පිළිකා බෙහෙත් හිඟයක් ! – රෝගීන් අසරණයි

0
370
මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා පිළිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ගවල හිඟයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක ‘අනිද්දා’ පුවත්පතට පවසා ඇත.

අදාළ ඖෂධ වර්ග එක් එක් රෝගියාගේ පිළිකා රෝගී තත්ත්වය අනුව ලබාදෙන බවත්, ඇතැම් රෝගීන්ට විශේෂිත වන ඖෂධ වල හිඟයක් පවතින බවත් ඊට හේතුව ආනයනය කිරීම සීමාසහිත වීම බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම පුවත්පතට අදහස් දක්වා ඇති රෝගීන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ, පිළිකා රෝහලෙන් නොමිලේ ලබාදුන් එම ඖෂධ වෙළඳපොලෙන් මිලදී ගැනීමේදී අධික මුදලක් වියදම් කිරීමට සිදුව ඇති බවයි.

එහිදී එක් රෝගියකු සඳහන් කර ඇත්තේ, තමන්ට මිල දී ගැනීමට එක් ඖෂධයක් සඳහා පමණක් මසකට රුපියල් 30,000ක මුදලක් මේ තත්වය යටතේ වියදම් කිරීමට සිදුව ඇති බවයි.

පිළිකා රෝගීන්ට ‘නැතුවම බැරි ඖෂධ’ :

Canser 1
මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් මිට ඉහත දී ‘ලංකාදීප’ පුවත්පත වෙත අදහස් දක්වා ඇති රෝහලේ වෘත්තිය සමිති නියෝජනය කරන හෙද කාර්ය මණ්ඩලය ඖෂධ හිඟය සම්බන්ධයෙන් උදාහරණ දක්වමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයට අනුව ඔවුන් පෙන්වා දෙන ඖෂධ වර්ග කිහිපයක තොරතුරු මෙසේ දැක්විය හැකිය.

මෙම හිඟ ඖෂධ වර්ග මූලිකවම පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රධාන ඖෂධ අතරට අයත් වේ. ඒ එම ඖෂධ වර්ග ආමාශගත පිළිකා, රුධිර පිළිකා, පෙනහලු පිළිකා ප්‍රධාන කරගත් පිළිකාවන්ට ලබා දෙන ඖෂධ වර්ග හේතුවෙනි.

මෙම ඖෂධ වර්ග නැතුවම බැරි ඖෂධ’ ගනයට අයත් වේ. මේ වෙන විට එම ඖෂධ ද මාස පහක කාලයක සිට හිඟව පවතී. ඖෂධ ගෙන්වීමේදී ගතවෙන ඉදිරි තුන්මාසයක කාලය ද සමග මාස අටක් දක්වා මේ අනුව දීර්ඝ වෙනු ඇත.

පිළිකා රෝගීන්ට ‘නැතුවම බැරි ඖෂධ’ ලෙස හඳුන්වන මෙම ඖෂධ මූලික වෛද්‍ය නියමයකට ඇතුළත්ව පවතී. ඒ නොකඩවා එක දිගට, නියමිත කාලයක් දක්වා, සකස් කළ බෙහෙත් වට්ටෝරුවකට අනුව ගත යුතු බවට නිර්දේශ කළ ඖෂධ වර්ග යනුවෙනි.

#  මිලි ලීටර් 100 ක ප්‍රමාණයෙන් නිපදවෙන Docetaxol Injection සහ Palitaxol Injection ඖෂධ වර්ග යුගලය ශරීරයට එන්නත් කරනු ලබන ඖෂධයකි. මෙය තනිව ලබාදෙන ඖෂධයක් නොව, සහායක බොන බෙහෙතක් සමග ලබාදෙන ඖෂධයකි. සුවපත් භාවය හෝ රෝගය යම් තරමකට හෝ පාලනය කරගැනීමට මෙම ඖෂධ වර්ග යුගලයම එකට ගත යුතුය.

මාස හයක කාලයක් සඳහා වෙන ප්‍රතිකාර ක්‍රමයක් වෙන මෙහි මේ මොහොත වෙන විට ඉහතින් දක්වා තිබෙන එන්නත් වර්ග දෙක මාස පහක කාලයක සිට රෝහලේ දක්නට නැත.

