බෝම්බයෙන් හෝ වයිරසයෙන් අප පාඩම් ඉගෙන ගන්නේ නැතිද?

0
90

පාලකයන් ජනතාව ගැන සිතුවානම් ඉක්මන් වන්නේ මැතිවරණයකටද නැත්නම් වසංගතය මර්ධනය කිරීමටද?

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා

ගිය අවුරුද්දේ “පාස්කු ඉරිදා බෝම්බය” දෙස සහ මේ අවුරුද්දේ “කොරෝනා ව්‍යසනය ” දෙස බලන විට  ලංකාවේ අපිට ඉගෙන ගන්න පාඩමක් තිබේද? පාස්කු ඉරිදා බෝම්බය ගැන මට හිතෙන්නෙ මෙහෙමයි. දැනට මාධ්‍ය තුල පලවූ ජනාධිපති කොමිසමේ හා නීතිඥයින් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණ තොරතුරු අනුව බොම්බ පිපිරීමට සැලසුම් කර තිබූ බවට පාලකයින් කල් තියාම දැන සිටි බව කියැවේ. ආරක්ෂාව පිළිබදව වගකිව යුතු නිලධාරීන් විසින් පාලකයන් වෙත අණතුර පිළිබදව තොරතුරු දැනුම් දී ඇත. එසේ තිබියදී පාලකයින් තම වගකීම් මග හැර විනාශය සිදු වන්නට ඉඩ දී තිබූ බව පෙනෙන්න තිබේ.

ජනාධිපති බොම්බය පිපිරීමට කලින්ම රටින් බැහැර වී ඇත. අගමැති එතුමන්ට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට කැදවීමක් නොලැබූ නිසා ආරක්ෂක කටයුතු පිළිබදව තොරතුරු දැන නොසිටි බව පවසා තමන්ට එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වා තිබුනි. නිලධාරීන් පවසා සිටියේ රටේ ආරක්ෂාව සදහා අවශ්‍ය තොරතුරු පාලකයන් වෙත ලබා දුන්නද සුදුසු තීරණ ගත යුතුව තිබුනේ තමන් නොවන බවත්ය. එසේ කියමින් නිළධාරීන් තමන්ගේ නිදහසට කාරණා ඉදිරිපත් කළහ. එම නිලධාරීන් සිදුවන්නට යනදේ දැන සිටියද විනාශය වැලකීමට කිසිදු පියවරක් නොගත්හ. එම ප්‍රතිචාරය විනාශය වැලැක් වීමසදහා කල යුතුව තිබු දේ මග හැරයාමක් නොවේ ද?

රටේ පරිපාලන නීති රීති සම්ප්‍රදායන් කුමක් වූවද මනුෂ්‍යයින් ගේ ජීවිත ආරක්ෂාව සැලසීම වගකීමක් නොවේද?

මේ මොහොතේ දී කොරෝනා ව්‍යයසනයට මුහුණ දෙන පුරවැසියා ප්‍රදර්ශණය කරන්නේ එවැනිම ස්වභාවයකි. ඔහු / ඇය මුල් තැන දෙන්නේ වසංගතයෙන් මිදීමට නොව රංචු ගැසෙමින් තමන් විනෝද වීමටයි. එය වසංගතය පැතිරවීමට සුවිශාල දායකත්වයක් ලබා දෙයි.

පාලකයන් හා නිළධාරීන්ගේ කාර්ය දෙස බලමු. චීනයේ වූහාන් නගරයේ ආරම්භ වූ වසංගතය ගැන කථාබහ පටන් ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බරයේදීය. අපේ පාලකයන් හා නිළධාරීන් වසංගතය ගැන දැන ගත්තෙ කවදාද? ලංකාවටත් එහි බලපෑමක් ඇති විය හැකිවේ යයි සිතා කල්තියා එම බලපෑම වලක්වා ගන්නට සූදානමක් ඇති කරගත්තාද? එසේ කර ගැනීම තමන් වෙත පැවරෙන වගකීමක් නොවේද?

පාලකයන් ජනතාව ගැන සිතුවානම් ඉක්මන් වන්නේ මැතිවරණයකටද නැත්නම් වසංගතය මර්ධනය කිරීමටද?

ඉහත සෑම කරුණකින්ම මම විමසා සිටින්නේ රටේ පාලකයා සිට පුරවැසියා දක්වා අපි වගකිව හැකි පුද්ගලයන් බවට පත්ව ඇද්ද යන්නයි. එවැනි ජීවිතයකට හා සංස්කෘතියකට අපව පූරුදු පුහුණුවී තිබේද? පාසැල් අධ්‍යාපණය තුල එවැනි පුණුවක් ලබා ඇත්ද? අපෙන් බොහෝ දෙනෙකුට එවැනි පලපුරුද්දක් නැහැ. බොහෝ විට අපව පුරුදු පුහුණු වූයේ බලවතාගේ අතවැසියන් වීමට නොවේ ද?  අපි ස්වාධීන පුද්ගලයන් නොවෙමු. නිර්මාණශීලීවන්නට හුරුවක් ලබා නැත.

ආගමික අධ්‍යාපණය තුල ආදරය මෛත්‍රීය ගැන නිතර උපදෙස් ලැබී තිබුනද තමන් වගකීම් ඉටුකරන චරිතයක් විය යුතු යයි අසා නැහැ.

ඒ නිසා කෙනෙක් රටේ පාලකයා වූවද, ඉහලම රාජ්‍ය නිලධාරියා වූවද, සාමාන්‍ය පුරවැසියා වූවද තමන් වෙත පැවරී ඇති වගකීම ගැන නොසලකන චරිතයක් විය හැකියි. කිසිම චකිතයකින් තොරව වගකීම මග හරින චරිතයක් විය හැකියි.එවැනි පුරවැසියන් සමග අපේ රට කොයි දිසාවකට ගමන් කළ හැකි ද?

ලංකාවේ පවතින මෙම තත්ත්වය ලෝක ප්‍රවනතාවයක් දැයි මම නොදනිමි. අද පවතින ගෝලීය නායකත්වය “ලාබයට” හැරෙන්නට ජනතාවට වග නොකියන නායකත්වයක්  යයි මට සිතේ. එම නායකත්වය මගින් නිර්මාණය කර ඇති මෙම සංස්කෘතිය තුල හැදෙන වැඩෙන කිසිවෙක් සහෝදරයා /  සහෝදරිය ගේ රැකවරණයට වග කියනු නොලැබේ. ඔවුන් ගේ ප්‍රතිචාරය වන්නේ මම ඔහුගේ / ඇගේ රැකවලාද යන්නයි.

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, සභාපති – ජනාවබෝධ කේන්ද්‍රය

www.saccam.lk