පෙට්ටි සීට්ටු එකතු කරගෙන යන තලවිල වන්දනාව

0
412

 

මීගමුව ,ජාඇල, කඳාන, වත්තල ආදී ප්‍රදේශ  ආශ්‍රිතව වෙසෙන දහස් සංඛ්‍යාත කතෝලිකයන්  බහුතරයක් දශක කීපයක සිට වාර්ෂිකව තලවිල සහ මඩු දේවස්ථාන  වන්දනා කිරීම සඳහා යොමුවන කාලයක් ලෙස ජූලි සහ අගෝස්තු යන මාස 02 ක  හඳුන්වා දිය හැකිය. ඒ අනුව මෙවරද විශාල පිරිසක් වාර්ෂිකව  තලවිල සහ මඩු  දේවස්ථාන වන්දනා චාරිකා සඳහා සහභාගි වී සිටි. මේ වන්දනා චාරිකාවක මූලික ලක්ෂණය වන්නේ එම දේවස්ථානවල වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍ය උත්සවයන් පැවැත්වෙන නියමිත දිනට කලින් සිටම  එනම් අඩුම තරමින් සතියක් දෙකකට කලින් සිටම එම දේවස්ථාන පරිශ්‍රයේ කඳවුරුලා සිටීමට මේ ජනතාව කටයුතු කර සිටීමයි. ආගමික ශ්‍රද්ධාව මෙන්ම, විනෝදාස්වාදය, පවුලේ එකමුතුභාවය සහ, නෑදෑ හිත මිතුරන් සමග ලෙන්ගතු සමීප ඇසුර  වැනි කරුණු කාරණා  මෙවැනි වන්දනා චාරිකාවකදී  කැපී පෙනේ.

මෑතක සිට  එනම් වසර දෙකක පමණ කාලයක සිට මෙම තලවිල සහ මඩු දේවස්ථාන වන්දනා චාරිකා වලට තවත් දේවස්ථාන කිහිපයක් එකතු වී  තිබේ. ඒවා නම් විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ පිහිටි පල්ලකන්ඩල් දේවස්ථානය , උච්චිමුණේ දේවස්ථානයයි සහ කරිකට්ටිය දේවස්ථානයයි.

තලවිල පල්ලි යන්න සල්ලි එකතු කරන්නේ මෙහෙමයි

සෑම වර්ෂයකම ජූලි සහ අගෝස්තු මාසවල මෙම වන්දනා චාරිකාව යෑම සඳහා  මීගමුවේ  වෙරළාශ්‍රිත ප්‍රදේශවල  ජීවත්වෙන බොහෝ කතෝලික  පිරිස් මේ සඳහා සූදානම් වන්නේ මාස ගණනාවක සිටය. සමහර පිරිස් අවුරුද්දක් තිස්සේම මේ සඳහා සූදානම් වීමේ අවස්ථාද නැතිවම නොවේ. විශේෂයෙන්ම මේ සඳහා යන විශාල මුදල සොයා ගැනීමටත් එම මුදල එකතු කිරීමටත් ඔවුන් විවිධ ක්‍රමෝපායන් භාවිතා කරති. බොහෝ විට පවුල් කීපයක් එක්කාසුව ටාටා වර්ගයේ තනි දොර බස් රථයක්  හෝ ජර්නි වර්ගයේ බස් රථයක් මේ චාරිකාව යෑමට සූදානම් කරගනියි. සමහරවිටක පවුල් කිහිපයක පිරිස වැඩි නම් ඒ සඳහා ටාටා හෝ  ලේලන්ඩ් වැනි  දොර දෙක බස් රථද සූදානම් කර ගනී. බොහෝ විට ධීවර සමිති ඇතුළු ණය දෙන සකසුරුවම් සමිති වලින් වාර්ෂිකව මේ වන්දනාව චාරිකාව සඳහා සහභාගි වන විශේෂයෙන් ධීවර ජනතාව වෙත විවිධ ණය පහසුකම් ලබා දෙන  බවද වාර්තා වුනි. අඩු පොලී මුදලක් සමඟ ලබා දෙන මෙම ණය මුදල මාස කිහිපයකින් ගෙවා නිම කිරීමට හැකි වන පරිදි සකස් කර ඇත. එමෙන්ම සමහර ණය දෙන සමිති මගින් ‘පෙට්ටි සීට්ටු ‘ නමින් හඳුන්වන ක්‍රමවේදයකට මෙම වන්දනා චාරිකා සඳහා සහභාගී වන ධීවර ජනතාව වෙත විශේෂ ඉතුරුම්  ක්‍රමද හඳුන්වා දී තිබේ. මෙවැනි සකසුරුවම් සමිති වල සාමාජිකයන් අනිවාර්යෙන්ම මාසික හෝ සතිපතා යම් මුදලක් සිය ගිණුම්වල තැන්පත් කිරීම අනිවාර්යය ⁣ වේ. එලෙස තැන්පත් කරන නිශ්චිත මුදලට අමතරව තවත් වැඩිපුර මුදලක් ඔවුන් එම ගිණුමේ තැන්පත් කරන්නේ වසර අවසානයේ මෙම වන්දනා චාරිකාව යෑම සඳහා වියදම් කිරීම වෙනුවෙනි. මෙවැනි පෙට්ටි සීට්ටු ක්‍රම මීගමුවේ ධීවර ජනතාව වෙසෙන වෙරළාසන්න ප්‍රදේශ වන, මුන්නක්කරය, පිටිපන, දුව, අලුත්කූරුව සහ බසියාවත්ත සහ කුට්ටිදුව වැනි ප්‍රදේශවලද ක්‍රියාත්මක වේ.

