පොදු උත්සව වලට වියදම් කිරීමට මීගමුව නගරාධිපතිට රු ලක්ෂ 25ක්

0
94


2012 ජුනි මීගමුව මහ සභා රැස්වීමේදී නගරාධිපතිවරයා විසින් යෝජනාවක් ගෙන එමින් තමන්ට ‘‘ මහ නගර සභා අඥා පනත යටතේ අංක 188 (ක)අදාළව ප‍්‍රජා පිළිගැනීම් සම්බන්ධයෙන් පොදු වැදගත්කමකින් යුත් යම් සිද්ධියක් හෝ අවස්තාවක් පිළිබඳව උත්සව පැවැත්වීම සම්බන්ධව නගරාධිපතිවරයාගේ අභිමතය පරිදි වියදම් කිරීම සදහා සභාව විසින් නගරාධිපතිවරයා වශයෙන් මා හට මුදල් වෙන්කර දිය යුතු යැයි ’’ ඉදිරිපත් කළේය. මෙම යෝජනාව ගෙන එමින් , නගරාධිපතිවරයා කියා සිටියේ තමන් මෙම යෝජනාව ගෙන
ආවේ නගර සභා අඥා පනතේ නිති රීති පද්ධතිය ඇසුරින් බවයි. ඒ අනුව දැනට නගර සභාවෙන් මුදල් වියදම් කර සිදුකරන උත්සව අවස්ථාවන් හැරෙන්නට වෙනත් පොදු උත්සව අවස්ථාවන් වලට නගර සභාවේ මූල්‍ය නීති රීති රෙගුලාසි වලට යටත්ව තම අභිමතය පරිදි  මුදල් වියදම් කිරීමට අවශ්‍ය මුදල් ප‍්‍රමාණයක් මේ සභාව විසින් වෙන්කර දිය යුතු බව නගරාධිපතිවරයා විසින් පැහැදිලි කරන ලදී. එම යෝජනාවට අදහස් ඉදිරිපත් කරමින් විපක්ෂයේ ගිහාන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පැවසූවේ නගරාධිපතිවරයා ලෙස ඔබතුමා මේ මුදල් නිසිලෙස පරිහරණය කරනු ඇතැයි සිතන නමුත් ඉදිරියේදී පැමිණෙන නගරාධිපතිවරුන් මේ මුදල් කෙසේ පරිහරණය කරයි ද යන්න සැක සහික බවයි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කපිල නන්ද සුලෝචන ප‍්‍රකාශ කළේ මේ යෝජනාව අසම්පූර්ණ යෝජනාවක් බවයි. මෙලෙස අසම්පූර්ණ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් නගර සභා නිලධාරීන් අපහසුතාවයට පත්වන අතර මුලින්ම නගර සභා නිලධාරීන්ව නගර සභා අඥා පනත පිළිබඳව දැනුවත් කළ යුතුය. ඒ නිසා ඔහු නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම උත්සව වලට වසරකට වැය කිරීමට අදහස් කරන මුදල සඳහන් කර නැවත සංශෝධිත යෝජනාවක් ලෙස නැවත එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.
එහිදී විපක්ෂනායක රොයිස් විජිත මහතා ප‍්‍රකාශ කලේ නගරාධිපතිවරයා වුවද දේශපාලන පක්ෂයක නියෝජිතයෙකි. ඒ අනුව විපක්ෂය ලෙස අපට සැකයක් තිබෙනවා මේ මුදල් කෙලෙස වියදම් කරයිද යන්න පිලිබඳව. නගර සභාවෙන් යම් මුදලක්  උත්සව අවස්ථාවන් සඳහා වෙන්කරන්නේ නම් විපක්ෂයේ මන්ත‍්‍රිවරු  කණ්ඩායමටත් උත්සව අවස්ථාවන් සදහා වියදම් කිරීම සඳහා ඉල්ලීම් කළ හැකියි. එහෙත් මෙම යෝජනාවේ නිශ්චිත මුදලක් සඳහන් නොවීම ගැටලූ සහගත බව විපක්ෂනායකවරයා පෙන්වා දුණි. ඒ අනුව නගරාධිපතිවරයා ඔහුගේ යෝජනාවට සංශෝධනයක් ඉකතු කර පොදු උත්සව කටයුතු වලට වසරකට ලක්ෂ 25ක් වෙන්කරන ලෙස යෝජනා කර සිටියේය. ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ෆරීස් මන්ත‍්‍රීවරයා ලක්ෂ 25ක් ප‍්‍රමාණවත් ද යන්න ප‍්‍රශ්න කර සිටියේය. ජන්දයකින් තොරව එම යෝජනාව සම්මත යෝජනාවක් ලෙස ප‍්‍රකාශයට පත්විය. ඒ අනුව සෑම වර්ෂයකම නගර සභා අය වැය ලේඛනයෙන් මෙම ලක්ෂ 25 වෙන්කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here