එවක ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ තම සගයන් මරා දැමීමේ සිට ඔවුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන කීමට ජනමාධ්‍යකරුවන් පිරිසක් එදා සිටි ඇමෙරිකානු තානාපතිවරයා හමුවුනා. එහිදී තානාපතිවරයා කියූ යම් දෙයක ඉතා වැදගත් පණිවුඩයක් තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ එකල ආරක්ෂක ලේකම්වරයායි. ඔහු ඇමෙරිකාවේ වසර 15 ක් පමණ ජීවත් වූ කෙනෙක්. ඇමෙරිකානු තානාපතිවරයා කියා සිටියේ ඇමෙරිකාවේ අවුරුදු 15 ක් නොව 30 ජීවත් වුනත් සමහරුන් ශිෂ්ඨසම්පන්න නොවන බවයි. මිනිස් සමාජය සමග යහපත් සබඳතා පැවැත්වීමට එවැන්නන් අපොහොසත් බවද ඔහු කියා තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මේ කරුණ ඉතා සාධාරණ බව ඔහු පළිගන්නෙකු, කිපෙන්නෙකු ආදී ගති ලක්ෂණවලින් පෙන්නුම් කළා. සමහර අවස්ථාවල ඔහු අදහස් පලකළේ දත්කූරුකමින්. කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරුවෙලා තිබුණේ නැහැ.
මේ කතාව මතකයට නැගුනේ ඉකුත්දා පෙරටුගාමී සමජවාදී පක්ෂය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් ගන්නා අවස්ථාවේ පලකළ විරෝධයත් සමගයි. එම විරෝධාතාවට පක්ෂ නායක කුමාර් ගුණරත්නම් නායකත්වය දුන්නා. එසේ තිබියදීයි සාමාන්‍ය විරෝධාවකට එහා ගොස් පෙරටුගාමීන් රථ වාහන පෙළට “හූ” කිව්වේ.
කුමාර් ගුණරත්නම් 2006 වසරේ සිට වසර 6 ක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ අයෙක්. ජවිපෙ සහ පෙරටුගාමීන් අතරින් ගත්විට යුරෝපයේ වැඩිම කාලයක් සංචාරය කර අත්දැකීම්ලත් අයෙක් හැටියත් කුමාර් ඉන්නේ ඉදිරියෙන්. ඒත් ඔහු ශිෂ්ඨසම්පන්න බව මෝදි විරෝධයෙන් ප්‍රකට වන්නේ නැහැ. පෝස්ටරයක් ප්‍රදර්ශනය, යම් සටන් පාඨ කීම විරෝධාවක සිදුවිය හැකි නමුත් “හූ කීම” කවර නම් ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක්ද?
වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව සමග ප්‍රශ්නයක් පවතී නම් එය විසඳාගත යුත්තේ ඔවුන් සමග මිස කෝටි 140 කට පමණ නායකත්වය දෙන බලවත් රටක නායකයෙකුට හූ කීමෙන් නොවේ. එවැන්නක් ජාත්‍යන්තරය දැක ඇති පුද්ගලයෙකුගේ ඉදිරිගාමී හෝ සටන්කාමී දේශපාලන භාවිතයක් වන්නේද නැත.
තමන් එදා සිටි පක්ෂය (ජවිපෙ) යම් කලෙක ඉන්දියාව සම්බන්ධයෙන් දරණ ලද ස්ථාවරය සහ එය අදට කෙතරම් ගැළපේද යන්න ගැන කුමාර් ගුණරත්නම්ට අවබෝධයක් නැති සෙයකි. නොඑසේ නම් මෙය අවස්ථාවාදයකි.
රටවල් අතර ගිවිසුම් ඇතිකර ගැනීම සාමාන්‍යයි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම හා මෙවර මෝදි – අනුර ගිවිසුම යනු සපුරාම එකිනෙකට වෙනස්. එදා ජවිපෙ විරෝධතා දැක්වූයේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර රට බෙදා වෙන්කිරීමට එරෙහිවයි. ඒ වගේම එහිදී ඉන්දියාව ආක්‍රමණික මුහුණුවරක් පෙන්නුම් කලා. ලක්ෂ 2 කට වැඩි ඉන්දියානු හමුදාවක් උතුරු නැගෙනහිරට එව්වා. එදා ජේආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා පවා එකී ගිවිසුම අත්සන් කළේ සිය ආණ්ඩු පක්ෂයේම ඇතැම් අයගේ විශාල විරෝධයක් තිබියදීයි. එනයින් ජවිපෙ විරෝධයේ පදනම සාධාරණයි.
