‘‘දර්ශනිකා මිස් මට එදා උදේ පාන්දරින්ම කතාකරලා කිව්වා ඔන්න අද රිසාල්ට් දාලා කියලා. මම කිව්වා මට නම් බලන්න විදිහක් නෑ මිස් කියලා. එහෙනම් මම දවල් වෙලා බලලා කියන්නම් කියලා මිස් මගේ විභාග අංකේ ඉල්ල ගත්තා. එහෙම ඉන්නකොට උදේ හයට විතර තමයි ප‍්‍රින්සිපල් මැඩම් කතා කරලා කිව්වේ පුතේ , ඔයා ආර්ට්වලින් ලංකාවෙන්ම පළමුවැනියා වෙලා කියලා. ඒක අහලා මටත් වඩා සතුටු වුණේ මගේ අම්මයි, තාත්තයි. ’’
මේ පසුගිය ඉරිදා නිකුත් කෙරුණු 2015 වසරේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඒ. ජීවා නයනමාලි සිසුවිය කියන කතාවය. සාමාන්‍ය නිවසක, සාමාන්‍ය දරුවෙකු ලෙස සරල ජීවතයක් ගෙවමින් සිටින ජීවාට ඇගේ උසස්පෙළ ප‍්‍රතිඵලය බලාගැනීමට පරිගණකයක් තබා ජංගම දුරකථනයක්වත් තිබී නැත.
පිටිසර ගමක, ගම්බද දෙමව්පිය යුවළකගේ දියණියකව ඉපදුණු නමුත්, සුපිරි යැයි සම්මත පාසල්වල සිසු සිසුවියන් දහස් ගණනක් අභිබවා යමින් දිවයිනෙන්ම පළමුවැනියා වන්නට තරම් දිරිය දියණියක් වූ ජීවා දියණිය සොයා අප ඇගේ උපන්ගම වූ බෝයගනේ, ඕගොඩපොළ ගම්මානයට පසුගිය දිනෙක ගොඩවැදුණෙමු. ජීවාගේ ජයග‍්‍රහණයෙන් සතුටු වන්නේ ඇගේ මව්පියන් සහ මලියදේව බාලිකාව පමණක් නොවන බව ඕගොඩපොල ගම්මානයට පා තබන විටදීම අපට දැකගත හැකි විය. තම ගමට කීර්තියක් අත්කර දුන් ජීවාට සුබපතිමින් ප‍්‍රදේශවාසීන් විසින් ගම්මානය පුරා එල්ලා ඇති බැනර් කිහිපයම ඊට දෙස් දුන්නේය.
එක් වැඩිමහල් සොයුරෙකු පමණක් සිටින ජීවාගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. ජීවාගේ නිවස පාලනය කෙරෙන්නේ රැකියාවක් නොකරන ඇගේ මවගේ අතිනි. ජීවා එක වසරේ සිට එකොළොස් වැනි වසර දක්වාම අකුරු කරන්නේ නිවසේ සිට කිලෝමීටර් පහ හයක් දුරින් පිහිටි බෝයගනේ මහා විද්‍යාලයෙනි. බෝයගනේ මහා විද්‍යාලයෙන් සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින ජීවා ඉන් විශිෂ්ට ලෙස සමත්වෙන්නේ ‘ඒ ’සාමාර්ථ හතක් සහ ‘බී’ සාමාර්ථ දෙකක්ද සමග එම වසරේ බෝයගනේ විදුහලේ හොදම ප‍්‍රතිඵලයද වාර්තා කරමිනි. කලා අංශය යටතේ භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව සහ විත‍්‍ර කර්මය යන විෂයන් වලින් උසස්පෙළ හැදෑරීමට තීරණය කළ සදහා ජීවා විසින් මලියදේව බාලිකාවට ඇතුළත්වීමට අයදුම් කරන්නේ ඒ අනුවය. උසස් ප‍්‍රතිඵල මෙන්ම ඇය විසින් උසස්පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂයන් පිළිබදව මහත් සතුටට පත් වූ මලියදේව බාලිකාවේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඇයට මලියදේව බාලිකා විද්‍යාලයේ දොරටු විවර කරදෙන්නේ මහත් සතුටිනි.