මෙම වන්දනා චාරිකාව සඳහා විවිධ ක්‍රමාපායන්ගෙන් මුදල් සොයා ගන්නා මේ සඳහා සහභාගි වන පිරිස ඊළඟට යොමු වන්නේ විශේෂයෙන්ම තලවිල සහ මඩු දේවස්ථාන ආශ්‍රිතව කඳවුරුලා ගෙන සිටීමට අවශ්‍ය දේ සූදානම් කිරීමටය . මේ බොහෝ දෙනෙකු වෙනමම ටෙන්ට් රෙදි සහ ජී.අයි. බට භාවිතා කර විධිමත් ආකාරයට කුඩා නිවස වල ආකෘතියට අනුව කූඩාරම් සකස් කරගෙන තිබේ.

විවිධ මිල ගණන් යටතේ විධිමත් ආකාරයට වෙනමම නිවෙසක ඇති ලෙස කාමර වෙන් වෙනසේ මෙම කූඩාරම් ක්‍රමානුකූලව සකස් කර ඇත.

තවත් සමහර පිරිස් උත්සව භාණ්ඩ කුලියට සපයන්නන් ගෙන් යකඩ බට, තහඩු සහ ටෙන්ට් රෙදි භාවිත කරමින් සාදන ලද හට් කුලියට ගැනීමද මේ දිනවල බහුල ලෙස දැකිය හැකිය. ඒ අනුව කුඩා පවුලකට 10/10 හට් එකක්ද  පවුලේ පිරිස වැඩි නම් 10/15 හට් එකක්ද කුලියට ගනියි.පවුලේ සැලකිය යුතු ප්‍රමාණයක් සිටී නම් 15/15 හට් එකක් කුලියට ගැනීම සිදු වේ. බොහෝ විට මෙම හට් වල කාමර වෙන්කර ගැනීම  සඳහා නිවසින් රැගෙන යන ටෙන්ට් රෙදි හෝ ඝනකම් බෙඩ් ෂීට් භාවිතා කරති.

ලන්තෑරුම් පැට්රෝල් මැක්ස් වෙනුවට සෝලා එනර්ජි කිට්

එමෙන්ම තලවිල සහ මඩු දේවස්ථාන ආශ්‍රිතව කඳවුරුලා සිටින කාලය තුළ රාත්‍රියට ආලෝකය සපයා ගැනීමට පෙර කාලයේ නම් පැට්‍රෝ මැක්ස් ලාම්පු භාවිතා කලත් අද කාලයේ එය වෙනස් වී තිබේ. මේ වන විට මේ වන්දනාව සඳහා සහභාගී වන බොහෝ පිරිස් නව තාක්ෂණානුකූලව සකස් කළ සෝලා එනර්ජි හෙවත් හිරු එළියෙන් ක්‍රියා කරන විදුලි බල්බ භාවිතා කිරීමට හුරුවී සිටි.දහවල් කාලයේ හිරු එලියෙන්  ස්වයංක්‍රියව ක්‍රියාකාරී (චාර්ජ් ) වන මෙම පද්ධතිය විශේෂයෙන් රාත්‍රී කාලය පුරාවට විදුලි ආලෝකය සපයයි.

