පියාගේ ඝාතනයට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය – හිරුණිකා

0
79

hirunika-2

තම පියාණන් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

සිය පියාගේ ඝාතනය නිසා රාජපක්ෂ පාලන සමයේ දී ප්‍රධාන වින්දිතයා බවට තමා පත් වූ බව පැවසූ මන්ත්‍රීවරිය රාජපක්ෂ පාලන සමයේ දී මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර අද ඔවුන්ට අමතකව ගොස් ඇතැයි ද සඳහන් කළාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට ‍එක් වෙමිනි.

‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැර ක්‍රියා සහ සුදු වෑන් පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා රහස් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බවද මන්ත්‍රීවරිය සිහිපත් කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණට කිසිම අභියෝගයක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය වසර 2015 මැතිවරණයේදීත් එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයා ඉදිරිපත් කළේ මැතිවරණයට ආසන්නව බවද කීවාය.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවත් වසර 2015 මැතිවරණයේ දී පෙරමුණ සමඟ එක්ව සිටි පක්ෂ සංවිධාන මෙවරත් එදා මෙන්ම සහාය දක්වන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. දැවැන්ත සංවර්ධනයක් ගමට සිදු‍කරමින් ජනතා සුබසිද්ධියට අප්‍රමාණ වැඩකොටසක් ඉටු කර මෙවර ඡන්දයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ‍හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකු නොවන බව ඉකුත් දා ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව පැවසූ නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතැම් මාධ්‍ය ගෝඨාභය මහතා ඔසවා තැබීමට විශාල ප්‍රචාරයක් ගෙන ගියත් ඉන් ඵලක් නොවන බව අවධාරණය කළාය.

(කමනි අල්විස් – දිනමිණ)