“මටත් සින්ඩරෙල්ලා වගේ ජීවිතේට මුහුණ දෙන්න වෙනවා”

0
107

_95427267_sandhya_melaniya

‘වසරේ දිරිය කාන්තාව’ ලෙස සම්මානයට පාත්‍ර වූ නමුත් ‘යුක්තිය සොයා යන ගමනේදී’ නැවතත් බොහෝ කම්කටොළුවලට තමන්ට මුහුණ දීමට සිදුවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන ‘වසරේ දිරිය කාන්තාව’ සම්මානය හිමිකරගත් ඇය මේ බව කියා සිටියේ වොෂින්ටන් නුවර සිට බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

“ඔබ දන්නවනේ සින්ඩරෙල්ලා. එයා කොච්චර සතුටු වුනත් ආපහු යන්න ඕන කුස්සියට. අපි දෙන්න සමාන නෙවෙයි. නමුත් මම ආපහු ලංකාවට ගිහිල්ල යුද්ධයක් කරන්න ඕන. ඒක දෙයාකාරයේ යුද්ධයක්. මොකද මම මගේ දරුවන් රකින්න ඕන. ගෙදර ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕන. මට පහර දෙන අයට මුහුණ දෙන්න ඕන. ඒ එක්කම උසාවි ගානේ දුවන්න ඕන. මේ මොන දේටත් මට ආදායම් මාර්ගයක් නැහැ. ආදායම් එන මගක් හොයන්න ඕන. මෙතෙන්දි කොච්චර ඇගයීමට ලක් වුනත් මම ජීවිතේට මුහුණ දෙන්න ඕන. මම යුක්තිය සොයා යන ගමන යන්නත් ඕන,” යනුවෙන් ඇය පැවසුවාය.

කෙසේ නමුත් ඇමරිකාවේ ජනාධිපති ආර්යාව මුණ ගැසීමට අවස්ථාව ලැබීමත් ඇයගෙන් සුබ පැතුම් ලැබීමත් තමන්ට දැඩි සතුටක් ගෙන දුන් කාරණයක් බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

“ඇය මට සුබ පැතුවා. ඒ සුබ පැතුම මට ලොකු සතුටක් ගෙන ආවා. එකක් ඇමරිකාවේ පළමු කාන්තාව මුණ ගැසීම සහ ඇයගෙන් සුබ පැතුම් ලැබීම මට කියන්න බැරි සතුටක් ආවා. ඒ වගේම, මං මේක අරං යන්නෙ ලංකාවේ වින්දිත කාන්තාවන් වෙනුවෙන් නේද කියන සතුට ඇතිවුනා. මොකද මුළු වින්දිත කාන්තාවන් වෙනුවෙන්ම තමයි මාව ඇගයීමට ලක් වුනේ,” යැයි ඇය ප්‍රකාශ කළාය.

_95427272_sandhya_melaniya1

යුක්තිය

අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදහන්වූවන් වෙනුවෙන් කළ මෙහෙය උදෙසා සන්ධ්‍යා එක්නැළිගොඩ එම සම්මානයෙන් පිදුම් ලබන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

මේ සමානය පිරිනැමීම මගින් ඇමෙරිකානු රජය, ඇතැම්විට ශ්‍රී ලංකා බලධාරීන්ට වක්‍ර පණිවුඩයක් ලබාදීමට උත්සාහ කළා වියහැකි බවත් ඇය බීබීසී සිංහල සේවයට පැවසීය.

සිය ස්වාමිපුරුෂයා වූ ප්‍රගීත් එක්නැළිගොඩ 2010 දී අතුරුදහන්වීමෙන් අනතුරුව එයට වගකිවයුත්තන් සොයාගැනීම පිණිස අරගලයක නිරතව සිටින ඇය, ඒ අතරවාරයේම අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම පිණිස රටපුරාම සංචාරය කරයි.

 

උපුටාගැනීම – http://www.bbc.com