මෙවැනි සෝලා එනර්ජ කිට් එකක් සහ මේ සඳහා අවශ්‍ය කරන විදුලි බල්බ රුපියල් හාරදහේ සිට විවිධ මාදිලි වලින්  මේ වන විට අලෙවි කෙරේ. තවත් සමහරුන් රාත්‍රී කාලයට විදුලිය සපයා ගැනීම සඳහා ඩීසල් වලින් හෝ සහ භූමිතෙල්  වලින් ක්‍රියාකරන කුඩා ජෙනරේටර් රැගෙන යාමටද හුරු වී සිටියි. තවත් සමහරුන් හිරු එළියෙන් ක්‍රියාකරන කුඩා විදුලි බල්බ සහිත ලාම්පු රැගෙන යෑම ද දැක ගත හැකිය.

වන්දනාකරුවන් සදහාම නලලිං

විශේෂයෙන්ම තලවිල දේවස්ථාන ප්‍රදේශයේ සිටින  නළ ලිං ඉදිකරන්නන් විසින්  වන්දනාවේ එන සහ කඳවුරුලා ගෙන සිටින පිරිස් සඳහා මේ වන විට තවත් විශේෂිත සේවාවක් හඳුන්වා දී තිබේ. එනම් තාවකාලික ලෙස නළ ලිං ඉදිකිරීමයි.  විධිමත් ආකාරයකට සකස් කළ හට් එකක් තුල හෝ හට් එක සමීපයේ තාවකාලික නළ ලිඳක් අඩු මුදලකින් ඉදි කර ගත හැකිය. තලවිල දේවස්ථානය අවට වැලි සහිත පොළොවක් ඇති නිසා අඩි හතරක් පහක් යටට හැරූ විට ජලය හමුවන බැවින් මෙම ප්‍රදේශයේ තාවකාලිකව නළ ලිං ඉදිකිරීම  පහසු  කාර්යයකි.

 

වන්දනාවේ කෑම වට්ටෝරු

එමෙන්ම මෙවැනි වන්දනා ගමනකට සූදානම් වෙන බොහෝ පිරිස් සතියකට දෙකකට පමණ අවශ්‍ය වන විශේෂ ආහාර වර්ගද වෙනමම සකස් කරගනී. වැඩි වශයෙන්ම කල්තබා ගැනීමේ ක්‍රමවේද වලින් සැකසිය හැකි විශේෂ ආහාර කිහිපයක්ම මේ පිරිස් කලින් සිටම සූදානම් කරගනියි. විශේෂයෙන්ම කෙලවල්ලෝ  සහ බල මාළු වලින් සාදනු ලබන ඇඹුල් තියල්  මෙවැනි වන්දනා චාරිකාවකට වඩාත් උචිත කල් තබා ගත හැකි ආහාරයක් ලෙස නම් කල හැකිය. එලෙසම වෙනත් මාළු වර්ග මිරිසට පිස ගැනීම තුලින්ද  දින කිහිපයක් කල් තබා ගත හැක. එමෙන්ම කලින් සැකසූ ජාඩි, සීනි සම්බෝල, සහ විවිධ වූ අච්චාරු වර්ග මෙම වන්දනා චාරිකාවලට වැඩිපුරම රැගෙන යන කල් තබා ගත හැකි ආහාර වර්ග වේ. එමෙන්ම අග්ගලා සහ අළුවා වැනි තෙල් හෝ පොල් නොයෙදූ කැවිලි වර්ගද මේ චාරිකාවට එක් වන බොහෝ පිරිස් රැගෙන යති.

එලෙසම එළවළු රැගෙන යන්නේ නම් බොහෝ විට ඒ සඳහා තෝරාගන්නේ කැරට්, බීට්රූට්, බෝංචි සහ ලීක්ස් වැනි උඩරට එළවළු වර්ග පමණකි. පහතරට සිංහල එළවළු වලට වඩා උඩරට එලවලු දින කිහිපයක් කල් තබා ගත හැකි නිසා  උඩරට එළවළු රැගෙන යෑමට බොහෝ දෙනකු පෙළඹී සිටි. එම වන්දනාව චාරිකාවේ  නිරත වන කාලය තුළ අවශ්‍ය අනෙකුත් සියලු ආහාර වර්ග මස් සහ මාළු ඒ ඒ ප්‍රදේශවලින් සපයා ගත හැකි බවයි බොහෝ දෙනකු පවසන්නේ.

