පුතා රෝගීවීමෙන් මං ජීවිතේ හැබෑව දැක්කා: දරුවෙක් රෝගී වුණහම කොයි තාත්තා අම්මගෙත් කදුළු එකයි

0
330

safe_image.phpඔහු තම එකම පුතු පිළිබඳව අප්‍රමාණ සිහින මැව්වේය. එහෙත් ඒ සිහින සැබෑ වීමටත් පෙර පුතු පිළිකා රෝගයට ගොදුරු වූයේය. ඒ වයස අවුරුදු පහළොවේදීය. දැන් පුතුගේ වයස අවුරුදු දාහතකි. ඔහු පුතු රැගෙන ඉන්දියාවට ගියේය. ඇති පදම් මුදල් වියදම් කළේය. නමුත් ලැබුණ ප්‍රතිඵලයක් නැත. මහරගම පිළිකා රෝහලට යෑමට සිදු වූයේ අවසන් මොහොතේය. තම පුතුට වැලඳී ඇති පිළිකා රෝගයට වෛර කරන අතරේම, ඔහු පිළිකා රෝගයට එරෙහිව නැගිටින්නේය. ඒ තම පුතු වෙනුවෙන් පමණක් නොව පිළිකා රෝගයට ගොදුරු වී සිටින රටේම අය වෙනුවෙනි. ඔහුගේ ඉලක්කය රුපියල් මිලියන 200ක් වැය කොට මහරගම පිළිකා රෝහලට Pet Scan යන්ත්‍රයක් ලබාදීමය. මේ සද්කාරයට දායක වීමට ඔබටත් හැකිය. එය සමාජ වගකීමකි.

අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට පිළිකා රෝගීන් දහඅට දහසක් පමණ හඳුනා ගැනීමට ලැබෙන අතර වසරකට පිළිකා රෝගයෙන් අට දහසක් පමණ මියයන බව අලුත්ම වාර්තා අනුව පෙනේ. එසේ බලන විට මේ කියන්නට යන කතාව තවත් එක් පිළිකා රෝගියෙකුගේ කතාව පමණක් වනු ඇත. එහෙත් මේ කතාව කියවා අවසානයේ ඔබගේ සිතටත් කිසියම් හැඟීමක් ඇතිවූයේ නම් එය මෙරට පිළිකා රෝගයෙන් පෙළෙන කොයි කාගෙත් යහපත සඳහා හේතු වනු ඇත.

“මම එස්. එම්. එස්. මොහොමඩ්. මට දුවලා හත් දෙනෙක් ඉන්නවා. මේ තමයි මගෙ එකම පුතා මොහොමඩ් හමීඩ්. දැන් පුතාගෙ වයස අවුරුදු දාහතයි. වයස අවුරුදු පහළොවේදී විතර පුතා කිව්වා එයාගේ අත රිදෙනවා කියලා. මම පුතා ගේ ඉස්සරහ ඉන්න වෙද මහත්තයෙකුට පෙන්නුවා. ඔහු දරුවගේ අතට පත්තුවක් බැන්දා. නමුත් එය හරි ගියේ නැහැ. මම මගේ දරුවා වෛද්‍යවරයකුට පෙන්නුවා. දරුවා පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයා කිව්වා ඔහුට විශ්වාසයි මෙය පිළිකා රෝගී තත්ත්වයක් කියලා. තාත්තා කෙනෙක් හැටියට මං කොහොම ද එහෙම දේකට මුහුණ දෙන්නේ. මං මගෙ දරුවා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. ඒ දේ කළේ රෝගය හඳුනාගෙන පැය විසිහතරක් ඇතුළත. රෝහල දුටු විට මට හිතුණා මං හරි තැනට තමයි ආවේ කියලා. මම මාස දහයක් ඒ රෝහලේ හිටියා. නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මිලියන සියයකට වඩා වියදම් වෙන්න ඇති. මං මගේ දේපළවලින් කොටසක් විකුණුවා. මට ඕන වුණේ මගේ දරුවගේ ජීවිතය බේරගන්න. පුතාට තියෙන්නේ අස්ථි පිළිකාවක්. මම ආර්ථිකව වගේම මානසිකවත් වැටුණා. මං ලංකාවට ආවා. පුතාට ශල්‍යකර්ම දෙකක් කළා. නමුත් සුවයක් නැහැ. ලංකාවට ආවට පස්සේ මං දරුවා පෞද්ගලික රෝහලකත් සති දෙකක් පමණ නතර කරගෙන හිටියා. ඉන් පසුව පුතාව මහරගම පිළිකා රෝහලට රැගෙන ගියා. පුතාව නතර කෙරුවේ මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවේ. බිරිය තමයි දරුවගෙ ළඟ නතර වුණේ. මාව උපදේශන සේවයට දැම්මා. අපට උපදේශනය ලබාදුන් වෛද්‍යවරිය නිසා අපට යම් මානසික සහනයක් ඇති වුණා. ඇත්තටම මං පසුතැවුණා, අදටත් පසුතැවෙනවා දරුවා සමඟ මුලින්ම මහරගම පිළිකා රෝහලට නොපැමිණීම ගැන. ඉන්දියාවේ රෝහලට යන්න කියලා අපව නොමඟ යැවූ කෙනෙක් හිටියා. ඔහුත් වෛද්‍යවරයෙක්.