මෙවර ඉන්දීය අගමැති මෝදි හා ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කළේ වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුම්. එහි වැඩි වාසි ඉන්දියාව අත්පත්කර ගන්නත් පුළුවන්. එහෙත් එදයි අදයි වෙනස හඳුනා නොගැනීම යනු “කොරහේ කිඹුළන් දැකීමක්”.
මෙහි අනෙක් ප්‍රධාන තර්කය වන්නේ ජවිපෙ බොහෝ කලකට පෙර කිව්ව “ඉන්දියානු ව්‍යාප්තවාදය” පිළිබඳ මාතෘකාව. මේ ගැන ඔවුන් කතා කළේ 1971 ට කලින්. නැවත ඒ පිළිබඳ ගැඹුරු දේශපාලන විග්‍රහයක් ජවිපෙ තුළ දක්නට තිබුණේ නැහැ. එහෙත් පසුගිය සමයන්වල විපක්ෂ දේශපාලන භූමිකාව තුළ ඔවුන් ඉන්දියාව ආක්‍රමණිකයෙකු ලෙස වර නැගූ සෙයක් දක්නට ලැබුණා.
“ඉන්දියානු ව්‍යාප්තවාදය” යනු ඉන්දියාව බලවත්වීමේ අපේක්ෂාවෙන් තබාගෙන සිටින සංකල්පයක්. “අසල්වැසි රටවල් තමන් යටතේ තබාගත යුතුය” යන්න ඉන්දීය ඉතිහාසය පුරාම දක්නට ලැබුණ දෙයක් වුව එහි ආක්‍රමණ පිළිබඳ අරමුණක් අතැයි සිතන්න බැහැ. අපගේ දේශපාලන උවමනාවන්ට අදාළව බිල්ලෙක් මැවීමට පමණක් එය වැදගත්.
එහෙත් වර්තමානයේ ශක්තිමත් ආරක්ෂක සහ වෙළෙඳ උපායික මාර්ග ඔවුන් අනුගමනය කරනවා. එහිදී ඉන්දියාව සමග ගනුදෙනු කරන රටවල් දැනගත යුත්තේ නියම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරන්නේ කෙසේද යන්නයි. එය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මෙන්ම ශ්‍රී ලංකාවටද අදාළ කරුණක්.
පැරණි ජවිපෙ සහෝදරයෙක් මා සමග කියුවේ රෝහණ විජේවීර පවා 1977 න් පසුව අසළ්වැසි ඉන්දියාව සමග සුහදත්වයකින් වැඩකළ යුතු බව කියා සිටි බවයි. එසේ නොමැති නම් ශ්‍රී ලංකාවට දුෂ්කර බව ඔහුගේද පිළිගැනීම වී තිබුණා. ඉන්දු-ලංකා ගිවිසුමෙන් පිළිපන් ආක්‍රමණිකභාවයට විජේවීර විරෝධය පෑවා මිසක ඉන්දියානු ව්‍යාප්තවාදයක් කරපින්නාගෙන ඔහු ක්‍රියා නොකළ බව ඔහු ඇසුරේ සිටි අදාළ මිතුරා කියා සිටියා.
කුමාර ගුණරත්නම් නායකත්වය දෙන සාමාන්‍ය පක්ෂයකට සිතිය හැකි පරිදි ඉන්දියාවෙන් බැහැර ලංකාවක් ගැන වර්තමානයේදී ප්‍රායෝගික ආණ්ඩුවකට හිතන්න බැහැ. ජාත්‍යන්තර වේදිකාවලදී වගේම ශ්‍රී ලංකාව කඩාවැටෙන සෑම විටකදීමත් ඉන්දියාව ළඟින් සිටි බව නොරහසක්. ඉදිරියටත් එය එසේ වේවි.
එනිසා ඉදිරිගාමීව සිතිය යුතු සමයක පෙරටුගාමීන් පසුගාමීවීම නම් කනගාටුවට කරුණක්!
(මෙය පෙසප සමග අමනාපයකින් ලියූවක් නොවේ. අද ලංඩනයේ පැවැත්වෙන ඉල් මහ විරු සමරුවට පවා ඔවුන් මට ආරධනා කර තිබූ බව සටහන් කරමි)
(මහින්ද රුබසිංහ)