අලුත් ඇදුම්

එමෙන්ම මීගමුව නගරයේ සිටින ඇඳුම්  ව්‍යාපාරිකයකු  සඳහන් කළේ මේ වනවිට මේ ප්‍රදේශයේන්  තලවිල සහ මඩු දේවස්ථාන වන්ධනා චාරිකා සඳහා සහභාගී වන බොහෝ පිරිස් සැහැල්ලු ඇඳුම් මිලදී ගැනීමට පැමිණෙන බවයි. මේ දිනවල විශේෂයෙන්ම දහවල් කාලයේ පවතින දැඩි උෂ්ණාධික තත්වය හේතුවෙන්  වන්දනා චාරිකා සඳහා සහභාගී වන කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ෂෝර්ට්ස් හෙවත් කොට කලිසම් සහ අත්කොට ටී ෂර්ට් මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.බොහෝ පිරිමින් අත්කොට ෂර්ට් මිලදී ගන්නා බවත්  බොහෝ විට දෙපාර්ශවයම සොයන්නේ ශරීරයට සැහැල්ලු ඇඳුම් බවත් එම ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

මෙතෙක් මේ චාරිකාව  තලවිල සහ මඩු දේවස්ථාන වලට පමණක් වෙන් වුණත් දැනට වසර දෙකක පමණ කාලයක සිට මේ වන්දනා චාරිකාව සඳහා මේ වන විට තවත් දේවස්ථාන කිහිපයක් එක්ව තිබේ.

ඒ අනුව මේ වන්දනාකරුවන් බොහෝ පිරිසක් ප්‍රථමයෙන්ම ගමන් කරන්නේ වනාත විල්ලුව මීසමට අයත් පල්ලකන්ඩල් හී  ශුද්ධවු ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය වෙතයි. ප්‍රථමයෙන්ම පුත්තලම නගරයට ගොස් එතැන් සිට එළුවන්කුලම පාරේ කිලෝමීටර් 39.5  පමණ දුරක් ගිය විට විල්පත්තු රක්ෂිත වනාන්තරය ඇතුලත මෙම දේවස්ථානය පිහිටා තිබේ. පුත්තලම නගරයේ සිට මෙම දේවස්ථානය වෙත ළඟා වීමට පැයක පමණ කාලයක් ගතවේ . පසුගිය ජූලි 14 වැනිදා මේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වුණු අතර වසරේ මංගල්‍යය පැවැත්වෙන කාලවකවානුව තුළ දින 04 ක් මෙම දේවස්ථානය ආශ්‍රිතව කඳවුරුලාගෙන සිටිය හැක. රක්ෂිත වනාන්තරයක මෙම දේවස්ථානය පිහිටා තිබෙන නිසා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි තීරණයකට එළඹී ඇති බව මේ දේවස්ථානය වන්දනා කරන්නට යන බොහෝ දෙනෙකුගේ අදහසයි.

ඉන් පසුව මේ වන්දනාකරුවන් බොහෝමයක් පැමිණෙන්නේ ජාතික සිද්ධස්ථානයක් ලෙස නම් කර ඇති තලවිල ශුද්ධවු ශාන්ත ආනා මුණිතුමියගේ දේවස්ථානය වෙතයි. එමෙන්ම තවත් පිරිසක් පල්ලකන්ඩල් දේවස්ථානයේ සිට තලවිල දේවස්ථානයට නොගොස් උච්චමුණි දේවස්ථානය වෙත ගමන් කරයි. එහෙත් බොහෝ පිරිසක් තලවිල දේවස්ථානයට ගොස් කඳවුරුලා  එතැන් සිට උච්චමුණි දේවස්ථාසථානය වෙත ගමන් කරයි.

