බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා ! සුපුරුදු ජන ජීවිතයට එළඹෙන්න !

0
87

Mahesh
බුදුන් වහන්සේ දේශනා කළ එක් ප්‍රාර්ථනා ගාථාවක දැක්වෙන්නේ “භයප්පත්තා ච නිබ්බයා” යනුවෙනි. එහි අර්ථය “බියට පත් වූවන් එයින් මිදෙත්වා” යන්නයි
එහෙත් හිතාමතා මිනිසුන් භීතියට පත් කිරීම මගින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන දේශපාලනඥයින් හා පුද්ගලයින් සිටින බව පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ස්වර්ණවාහිනියේ සජීවී වැඩසටහනකට එක්වෙමින්, ත්‍රස්තවාදීන් හා පැවැති ගැටුමකදී හමුදාවේ සෙබළුන් 11 දෙනෙකු මියගොස් ඇති බවට කල වගකීම් විරහිත ප්‍රකාශයෙන් ද සනාථ වේ.
මේ ප්‍රකාශයන් පිටුපස අැත්තේ මේ සමාජය බියෙන් මුසපත්කොට පියල් නිශාන්තලාගේ බංකොලත් දේශපාලනයට ගොඩදමා ගැනිම හැරෙන්නට වෙන දෙයක් නොවේ.
එහෙත් අවාසනාව වන්නේ මෙවන් ප්‍රකාශයන් හරහා රට ගිනිඅවුලුවන්නට පසුබිම සැකසිමය.
පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් පසු සාමාන්‍යය ශ්‍රී ලාංකීය ජනතාව මේ වනවිටත් බියෙන් තැතිගෙන සිටින අතර එම තත්වය තුළ මේ දක්වා ජන ජීවිතය යථා තත්වයට පත්ව නොමැත. ඒ බරපතල කාරණයකි.ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන නායකයින් විසින් කරනු ලබන ප්‍රකාශ කෙරෙහිද ජනතාව තුල එතරම් විශ්වාසයක් නොමැති බව පෙනේ.
දිනපතා මාධ්‍ය ඔස්සේ පලවන අසත්‍ය කරුණු හා ප්‍රචාර බිය තවතවත් වර්ධනය කිරීමට හේතුවී තිබේ.මෙම තත්වය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා, අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකර සුපුරුදු ජන ජීවිතයට එළඹෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.අසත්‍ය ප්‍රචාරවලට බිය නොවන්න, සුපුරුදු ජන ජීවිතයට එළඹෙන්න. වසර 30ක් පැවති ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ඔබේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කෙරේ විශ්වාසය තබන්න,” යැයි යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා එසේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ, ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ හමුවකට එක්වෙමිනි..
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, රටේ ජන ජීවිතය සෙමින් සෙමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තහවුරු නොවූ තොරතුරු විශ්වාස නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.