දරුවා පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්නා අතරේ මං රෝහලේ තොරතුරු හෙව්වා. එහෙ මෙහෙ ඇවිද්දා. එතකොට තමයි මට මේ තොරතුරු දැනගන්න ලැබුණේ. මහරගම පිළිකා රෝහලේ දැනටත් “පෙට් ස්කැනර්” යන්ත්‍රයක් නැහැ. එය රෝහලට විශාල පාඩුවක්. මේ යන්ත්‍රය තිබෙනවා නම් රෝග හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර කිරීමටත් විශාල පහසුවක් වෙනවා. මෙම යන්ත්‍රය නැති නිසා රෝගීන්ට පරීක්ෂණ කරගන්න වෙලා තියෙන්නේ පිටින්. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. එක් පෞද්ගලික රෝහලක පමණයි මෙම යන්ත්‍රය තිබෙන්නේ. මගේ පුතා අරගෙන මහරගම පිළිකා රෝහලට ගිය මම දැක්කා එහි ඉන්න රෝගීන්, ඔවුන්ගේ ඥාතින් විඳින දුක. සල්ලි තිබුණ නිසා මට පුළුවන් වුණා පිළිකා රෝගය හඳුනාගෙන පැය විසිහතරෙන් ඉන්දියාවේ සුපිරි රෝහලකට දරුවා ඇතුළත් කරන්න. ඒත් මගේ දරුවට ඉන් ලැබුණු සහනයක් සුවයක් නැහැ. ඇත්තම කිව්වොත් අපි එක්තරා වංචාකාරයෙක් නිසා නොමඟ ගියා. මිලියන ගණනක මුදල් අහිමි වුණා. දැන් මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පුතාට පෙරට වඩා සහනයක් තිබෙනවා. මම ඉන්දියාවේ නොයා මුලින්ම මෙතනට ආවානම් මගේ දරුවගේ රෝගය මේ තරම් උත්සන්න වෙන්නේ නැහැ.” ඔහු දෙනෙතේ නැඟුණු කඳුළක් පිසිමින් පවසන්නේය.

දරුවකු රෝගී වූ විට ජාති ආගම් බේද නැත. කොයි තාත්තාගේත් දුක කඳුල එකය. ඔහුට තම පුතු ගැන බොහෝ අපේක්ෂා බලාපොරොත්තු තිබිණි. අද ඒ එකක්වත් ඉටුවන ලකුණු නැත. නමුදු දැන් ඔහුට එක් ප්‍රාර්ථනාවක් ඇත්තේය. මහමෙරක් උසට එකම එක බලාපොරොත්තුවක් ඇත්තේය. ඒ මහරගම පිළිකා රෝහලට මිලියන 200කට වඩා වටිනා පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමය.