උච්චමුණි දේවස්ථානය

ඡායාරූපය උපුටාගැනීම – ඩේලි මිරර්

උච්චමුණි දේවස්ථානය යනු මේ මෑත කාලයේ හලාවත කතෝලික පදවිය විසින් ඉදි කළ නව දේවස්ථානයකි. උච්චුමුණි දේවස්ථානය නම්කර ඇත්තේ, උච්චුමුණි වේලක්කන්නි මාතා දේවස්ථානය යනුවෙනි. වේලක්කන්නි  දේවමාතාවන්ට කැප කළ මෙම දේවස්ථානය, ඉන්දියාවේ පිහිටි සුප්‍රසිද්ධ වේලක්කන්නි දේව මාතා දේවස්ථානයේ හැඩය සහ පෙනුමට  සමානව  ගොඩ නගා ඇත. මෙම දේවස්ථානය කඳවුරුලාගෙන සිටින දේවස්ථානයක් නොවන බැවින් මෙහි පැමිණෙන  සැදැහැවත් කතෝලිකයින් සිය ආගමික වතාවත් සිදුකරමින් හෝරා කිහිපයක් එහි ගතකර එදිනම ආපසු පැමිණෙති.

මෙම දේවස්ථානය සඳහා  යාමට  විධිමත් ලෙස සැකසූ මාර්ගයක් නොමැත.
මේ දේවස්ථානයට යාමට කල්පිටියේ ආණාවාසල ප්‍රදේශයට ප්‍රථමයෙන්ම පැමිණිය  යුතු වෙයි. ඉන්පසු මේ දේවස්ථානයට ගමන් කිරීමට ක්‍රම දෙකක් ඇති අතර එහිදී එක් ක්‍රමයක් තෝරා ගත යුතුවේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ ආනාවාසල සිට දේවස්ථානය වෙත කලපුවෙන් ගමන් කිරීමයි. ඒ සඳහා කලපු බෝට්ටු සේවාවක් මේ වන විට අනවාසල සහ උච්චමුණි දේවස්ථානය අතර යොදවා ඇත. එහිදී 06 දෙනෙකුට ගමන් කල හැකි කුඩා බෝට්ටුවකට රුපියල් 15000ක පමණ මුදලක් වැය වන බව වාර්තා වේ.  12 දෙනෙකුට පමණ ගමන් කළ හැකි ලොකු බෝට්ටුවක් සඳහා රුපියල් 20000 ක පමණ මුදලක් වැය වෙන බවද වාර්තා වුනි.  මෙලෙස මේ බෝට්ටු   වලින් ගමන් කරන සෑම අයෙකුටම ආරක්ෂිත කබායක් හෙවත් ලයිෆ් ජැකට් එකක් බෝට්ටු සේවාව සිදුකරන පිරස විසින් ලබාදෙන බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි.

උච්චමුණි දේවස්ථානය වෙත යෑමට තිබෙන අනෙක් ක්‍රමය වන්නේ රළු වැල්ල  සහිත වෙරළාසන්න මාර්ගයයි. එය විධිමත්  විකල්ප මාර්ගයකි. මෙම විකල්ප මාර්ගය තද වැල්ල සහිත වෙරලාසන්නව ගමන් කරන බැවින් සෑම රථවාහනයකටම මේ විකල්ප මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නොහැකිය. මේ වැලි සහිත වෙරළාසන්න ප්‍රදේශයේ ගමන් කිරීමට කම් ෆෝ වීල් රථයක් අත්‍යවශ්‍යමය. ඒ සඳහා ආනවාසල සිට උච්චමුණි දේවස්ථානය දක්වා ෆෝ විල් ජීප් රථ සේවාවක් මේ වන විට ක්‍රියාත්මකව ඇත.එම ජීප් රථයක 08 දෙනෙකුට ගමන් කළ හැකි අතර ඒ සඳහා රුපියල් 28000ක පමණ මුදලක් අයකරන බව ද වාර්තා වුණි.