‘‘මම උසස්පෙළට ආර්ට් කරන්න යද්දී බෝයගනේ ඉස්කෝලේ ගුරුවරු පවා ඒකට විරුද්ධ වුණා. හොද රිසල්ට් එකක් තියාගෙන උසස්පෙළට ආර්ට් කරන එක අපරාදේ පුතේ කියලා හුගදෙනෙක් කිව්වා. මැත්ස් , සයන්ස් කරන්න අකමැති නම් කොමස් හරි කරන්න කියලයි හුගදෙනෙක් කිව්වේ. නමුත් මට ඕනෑ වුණේ ආර්ට්ම කරන්නයි. මගේ හැකියාව තිබුණු චිත‍්‍ර විෂයෙන් ඉදිරියට යන්න මම ආසා කළා.’’
ජීවාගේ ජයග‍්‍රහණය පිළිබදව නොකියවෙන කතාව එයයි. ජීවා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ සිත්තරාවියකි. කුඩා කළ සිටම තමන් දකින දේ චිත‍්‍රයට නගන්නට හුරු වී සිටි ජීවා විෂයක් ලෙස චිත‍්‍ර විෂය හදාරන්නට පටන් ගන්නේ අට වැනි වසරේ සිටය. එතැන් සිට නිර්මාණශීලී හැකියාවෙන් දිනෙන් දින මුවහත් වන ජීවාගේ තෙළිතුඩින් ඇදෙන සිතුවම් ගණනාවක් මේ වන විට ජාතික මට්ටමේ තරගවලදී සම්මානයට පාත‍්‍ර වී තිබේ. ඒ වෙනුවෙන් ජීවාට හිමි වී ඇති සහතික, පදක්කම් සහ කුසලාන මහ තොගයක් ඇගේ නිවසේ පුංචි සාලයෙහි කෙළවරක තැන්පත් කර තිබේ. ජීවාගේ නිවසට අඩිය තබන විට පවා ඇතිවන්නේ පුංචි කලාගාරයකට ඇතුළත් වූවාක් බදු හැගීමකි. ඕනෑම නිවසක බිත්ති සරසන අලංකාර දර්ශණ රැගත් කැලැන්ඩර් හෝ ඡායාරූපවලට ඇගේ නිවසේ බිත්තිවල ඉඩක් නැත. මන්ද ජීවාගේ නිවෙසෙහි හැම බිත්තියක්ම හැඩවැඩ වී ඇත්තේ ඇගේම අතින් ඇදුණු සජීවී සිතුවම් වලිනි.
‘‘ මම උසස්පෙළට ගොඩක් මහන්සි වුණා. කාලසටහනකට අනුව වැඩකටයුතු කළා. උපකාරක පන්ති කියලා සහභාගි වුණේ රිවිෂන් පන්තිවලට විතරයි. හැම දවසකම ඉස්කෝලේ ගියා. අසනීපයක් හැදුණු එහෙමත් දවසක විතරයි මට ඉස්කෝලේ එන්න බැරි වුණේ.
උසස්පෙළින් පළවැනියා වෙන්න පුලූවන් වෙයි කියලා පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණාද? මම බාධා ඇයට කළෙමි.
