොහොමද කියන එක. හැබැයි එහෙම පුළුල් එකතුවක අවශ්‍යතාවය සහ බරපතළකම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ආයෝජනයක් කිරීමට උත්සාහ කරන කිසිදු සංවිධානයක් නැහැ.ඔක්කොම කරන්නේ තමන්ගේ වැඩේ කරන ගමන් ඉදල හිතලා මේ ගැනත් සාකච්ඡාවක් කරන එක විතරයි.
ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්.නමුත් අපි හොඳයි කියන ආණ්ඩුවක් පත් කළත් ඒක නරක් වීමේ ඉඩකඩක් තියෙනවා සිවිල් ක්‍රියාකාරී මැදිහත්වීමක් නැතිව ගියොත්.
සටහන – කුමාරි ප්‍රනාන්දු
ඡායාරූප – ප්‍රියපේම මාණික්කරත්න