මන්දනාගේ නිවසට පැන්නේ ෆයිල් සොරකම් කරන්නමයි-සමඟි බලවේගය.

0
103

‘සන්ඩේ ලීඩර්’ සම කර්තෘ මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට දෙවන වතාවටත්, ඉකුත් 8 වෙනිදා රාත්‍රී හොරෙන් ඇතුළු වී නිවසේ තිබූ පරිගණකයක් සහ ලිපිගොනු පැහැර ගෙන යාම මගින්, පසුගිය මස 24 දා රාතී‍්‍ර සන්නද්ධ කල්ලියක් ඇයගේ නිවසට ඇතුළුවූයේ රත්‍රන් බඩු සහ මුදල් කොල්ලකෑමට නොව, රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ දූෂිත ගනුදෙනුවක් හෙළිදරව් කෙරෙන ලිපිගොනු සොයාගෙන යාමට බව යලි තහවුරු වූ බව ‘සමගි බලවේගය’ පවසයි.

එසේම මේ සිද්ධිය මගින් රාජපක්ෂ ආණ්ඩුව තම කොමිස් සහ දූෂණ වංචා වසන් කර ගැනීමට නිර්ලජ්ජිතව ඕනෑම පහත් ක්‍රියාවක නිරත වීමට සූදානම් බවද ලෝකයාට නැවත ඔප්පු කර ඇති බවද එම සංවිධානය අවධාරණය කර සිටියි.

‘සමගි’ බලවේගය’, මාධ්‍ය ප්‍රකාශක මණ්ඩලය වෙනුවෙන් ලාල් විජේනායක, චන්ද්‍රගුප්ත තේනුවර සහ බ්‍රිටෝ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

රටක පාලකයා ඒකාධිපතියෙකු නොවන බව පෙන්වීමට ඒ රටේ මැතිවරණ පවත්වන බව කීම පමණක් ප්‍රමාණවත් නොවන අතර නිදහස් මාධ්‍යයක පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය සාධකයක් බවද එම නිවේදනයේ සඳහන්වේ.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේද දැක්වේ.

රාජපක්ෂ රෙජීමය බිහිවූ දා සිට අද දක්වා විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයට විරුද්ධව දූෂණ, වංචා සහ අකටයුතුකම් හෙළි කිරීම නිසා ඝාතනයට, මැර ප්‍රහාරයට සහ සෘජු සහ වක්‍ර තර්ජනයට ලක්වූ නිදහස් මාධ්‍යවේදීන් ගණන එමටය. මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මාධ්‍යවෙදිනිය ද ඒ ලැයිස්තුවට දැන් එකතු වී තිබේ. එබැවින් එවැනි භීෂණකාරී වාතාවරණයක් ඇතිවිට කිසිවක් සිදු නොවන්නා සේ ‘මම එකාධිපතියෙකුදැ?’යි පාලකයා විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සිනහ උපදවන කරුණක් මිස වෙන කිසිවක් නොවේ.

අප කල්පනා කරන ආකාරයට රාජපක්ෂ රෙජීමයේ මාධ්‍ය මර්දනය මන්දනා ඉසමයිල් අබේවික්‍රම මහත්මියගෙන් අවසන් නොවනු ඇති අතර ඒ බව ඇයගේ නිවසට පසුගිය මස 24 දා ඇතුළුවූ සන්නද්ධ කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේදී පොලිසිය අනුගමනය කරන උදාසීන පිළිවෙත මගින් පැහැදිලිවේ.

ඇත්තෙන්ම මෙය පුදුම වීමට තරම් දෙයක් නොමැති, රාජපක්ෂ රෙජීමයේ සුපුරුදු උපක්‍රමයකි. උදාහරණයක් ලෙස ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සහ උතුරේ මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් වසර කීපයක් ගතවුවද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසිය තවම අසමත් වීම දැක්විය හැකිය.

අවාසනාවට ස්වාධීන පොලිස් කොමිසමක් නැති රටක රෙජීමයේ මන-දොළ නොපිනවා කොන්ද කෙලින් තබා ගෙන පරීක්ෂණ කිරීමට පොලිසියට ද නොහැකි වී ඇති අතර මේ තත්ත්වය හමුවේ ‘තමා ඒකාධිපතියෙකු නොවන්නේ කෙසේදැ?’යි පාලකයා තමන් විසින්ම ප්‍රශ්න කරගත යුතුව ඇත.”

උපුටා ගැනිම -www.srilankamirror.lk SamagiBLogo_410px_13_08_12