මෙහි එකක මිල රුපියල් හත්දහසකි. ඖෂධ හිඟය පැවැති මාස පහක කාලය පුරාවට මෙම ඖෂධය බාහිරින් මිලට ගෙන රෝහලට ගොස් එන්නත් කරගැනීමට රෝගීයාට සිදු වී ඇත. මේ අනුව රෝගියාට මාස හයක කාලයක් නොකඩවා ප්‍රතිකාර ගැනීමට රුපියල් 85,000 ක අමතර මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.

#  VCR Injection සහ Arac Injection නම් එන්නත් වර්ග දෙක ද මාස පහක කාලයක සිට රෝහලේ හිඟ ඖෂධ ලේඛනයට ඇතුළත්ව පවතී. මිලි ලීටර් 100 සහ 200 කුප්පි වශයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම එන්නත් වර්ග දෙක පිළිකා රෝගයේ එක් විශේෂ රෝගි අවස්ථාවක් වෙනුවෙන් දෙනු ලබන ඖෂධයකි.

ලියුකේමියා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් වෙන මෙම ඖෂධයේ වෛද්‍ය නිර්දේශය නොකඩවා, එකදිගට මාස හයක කාලයක් ලබා දිය යුතුය යන්නයි.

දින 14 න් 14 ක කාලයකින් ලබා දෙන මෙම එන්නත් වර්ගය රෝහල තුළ නොමැතිවීම මත රුපියල් පහළොස් දහසක මුදලක් වැයකර බාහිරින් මිලයට ගෙන අපේක්ෂා රෝහලෙන් එන්නත් කරගැනීමට රෝගීන්ට සිදුව ඇත.

#  Anastyazolo tablet නම් ඖෂධ වර්ගය බොන බෙහෙතකි. අඩු මිලකින් අලෙවි වෙන මෙම බෙහෙත මාස තුනකට වරක් යටත්ව ගත යුතුය. යම් හේතුවක් මත, ඖෂධ වට්ටෝරුව නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමට නොහැකි වූ අවස්ථාවක මෙම ප්‍රතිකාර නැවැත්වූ තැන් සිට යළි ඇරඹිය නොහැකිය. එහිදී නැවතත් ප්‍රතිකාර ක්‍රමයේ මුල සිට යා යුතුය.

#  Aranidex Oral tablet නම් ඖෂධ වර්ගය කාන්තාවන්ගේ රෝගී තත්ත්වයන්ට අතිශය වැදගත් වේ. මෙම ඖෂධ වර්ගය පියයුරු පිළිකා සඳහා දෙනු ලබන එකම සහ වඩාත් සුදුසු ඖෂධ වර්ගය ලෙස වෛද්‍යවරු නිර්දේශ කරති. මාස තුනක ඖෂධ වට්ටෝරුවක් වෙන මෙය ද එක දිගට භාවිතා කළ යුතුය.

#  by calutamide tablet නම් ඖෂධය දින 14 කට  ලබාදෙන ඖෂධයකි. මෙම ඖෂධ වර්ගයේ එක් විශේෂත්වයක් ඇත. ඒ ඇණවුම් කළ විගස ගෙන්වාගත නොහැකි වීමයි.


පිළිකා රෝහල තුළ මාස පහක කාලයක සිට පවතින ඖෂධ හිඟයේ උග්‍රම අවාසනාවන්ත අවස්ථාවක් ද මෙවර උදා වී ඇත.

ඒ එම මාස පහක කාලය පුරා පිළිකා රෝගීන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු අයඩීන් ප්‍රතිකාරය නැවතී තිබීමයි. මෙම අයඩීන් ප්‍රතිකාර ක්‍රමය යනු තයිරොක්සින් පිළිකාව වෙනුවෙන් කරන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකාර ක්‍රමයේ මාත්‍රාව හඳුන්වනුයේ ‘මිලි සී වන්’ යන කෙටි නිල නාමයෙනි. මිලි සී වන් මාත්‍රාවෙන් මිලි පනහ, මිලි සියය, මිලි දෙසීයට යටත්ව රෝගියාට ප්‍රතිකාර කෙරෙනු ඇත.

තයිරොක්සින් පිළිකාවට ගොදුරුව සිටින රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ගණනින් හයසීයක් ඉක්මවන අගයක් ගන්නා මෙම රෝගීහු දැනටමත් පොරොත්තු ලේඛනයට ඇතුළත්ව ඉදිරි ප්‍රතිකාර ලැබීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
thelader.lk