‘‘නෑ කියලාමත් කියන්නත් බෑ. වාර විභාගවලදී පවා හැම විෂයකටම ලකුණු 97, 98 තිබුණා. මම වැඩ කරපු හැටි, ලකුණු ගත්තු හැටි දැකලා මට හෝම් සයන්ස් උගන්වපු දර්ශණිකා මිස් මට නිතරම කිව්වා ඔයා නම් පුතේ අයිලන්ඞ් ෆස්ට් තමයි කියලා. ඒ නිසා රිසාල්ට් එනතුරු මටත් වැඩිය උනන්දුවෙන් බලාගෙන හිටියේ දර්ශණිකා මිස් තමයි. අන්තිමේදී මිස්ගේ අනාවැකිය හරි ගියා. ’’
‘‘පුංචි දවස්වල ඉදලාම දුව පොත්පත්වලට හරි ආදරෙයි. ඒ දවස්වල ඉදලම අතට අහුවෙච්ච පත්තර කෑල්ල පවා කියෙව්වා. එයා පුංචි කාලේදී කියවපු පොතපත පවා අදටත් මිටි බැදලා පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඉස්කෝලෙන් ලැබෙන පෙළ පොත් ටික හරිම ආදරයෙන් පරිස්සම් කරනවා. ඒවාට කවර දාන්නේ පවා පොතට ස්ටේපර් කටුවක්වත් නොවදින විදිහට පිටකවරේ දෙපැත්තට කාඞ්බෝඞ් කෑලි තියලා . පෙළපොත් හොදට පාවිච්චි කළාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දෙන සහතිකය බෝයගනේ ඉස්කෝලේ ඉන්න කාලේ හැමදාම ලැබුණේ දුවටයි. ’’ ඒ ජීවාගේ මව වන එච්. එම්. සීලවතී මහත්මිය කියන්නේ ජීවාගේ නමින් ලියැවුනු සහතික අපිට පෙන්වමිනි.
‘‘දුව මලියදේවයට ගිය කාලේ ටිකක් විතර බයෙන් හිටියේ. ලොකු ලොකු අයගේ ළමයි තමයි ඔක්කොම ඉස්කෝලේ ඉගෙනගන්නේ. මට බෝයගනේ ඉස්කෝලේදී වගේ පන්තිවේ පළවැනියා වෙන්න නම් මෙහේදී බැරි වෙයි කියලා දුව කිව්වා. නමුත් එයා මලියදේව විද්‍යාලයේදී ලියපු පළවෙනි වාර් විභාගයෙන්ම පළමුවැනියා වුණාට පස්සේ එයාගේ බය නැති වුණා.’’ ජීවාගේ මව කියන්නීය.
ජීවාගේ පියා වන කේ. ඒ. රංජිත් හඩ අවදිකළේ අනතුරුවය.
’‘මම හැමදාම කිලෝමීටර් පහක් විතර බයිසිකලේ තියාගෙන තමයි එයාව ඉස්කෝලේට එක්ක ගියේ. එක වසරේ ඉදලා සාමාන්‍යපෙළ ලියනකම්ම ඉස්කෝලෙට ලොකු මල්වට්ටියක් අරන් යන්න දරුවා පුරුදු වෙලා හිටියා. සමහර දවස්වල අනිත් ළමයි විහිඵ කරපු වෙලාවලූත් තිබුණා පොඩි එකෙක් වගේ තවමත් මල් වට්ටි උස්සන් ඉස්කෝලේ එනවා කියලා. සෑහෙන දුක් විදගෙන වඩු වැඩ කරලා තමයි මම එයාට ඉගැන්නුවේ. උපතින්ම මගේ ඇස්වල පෙනීමේ දෝෂයකුත් තියෙනවා. ඒ සියඵ දේවල් විදගෙන මම දරුවාට උගන්වන්න හෙලූව දහදිය මහන්සිය අපතේ ගියේ නෑ කියලා මම අද සතුටු වෙනවා.
‘‘ලංකාවෙන් පළවැනියා වුණා කියලා මම මගේ අරමුණ වෙනස් කරන්නේ නෑ. මම මගේ ඉදිරි දේවල් සැලසුම් කරන්නෙත් මම ආස කරන චිත‍්‍ර විෂය මුල්කරගෙනයි. මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. විත‍්‍ර ශිල්පිනියක් සහ නිර්මාණ ශිල්පිනියක් විදිහට ඉදිරියට ගිහින් රටට සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ’’ ජීවා අවසන් වශයෙන් කීවාය. ඇගේ ගමට, පාසලට මෙන්ම දෙමව්පියන්ටද ජීවයක් වූ අයුරින් ඇයට මතුදිනෙකදී මේ මව්බිමටද ජීවයක් වෙන්නට ලැබේවා යැයි පතමින් අප ඇගෙන් සමුගතිමු.
සටහන සහ ඡායාරූප
කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක.
http://www.wayambatoday.com
ජීවා නයනමාලි ඇදි සිතුවම්