යාපනේ කරවෙඩ්ඩි හි වෙසෙන කේ. සුබ්‍රමානියම් මහතාට වයස අවුරුදු අසු පහකි. ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් මහත්මිය අසු තුන් හැවිරිදි ය. හින්දු චාරිත්‍රානුකුලව දෙමාපියන්ගේ අවසන් කටයුතු කෙරෙනුයේ පිරිමි දරුවන් අතිනි. පිරිමි දරුවා අහිමි වීමේ ගැඹුරු වේදනාව ඔවුන් තුළ බියක් සහ හුදකලාවක් බවට පෙරළී තිබේ. ගෙවුණු අට වසර පුරාම වියපත් සුබ්‍රමනියම් යුවළගේ එකම අපේක්ෂාව වුයේ සිය මරණයට පෙර පුතු යළි පැමිණෙනු දැකීමයි.
නමුත් ඒ වේදනාවෙන් පෙළෙන්නේ ඔවුන් පමණක් නොවේ. පුරා වසර අටකට වැඩි කාලයක් නොදුටු තම පියා යළි පැමිණෙනු ඇතැයි මග බලන නව හැවිරිදි හා දොළොස් හැවිරිදි කුඩා දරුවන් දෙදෙනෙක්ද ඒ වේදනාවන්ගේ සෙවණැල්ල යට උස් මහත් වෙති.
දුරකතන ඇමතුමක්
“පුතා මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිවා එයාව හමුදාව අත් අඩංගුවට අරන් කයිතඩි කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා කියල” රාමචන්ද්‍රන්ගේ පියා කියයි. ඒ ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ සුබ්‍රමානියම් මහතා එවැනි අවස්ථාවක දී දැනුම් දිය සියළු යුතු තැන්වලට දැනුම් දෙමින් රාමචන්ද්‍රන් සෙවීම පටන් ගත්තේය. එහෙත් කිසිදු තැනකින් ඔහු පිළිබඳ හෝඩුවාවක් සොයගැනීමට ඔහු සමත් නොවීය.
“අපි මානව හිමිකම් සංවිධානයට, රතු කුරුසයට වගේ හැම තැනකටම පැමිණිලි කරා. නමුත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ,” සුබ්‍රමානියම් මහතා කියනුයේ සංවේගයෙනි.
වැලි ජාවාරම්
ඔහු අතුරුදහන් වූයේ ඇයි?
සුබ්‍රමානියම් රාමචන්ද්‍රන්, වසර ගණනක සිටම යාපනයේ මුද්‍රණය කර බෙදා හැරෙන ‘යාල් තිනක්කුරල්’ හා ‘වාලම්පුරි’ පුවත්පත්හි වඩමාරච්චි වාර්තාකරු වශයෙන් කටයුතු කළේය. ඔහු නිදහස් ජනමාධ්‍ය කරුවෙකු වශයෙන් ක්‍රියා කළේ වඩමාරච්චි නෙල්ලිඅඩි සිට කොඩිකාමම් දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ කෝවිල් මාර්කට් හි පවත්වාගෙන ගිය “ස්වාමි අරසදී” පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට අමතර වශයෙනි. පළාතේ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන සමග ක්‍රියාකාරී වූ ඔහු මාධ්‍ය පිළිබඳ පුහුණු වැඩමුළු හා පාඨමාලාවන්ට නිරන්තරයෙන් සහභාගි වී සිය මාධ්‍ය නිපුනතාව වර්ධනය කරගනු වස් උත්සුක වූයේය.
වඩමාරච්චි ප්‍රදේශය ගැන බොහෝ ගවේෂණාත්මක වාර්තා රාමචන්ද්‍රන් අතින් ලියැවිණි. ඒ අතුරින් ‘යාල් තිනක්කුරල්’ පුවත්පතට ඔහු ලියු ප්‍රදේශයේ අනවසර වැලි ගොඩ දැමීමේ ජාවාරම් හෙළිදරව් කිරීම ඔහුගේ ජිවිතයට බලපෑමක් වන්නට ඇතැයි රාමචන්ද්‍රන්ගේ සමීපතම මිතුරන්ගේ විශ්වාසයයි. අනවසර වැලි ගොඩ දැමීමට
හමුදා බුද්ධි අංශ
කළිගෙයි හමුදා මුරපොළේ රඳවා ගත් රාමචන්ද්‍රන් ඊට හෝරාවකට පසු රැගෙන ගිය අයුරු ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටියි. “පැයකට පස්සේ හමුදා බුද්ධි අංශ නිලධාරියකු රැගත් වාහනයක් ආවා. එකේ ඊපීඩීපී සාමාජිකයෝ දෙන්නෙකුත් හිටියා. ඒ ගොල්ලෝ හමුදා ඔත්තු කරුවෝ. මිනිත්තු කිහිපයකට පස්සේ ඒගොල්ලෝ ආපු වාහනේ යන්න ගියා,” ඔහු කියයි.
රාමචන්ද්‍රන්ගේ දෙමාපියන් විසින් යාපන මානව හිමිකම් කාර්‍යාලයට යොමු කළ පැමිණිල්ල වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹට මාරු කරනු ලැබුව ද අද වන තුරුත් එය විමර්ශණයට ලක් කොට නොමැත. රජයේ හමුදා බුද්ධි අංශ, විශේෂයෙන් යාපනේ බුද්ධි අංශ ප්‍රධානීන්ගේ මැදිහත්වීමක් රාමචන්ද්‍රන් අතුරුදහන් කරවීමට ඇති හෙයින් ප්‍රදේශයේ ජනතාව තමන් දන්නා කිසිවක් පැවසීමට බියක් දක්වන බව ජාත්‍යන්තර මාධ්‍ය විමර්ශන වාර්තාව මගින් පෙන්වා දෙයි.