“මගේ පුතා රෝගී වුණාට පස්සේ තමයි මට ජීවිතේ ගැන නොයෙක් දේවල් දැනෙන්න ගත්තේ. අපේ තිබෙනව කදිජා පදනම කියලා සංවිධානයක්. මෙය සල්ලිකාරයන්ගේ පදනමක් නොවෙයි. නමුත් අපි මේ හරහා මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බොහෝ සමාජ සේවා කටයුතු කර තිබෙනවා. අපේ අරමුණ මින් ඉදිරියට කිසිම වර්ග කිරීමකින් තොරව හැමටම උදවු කිරීමයි. ඕනෑම ජාතියක, ආගමක අයට උපකාර කිරීමට අප සූදානම්. මම මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා සමඟ කථා කළා.

අපේ සංවිධානයත් මීට එක්වුණා. පිළිකා රෝගය හඳුනා ගැනීමට නම් පෙට් ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමයි. අපි මේ සූදානම් වෙන්නේ එම යන්ත්‍රය ලබාදීමට. බොහෝ අය සමඟ කථා කර තිබෙනවා. මම කාගෙනුත් ඉල්ලන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලයි. මේක එක් අයකු වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. රටේම අය වෙනුවෙන් කරන දෙයක්. දැනට එක් පෞද්ගලික රෝහලක පමණක් ඇති මේ පෙට් ස්කැනර් යන්ත්‍රයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා රෝගියෙකුට එක වරකට විශාල මුදලක් වියදම් වෙනවා. අසරණ රෝගීන් කොහොම ද එතරම් මුදලක් වියදම් කරන්නේ. මේක මම මගේ පුතා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. මගේ දරුවට ඉන්දියාවේදී පෙට් ස්කෑන් හත අටක්ම කළා. වරකට යන වියදම ලංකාවේ මුදලින් රුපියල් විසිදහසක් පමණ වෙනවා. අපේ රටේ අහිංසක මිනිසුන් කොහොමද මේ වියදම දරන්නේ. අන්න ඒ නිසයි අපි හිතුවේ අපේ රෝහලට මේ යන්ත්‍රය ලබා දිය යුතුයි කියලා.‍”

එම්. එස්. එම්. මොහොමඩ්ට දැන් ඇත්තේ ඒ බලාපොරොත්තුව පමණි. ඔහු දැන් නිරන්තරයෙන්ම වෙහෙසෙන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. එමෙන්ම ඔහුගේ තවත් එක් බලාපොරොත්තුවක් ඇත. ඒ මහරගම පිළිකා රෝහලට ජාන විද්‍යා පර්යේෂණාගාරයක් ඉදිකර දීමය. පෙට් ස්කැනර් යන්ත්‍රය සඳහා වියදම ඩොලර් මිලියන 1.5කි. රටේ කවුරු කවුරුත් එකට එකතු වන්නේ නම්, මෙය විශාල මුදලක් නොවනු ඇත.

එක් අයකු පමණක් නොව බෝ නොවන රෝග අතර ශීඝ්‍රයෙන් පැතිර යන පිළිකා රෝගයෙන් මුල් අවස්ථාවේදීම ජනතාව ගලවා ගැනීම සඳහා මෙය මහෝපකාරී වනු ඇත.

සිළුමිණ සිත්මල්යාය පාඨකයිනි ඔබට හැකි පමණින් මෙම සද්කාර්යය සඳහා දායක වන්නේ නම් එය මහඟු පුණ්‍යකර්මයකි. මෙයට ඔබේ මුදල් ආධාර ලබාදීමට හැකිය.

ගිණුම් අංකය 71275069, ලංකා බැංකුව,

මහරගම ශාඛාව

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප – තුෂාර ප්‍රනාන්දු
silumina.lk