ඉන්පසු මේ වන්දනාකරුවන් බොහෝ දෙනකු තලවිල දේවස්ථානය පරිශ්‍රයේ සතියක පමන  කාලයක් කඳවුරුලාගෙන සිටින අතරතුර මෙම දේවස්ථාන සමීපයේම ඇති කැලෑ පල්ලිය ලෙසින් හඳුන්වන ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ දේවස්ථානය වෙතටද  පිවිසෙන අතර එහිදීද ඔවුන් විවිධ ආගමික වතාවත් තුළ නිරත වේ.
තලවිල දේවස්ථානයේ පැවැත්වෙන මංගල්‍යයන්ට සහභාගිව ඉන්පසු ඔවුන් ගමන් කරන්නේ මන්නාරම් කතෝලික පදවියට අයත් සුප්‍රසිද්ධ මඩු දේව මාතා ජාතික සිද්ධස්ථානය වෙතයි. මඩු දේවස්ථාන පරිශ්‍රය තුළද වන්දනාකරුවන් වැඩි දෙනෙකු කඳවුරුලාගෙන සිටින අතර තලවිල දේවස්ථානයේ මෙන්ම මඩු දේවස්ථානයට ද පැමිණෙන සැදැහැවත් ජනතාව වෙනුවෙන් දේවස්ථාන පාලක සභාවන් විසින් කුලී පදනමට දේවස්ථානයට අයත් නිවාස ලබාදීමද සිදු කෙරේ. එනිසා මෙම චාරිකා සඳහා සහභාගි වන සැදැහැවත් කතෝලික ජනතාව දේවස්ථානයෙන් කුලී පදනම මත ලබාදෙන නිවාස ලබා ගැනීමටද මේ වනවිට පෙළඹී සිටියි.

මඩු සිද්ධස්ථානයේදී ද මේ වන්දනා චාරිකාවට සහභාගි වන බොහෝ කතෝලික පිරිස් දිනපතා පැවැත්වෙන දේව මෙහෙයන්ට සහ විශේෂ ආගමික යාඥා වලට සහභාගි වේ. එහිදීද සතියක පමණ කාලයක් මෙම දේවස්ථාන පරිශ්‍රය තුළ රැඳෙන මෙම පිරිස් මඩු දේස්ථානයෙන් ආපසු පැමිණීමට සූදානම් වෙයි.

එලෙස තම වන්දනා චාරිකාව අවසන් කරමින් පැමිණෙන බොහෝ දෙනකු  මඩු දේවස්ථානයේ සිට කිලෝමීටර් 28 ක් පමණ ඈතින් පිහිටා ඇති මන්නාරම, කත්තර ජේසු සමිඳානන්ගේ ඓතිහාසික දේවස්ථානය වෙතද ගොස් ආගමික වන්දනාමාන සිදුකරති.
එමෙන්ම මේ වන්දනා පිරිස අවසානයේ පුත්තලම, පාලවිය පසුවනවාත් සමගම හමුවන පුත්තලම- හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි, හලාවත කතෝලික පදවියට අයත් ,මේ මෑතක ඉදිකළ  කරිකට්ටිය ” ගුවාඩලූපේ” දේව මාතා  දේවස්ථානයටද යෑමට අමතක නොකරයි.


මේ ආකාරයෙන් සති දෙකකට තුනකට ආසන්න කාලයක් තම රැකියා සහ ව්‍යාපාර කටයුතු වලින් බැහැර වී එලෙසම තම  නිවසින් සහ තම ගම් ප්‍රදේශ වලින්  පිට වී මේ වන්දනා චාරිකාවට මේ පිරිස් එක් වෙති. එමෙන්ම මේ වන්දනා චාරිකාවට අයත් වන මෙි සියළු දේවස්ථාන වෙත ගොස්  කතෝලික ආගමික වත්පිළිවෙත් සිදුකර බොහෝ විට එම දේවස්ථානවල පැවැත්වෙන මංගල්‍යය දේව මෙහෙයන්ටද මේ පිරිස්  සහභාගි වෙති. වසරක් පාසා මෙවැනි ආගමික වන්දනා චාරිකාවකට සහභාගි වීම තුළින් සිතේ උපදින ආගමික ශ්‍රද්ධාව මෙන්ම පවුලේ අය අතරත් නෑදෑ හිත මිතුරන් අතරත්  සුහදශීලිභාවය වර්ධනය වේ. ආගමික ශ්‍රද්ධාව මෙන්ම විනෝදාස්වාදය තුළින්ද ලැබෙන මානසික තෘප්තිය තම ඉදිරි රැකියා කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථක ගැනීමට විශාල අස්වැසිල්ලක් වන  බව මේ වන්දනා චාරිකාවට සහභාගි වන බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

සටහන – තුෂාර රොහාන්