“සෑම කෙනෙක්ම බයයි හමුදාවට විරුද්ධව කථා කරන්න, කැමති වුණත් කියන්නේ නැහැ බයට,” මානව හිමිකම් නීතිවේදියෙකු වූ මදියප්පු රෙමේදියස් කියා සිටියි.
2007 වසරේ දෙමළ මාධ්‍ය මර්ධනය අලුත් වටයකින් ඇරඹෙන්නේ රාමචන්ද්‍රන්ගේ අතුරුදහන්වීමත් සමගිනි. දෙමළ පුවත්පත් රැසකට ලිපි සැපයු මාධ්‍යවේදියෙකු මෙන්ම නිර්මාණශීලි ලේඛකයෙකු වූ චන්ද්‍රබෝෂ් සුදාහර් සිය නිවසේ නිදා සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුණේ අප්‍රේල් මාසයේ මැදදී ය. කාර්යාලයට පැමිණෙමින් සිටි උදයන් පුවත් පතේ මාධ්‍යවේදියෙකු වූ රජීවර්මන් සෙල්වරාසා යාපන නගර මාධයේදී වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ අප්‍රේල් මාසයේ අගදී ය. අගෝස්තු මාසයේ උදාවත් සමග, යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය බල මණ්ඩලය මගින් ප්‍රකාශිත ‘සංගම්’ සඟරාවේ සංස්කාරක සහදේවන් නිලක්‍ෂන් යාපනේ කොකුවිල් හි ඔහුගේ නිවෙස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කෙරුණි. රජයේ ගුවන් හමුදා ප්‍රහාරයකට ලක් වූ කොටි හඬ ගුවන් විදුලියේ සේවය කළ මාධ්‍යවේදිනියක වූ ඉසෛවිළි චෙම්පියන් නොහොත් සුභාජිනිද, මාධ්‍ය සේවකයින් වූ සුරේෂ් ලිම්බියෝ සහ ටී. ධර්මලිංගම් ජීවිතක්‍ෂයට පත්වූයේ ද එ් නොවැම්බරයේ දී ය.
ප්‍රගීත් හා රාමචන්ද්‍රන්
රාමචන්ද්‍රන් කොහේ හෝ හමුදා කඳවුරක රඳවා ගෙන ඇතැයි දැඩි විශ්වාසයක සිටින සුබ්‍රමනියම් මහතා සිය පුත්‍රයා සොයා දීම යහපාලන ආණ්ඩුවේ යුතුකමක් බව පවසයි.
“දේශීය පරීක්‍ෂණ දැන් දීර්ඝ කරලා තියෙන බව කියනවා. එත් කිසිම පරීක්‍ෂණයක් අපේ වඩමාරච්චියට නම් ඇවිත් නැහැ,” ඒ වියපත් හඬෙහි ඇත්තේ දැඩි සංවේගයකි.
බොහෝ මාධ්‍යවේදී ඝාතනයන් හා අතුරුදහන් කරවීම් ගැන පරීක්‍ෂණ සිදු කෙරෙන බව පවසන නමුත් රාමචන්ද්‍රන් ගැන කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකිරීම ගැන දිවියේ අවසාන භාගය ළතැවුලින් ගෙවා දමන රාමචන්ද්‍රන්ගේ දෙමාපියන් පසුවන්නේ කම්පාවෙනි. “කොළඹ දී අතුරුදහන් කෙරුණු එක්නැලිගොඩ තරම් අපේ දරුවා වටින්නේ නැතිද?” ඔවුහු මානව හිමිකම් ක්‍රියාධරයන්ගෙන් අසති.
ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිළිබඳ අලුත් ආණ්ඩුවේ වාචික පොරොන්දු ජාත්‍යන්තර කණස්සල්ල කළමනාකරණය කරගනු වස් වැදගත්වනවා විය හැක. නමුත් අට අවුරුද්දක් තිස්සේ දාරක ප්‍රේමයෙන් ඇවිළෙන සුබ්‍රමනියම් යුවළගේ ළසෝ දුක් ඒ ප්‍රතිඥාවන් විසින් නිවා නොදමයි. රාජ්‍ය හමුදා හෝ ඔවුන්ගේ පිටුබල ලද අතුරු හමුදා කණ්ඩායම් විසින් ඝාතනයට හෝ පැහැරගැනීමට ලක් කළ ජනමාධ්‍ය සේවකයන්ගේ ඉරණමට වගකිව යුතු බලවේගයන්ට පසුගිය ආණ්ඩුව මෙන්ම ඊට පෙර සිටි ආණ්ඩුද ලබා දී තිබූ දණ්ඩ මුක්තිය අවසන් වනු ඇත්තේ ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණ කඩිනම් කෙරෙන තරමට ය.
රාමචන්ද්‍රන්ගේ වියපත් මව්පියන්ට ඒ යුක්තිය ඉටු කර දෙන්නට තව කොතෙක් කල් ගතවනු ඇතිද?☐